වයිරස් බෙදන පරිසරය නසන සෞඛ්‍ය අපද්‍රව්‍ය

මුව ආවරණ භාවිත කොට පැය  කිහිපයකින් ඉවත දැමීම සිදු කළ යුතුය. මේවා ඉවත දැමීමේදී ද මෙම මුව  ආවරණයේ ක්ෂුද්‍ර ජිවීන් සිටිය හැකිය. කොරෝනා වයිරසය බෝ කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් ද සිටිය හැකිය. එම නිසා තමන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන ලද මුව ආව රණය අපිළිවෙළකට පරිසරයට  දැමීමෙන් නැවත රෝගය තමන් කරා පැමිණිය හැකිය.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින පරිසරයට එකතු වන අපද්‍රව්‍ය බොහෝය. මෙම අපද්‍රව්‍ය පරිසර විනාශයට මෙන්ම සෞඛ්‍යමය ගැටලු ඇතිවිමට ද බලපායි. මිනිසාගේ පරිසර විනාශයේ ප්‍රතිවිපාක අද මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින ආකාරය ඇස්පනාපිටම අපට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වුවද පාරිසරික විරෝධි ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදුවීම නිසා මුළු ලෝකයටම ඉදිරියේදී බරපතළ අහියෝගයකට මුහුණදෙන්නට සිදු වනු ඇත.

වර්තමානයේ පරිසරයට අලුතින් එකතු වන අපද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ සෞඛ්‍ය අපද්‍රව්‍යයි. සෞඛ්‍ය අපද්‍රව්‍ය වර්ග කිහිපයකි. එනම්, හානිදායක නොවන සෞඛ්‍ය අපද්‍රව්‍ය (Non-hazardous waste) සහ හානිදායක සෞඛ්‍ය අපද්‍රව්‍ය (Hazardous waste)වශයෙනි. හානිදායක නොවන සෞඛ්‍ය අපද්‍රව්‍ය (Non-hazardous waste)වලට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෑ අයත්ය. මේවායේ ආසාදිත බැක්ටීරියා සහ වයිරස් අඩංගු නොවේ. උදාහරණ ලෙස රුධිරය, දේහ තරලය, රසායනික ද්‍රව්‍ය, කඩදාසි, ‍රෙදි සහ ආහාර ද්‍රව්‍ය වැනි දේ මේ යටතට ගැනේ. හානිදායක සෞඛ්‍ය අපද්‍රව්‍ය (Hazardous waste) යටතට ආසාදනය වුණු රුධිරය, දේහ තරල ඇතුළත්ය. මේවා ක්ෂුද්‍ර ජීවීන් මඟින් ආසාදනය වී තිබේ. බැක්ටීරියා සහ වයිරස් මෙහි ඇතුළත්ය. මේ යටතේ ව්‍යාධිජනක අපද්‍රව්‍ය (Pathological waste) නමින් තවත් සෞඛ්‍ය අපද්‍රව්‍ය තිබේ. මෙහි මිනිසුන්ගේ‍ දේහ කොටස්, මිනිසුන්ගේ ශල්‍යකර්මවලින් ඉවත් කෙරෙන දෑ, සතුන්ගේ මලපහ, සතුන්ගේ විවිධ අවයව, පටක, මිනිසුන්ගේ ආසාදනය වී ඇති පටක මීට ඇතුළත්ය. එමෙන්ම සිරින්ජර, ඉන්ජෙක්ෂන් කටු (needles), බ්ලේඩ්, කැඩුණු වීදුරු කැබලි, රුධිරය එකතු කර ගන්නා නළ, රුධිර අඳුන් සෑදීමට (ආසාදනය වුණු කෙනකුගේ රුධිරය පරීක්ෂා කිරීම) ගන්නා වීදුරු කදා (slides) වැනි තියුණු (sharp) දේ මේ යටතට ගැනේ. මෙවැනි දේ පරිසරයට මුදා හැරිය යුතු ආකාර තිබේ. එනම් මේවා පරිසරයට මුදා හැරීම අවම කළ යුතු ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ආසාදිත ද්‍රව්‍ය තැන්පත් නොවූ ප්ලාස්ටික් බහලුම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිය.

 

වර්ණයන් සහිත බහාලුම්

හානිදායක සෞඛ්‍ය අපද්‍රව්‍ය යටතට ගැනෙන අපදුව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීම කළ නොහැකිය. මෙහිදී මේවා වෙන වෙනම කොටස්වලට වෙන් කර බැහැර කිරීම සිදු කෙරේ. එහිදී අපද්‍රව්‍ය බැහැර කරන බඳුන් හෝ බෑගවලට විවිධ වර්ණයන් දී තිබේ. එනම්, ආසාදිත අපද්‍රව්‍ය දැමීම සඳහා යොදා ගන්නා බෑග් හෝ බඳුන් කහ පාටින් ද, වීදුරු, ඉන්ජෙක්ෂන් කටු සහ සිරින්ජර වැනි කැපෙන සුළු අපද්‍රව්‍ය කහ පටි දෙකක් මැද රතු පටියක් තිබෙන බෑග් හෝ බඳුන්වල ද සාමාන්‍ය අපද්‍රව්‍ය කළු පාට බෑග්වල ද දැමීම සිදු කෙරේ. ජෛව හායනය (පරිසර හායනය) වන ද්‍රව්‍ය කොළ පැහැති බෑග් හෝ බඳුන් ද, වීදුරුවල අපද්‍රව්‍ය රතු පැහැති බෑග්වල දැමීම, කඩදාසි අපද්‍රව්‍ය නිල් පැහැති බෑග්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය තැඹිලි පැහැති බෑග්වල ද යනාදී වශයෙන් අපද්‍රව්‍ය ඉවත දැමීමේදී ඒවාට නියමිත වර්ණයන් සහිත බහාලුම් අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් කර තිබේ. එවැනි බහාලුම් දුටු විට මේවායේ ඇත්තේ කුමන අපද්‍රව්‍ය ද යන්න දැන සිටීම ප්‍රයෝජනවත් වේ. මේ ආකාරයෙන් කිසියම් පිළිවෙළකට සෞඛ්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන්නේ නම් ඉන් පරිසරයට වන හානිය අවම කර ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් බොහොමයකම කොවිඩ් වසංගතය පැතිර යමින් පවතී. මේ නිසා සෑම රටකම වෙසෙන ජනතාව විසින් මුව ආවරණ භාවිත කරනු ලබයි. මෙය භාවිත කිරීමෙන් සිදු වන්නේ තමන්ගේ ශරීරයට බාහිරින් ඇතුළු වන ක්ෂුද්‍ර ජීවීන් වැළැක්වීමය. මෙම ක්ෂුද්‍ර ජීවීන් මුව ආවරණයේ පිටතින් සිර වී සිටින අතර ශරීරයට ඇතුළු වීම වළකී. ඒ නිසා මෙම මුව ආවරණ භාවිත කොට පැය කිහිපයකින් ඉවත දැමීම සිදු කළ යුතුය. මේවා ඉවත දැමීමේදී ද මෙම මුව ආවරණයේ ක්ෂුද්‍ර ජිවීන් සිටිය හැකිය. කොරෝනා වයිරසය බෝ කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් ද සිටිය හැකිය. එම නිසා තමන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන ලද මුව ආවරණය අපිළිවෙළකට පරිසරයට දැමීමෙන් නැවත රෝගය තමන් කරා පැමිණිය හැකිය. එමෙන්ම කිසිදු අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයින්ට ද කොරෝනා වයිරසය බෝ කිරීමට තමන් නොදැනුවත්වම තමන්ගෙන් දායකත්වයක් ලැබේ.

ආරක්ෂිත ක්‍රමවේද

එබැවින් ජාතියක් ලෙස මෙම රෝගයෙන් ගැලවීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා කළ යුතු වන්නේ ඉහතින් සඳහන් කරන ලද විවිධ වර්ණයන්ගෙන් යුත් අපද්‍රව්‍ය බඳුන් හෝ බෑග් වැනි මුව ආවරණ දැමීමට සුදුසු වර්ණයක් සහිත් බෑග් හෝ බඳුන් සෑම නගරයක් පාසාම සහ දුම්රිය පොළ, බස් නැවතුම් පොළ සහ ප්‍රසිද්ධ ක්‍රීඩාංගණ ආශ්‍රිතව ස්ථාපිත කොට මුව ආවරණ මහ මඟ නොදමන ලෙස මිනිසුන් දැනුවත් කිරිමය. එවිට එම අපද්‍රව්‍ය බහාලුම්වල දමන ලද මුව ආවරණ සෞඛ්‍ය අංශ විසින් නිසි ප්‍රමිතියකින් යුතුව විනාශ කළ යුතුය. එහිදී එම මුව ආවරණ තුළට විසබීජ නාශක යොදා සීල් කොට කිසියම් ස්ථානයකට ගෙන ගොස් පුළුස්සා විනාශ කළ හැකිය. මෙවැනි ක්‍රියාමාර්ගයන් මිනිසුන්ට හඳුන්වා දීම මෙවැනි කාලවකවානුවක අත්‍යවශ්‍යය. එසේ නොවුණ හොත් මිනිසුගේ නොදැනුවත්කමින් පාරේ සෑම තැනකම මෙම මුව ආවරණ ගලවා විසි කිරීම නිසා කොරෝනා වයිරසය වක්‍රාකාරව නැවතත් අපේ ශරීරයට ඇතුළුවීමට ඉඩ තිබේ. අනෙක් පැත්තෙන් පරිසර හානියක් ද සිදුවේ.

එම නිසා මෙම ක්‍රියාවලිය රජයක් ලෙසින් හෝ කිසියම් ස්වේච්ඡා සංවිධානයක් මඟින් හෝ මැදිහත් වී මුව ආවරණ ඉවත දැමීම සඳහා බහාලුම්, නගරයක් නගරයක් පාසා සහ සෑම පාසලකම ස්ථාපිත කිරීමට පියවර ගැනීම කළ යුතුය. එසේ නොවුණ හොත් තව බොහෝ කාලයක් යන තෙක් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වනු ඇත.

මුව ආවරණ

මේ වන විට මුව ආවරණ නිෂ්පාදනය ද කූට ව්‍යාපාරයක් බවට පත් වී ඇති ආකාරයක් ද දක්නට ලැබේ. ලේයර්ස් දෙකක් සහ ලේයර්ස් තුනක් වශයෙන් ද මුව ආවරණ වෙළෙඳපොළේ විකිණීමට තිබේ. සර්ජිකල් මුව ආවරණය ලේයර්ස් තුනක් ලෙසින් සකස් කර ඇති අතර එය වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වේ. එය පැය අටක කාලයක් පැලඳ සිටිය හැකිය. මේවා නැවත ප්‍රතිචක්‍රීයකරණ කිරීමට නොහැකිය. එහෙත් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් මෙම මුව ආවරණයේ බූල් එළියට එන තෙක් භාවිත කළ ද එය ඉතා නුසුදුසු අනාරක්ෂිත ක්‍රමයකි. එකම මුව ආවරණය 10-12 වතාවක් භාවිත කරනු ලබන මිනිසුන් ද සිටී. ඒ ඔවුන්ගේ වැටුපට අනුව තවත් අමතර මුදලක් දිනකට වැය කිරීමට නුපුළුවන් හෙයිනි. ඒ තුළින් වන හානිය ඔවුනට නොතේරේ. ඔවුන් කොරෝනා වයිරසය තිබෙන පරිසරයක හැසිරුණ හොත් එම කොරෝනා වයිරසය මුව ආවරණය තුළින් ඔවුන්ගේ සිරුරට ඇතුළු වීමට හැකියාව තිබේ. මේ පිළිබඳව මිනිසුන් දැනුවත් නොවීම නිසා ඔවුන් විසින්ම මෙම භයානත රෝගය තමන්ගේ ඇඟට දා ගැනීම සිදු වේ.

මෙයට ද කිසියම් ක්‍රමවේදයක් සැකසිය යුතුය. ස්වේච්ඡා සංවිධානයකින් හෝ වැඩ කරන මිනිසුන්ට නොමිලේ මුව ආවරණ බෙදා දීම සිදු වේ නම් එය ඉතා වටිනා දෙයකි. දිනපතා මුව ආවරණ පැලඳිය නොහැකි පාසල් දරුවන් ද මේ අතර සිටියි. රජය මැදිහත් වී හෝ පාසල් දරුවන්ට මුව ආවරණ බෙදා දීම සිදු විය යුතුය. රටේ අනාගත පරපුර මෙම වසංගතයෙන් බේරා ගත යුතුය.

රෙදිවලින් සාදන ලද මුව ආවරණ 10-12 වතාවක් සෝදා භාවිත කළ හැකි වුව ද දරිද්‍රතාවයෙන් පෙළෙන අය ඊටත් වඩා කාලයක් එකම මුව ආවරණය සෝදා භාවිතයට ගනිති. එවිට එහි පිටතින් රැඳී ඇති විසබීජ සබන් හෝ සේදුම්කාරකයන්ට විනාශ නොවේ. මේවා දිගින් දිගටම භාවිත කිරීම නුසුදුසුය. සේදීමෙන් තුනී වන රෙදි අතරින් රිංගා වයිරසය තමන්ගේ ශරිරය තුළට පිවිසීම සිදු වන්නේ තමන් ද නොදැනුවත්වමය. මේ ආකාරයෙන් මතු වන මුව ආවරණ ගැටලුව ද නිසි ලෙස නොවිස‍‍ඳෙන්නේ නම් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ද තව බොහෝ කාලයක් යන තෙක් රට තුළ පැවතීම නැවැත්විය නොහැකි වනු ඇත.

චතුමී පිටිපන

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top