ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව සංචාරකයින් කණ්ඩායම ලෙස රුසියානු සංචාරකයින් 200ක පමණ පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. රුසියානු සමූහාණ්ඩුවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම සංචාරකයින් කණ්ඩායමට අවසරය ලබා දී තිබේ. ඒ අනුව අදාළ පිරිස ලබන 26 වන දින කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
සංචාරකයින් දිවයිනට පැමිණීමේ දී ඔවුන් ගුවන් තොටුපොළ තුළ දී PCR පරීක්ෂණයට යොමු කෙරේ. ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විධිමත් ආකාරයෙන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබන 26 වන දිනෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට හැකි වන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේය.