– ලාභ ප්‍රයෝජන ගැනීමට බොරුවට ඉදිරිපත් වන අයත් ඉන්නවා
– සමහර අම්මලා දරුවන් බලන්න කැමති නැහැ
මීගමුව මුන්නක්කරයේ පදිංචි ඇන්ඩෘ සිල්වා සංචාරක රියදුරකු ලෙස රැකියාව ඇරඹුවේ මීට වසර 35 කට පෙරය. වෘත්තියෙන් සංචාරක රියදුරකු වුවද ඔහු මීගමුව ජුපිටර් පාපන්දු ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකි. දිනක් මීගමුවේ පිහිටි සංචාරක නිකේතනයකින් ඇන්ඩෘට දන්වා සිටියේ එහි නවාතැන් ගෙන සිටින විදේශිකයකු ක්‍රීඩා සමාජයකට ඇඳුම් පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් පසුවන බව ය. සංචාරක නිකේතනයෙන් මේ බව ඇන්ඩෘට දන්වා සිටියේ ඇන්ඩෘ සංචාරක රියදුරකු මෙන්ම ක්‍රීඩකයකු බව ඔවුන් හොඳින් දැන සිටි බැවිනි. නෙදර්ලන්තයේ පාපන්දු ක්‍රීඩකයකු වූ පීටර් බ්රොන්ගර්ව ඇන්ඩෘට දැනහඳුනා ගන්න ලැබෙන්නේ ඒ අනුවය. පීටර් සමඟ කළ කතාබහේදී ඔහු ලංකාවෙන් ගැහැනු ළමුන් තිදෙනකු දරුකමට හදා ගැනීමට රැගෙන ගිය බවත් එම දැරියන්ගෙන් දෙදෙනකුගේ සැබෑ මවුවරුන් සොයා ගත් බවත් කියැවිණි. මෙය 2000 වසරේ පමණ සිදු වූවකි.
මේ අතරවාරයේදී පීටර් බ්රොන්ගර්ගේ මිතුරන් පිරිසක් ලංකාවට පැමිණෙන බැවින් ඔවුන් රැගෙන යන සංචාරක ගමන් බිමන් පැවරුණේ ඇන්ඩෘ සිල්වාටය. පීටර් බ්රොන්ගර්ගේ මිතුරා ද ලංකාවෙන් දැරියක් රැගෙන ගොස් දරුකමට හදා ගෙන තිබුණි. එම දැරියගේ සැබෑ මව සොයා ගැනීම ද ඔවුන්ගේ සංචාරයේ එක් අරමුණක් විය. එම දැරියව රැගෙන ගොස් තිබුණේ ගල්කිස්සේ පදිංචි පුද්ගලයකුගේ මැදිහත් වීමකිනි. පීටර් බ්රොන්ගර්ගේ මිතුරා දියණියගේ සැබෑ මව සොයා දෙන ලෙස ගල්කිස්සේ පුද්ගලයාට දැන්වූ විට ඔහු ඒ සඳහා ඇ:ඩොලර් 400 ක් ඉල්ලා තිබිණ. 2000 වර්ෂයේදී එය සුවිශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බව වටහාගත් නෙදර්ලන්තයේ පීටර්ගේ මිතුරු යුවළ දියණියගේ සැබෑ මව සොයා දීමට හැකියාවක් ඇතිදැයි ඇන්ඩෘගෙන් විමසූහ.
“මම කිව්වා මම ඒ වගේ දේවල් කවදාවත් කරලා නැහැ කියලා. ඒත් උදවු කරන්නම් කියලා කිව්වා. මට දුවගේ උප්පැන්නය ඇතුළු ලිපි ලේඛන දුන්නා. ඒවායේ පැහැදිලි තොරතුරක් තිබුණේ නැහැ. ඒත් දැරියගේ භාරකරු වශයෙන් හෝමාගම කෙනකුගේ නම්ක් සඳහන් වෙලා තිබුණා. මම ඒ ගෑනු කෙනාව හොයාගෙන ගියා. ඒ ගෑනු කෙනා පරිවාස කාර්යාලයේ වැඩ කරන කෙනෙක්. එයා ගල්කිස්සේ පුද්ගලයාව හොඳින් දන්නවා. මට උදවු කරන්න මුලින් කැමති වුණේ නැහැ. ඒත් මම මේකට මැදිහත් වෙලා මුදල් ගන්න කෙනෙක් නෙමෙයි, උදවුවක් කරන්නේ, කැමති නම් මට උදවු කරන්න කියලා මම කිව්වා. කොහොමහරි පරිවාස නිලධාරිනිය මට උදවු කරන්න කැමති වුණා. ඊට පහුවෙනිදා මට එන්න කියලා කිව්වා. මම පහුවෙනිදා යනකොට ඒ නිලධාරිනියගේ ගෙදරට සැබෑ මව ගෙන්වා තිබුණා. එදා නෙදර්ලන්තයට ගිය අමන්දි දුවට එයාගේ වැදූ මව දැකගන්න පුළුවන් වුණා.“ විදෙස්ගත දැරියකට සැබැ මව සොයා දීමේ කුලුඳුල් අත්දැකීම ඇන්ඩෘ සිල්වා විස්තර කළේ එසේය.
ඉන් අනතුරුව නෙදර්ලන්තයට ගිය අමන්දි දැරිය සිය මිතුරු මිතුරියන් සමඟ ඇගේ වැදූ මව සොයා ගත් ආකාරය පවසා තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ එරට සිටින තවත් ශ්‍රී ලාංකික දරුදැරියන් ඔවුන්ගේ මවුවරුන් සොයා දෙන ලෙසට ලිපි ලේඛන සහ ඡායාරූප ඇන්ඩෘට ලැබෙන්න සැලැස්වීමයි.
විදේශීය රටවල්වලට දරුකමට හදාගැනීමට දුන් ශ්‍රී ලාංකික දරුදැරියන්ට සැබෑ මවුවරුන් සොයා දීමේ රාජකාරිය ඇන්ඩෘ සිල්වාට පැවරුණේ මේ ආකාරයටය. මේ වන විට ඔහු මවුවරුන් 150 දෙනකු පමණ සොයා දී තිබේ. තවත් 1000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔහුගේ අතේ ඇත. නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ස්විඩනය වැනි බොහෝ රටවල්වලට ගිය දරු දැරියන්ගේ වැදූ මව හෙවත් ජීව විද්‍යාත්මක මව සොයා ගැනීම සඳහා ඇන්ඩෘ සිල්වා මැදිහත් වී තිබේ. ඔහු ඒ සඳහා කිසිදු මුදලක් ලබා නොගනියි. ඔහුගේ දැනීමේ හැටියට මෙරටින් වැඩි වශයෙන් දරුකමට හදා ගැනීම සඳහා දරුවන් පිටරටට දී තිබෙන්නේ 80 දශකයේය.
රත්නපුරය, වාද්දුව, පානදුර, කළුබෝවිල වැනි ප්‍රදේශවලින් දරුවන් රැගෙන ගිය විදේශිකයන් බොහෝ සිටින්නේ එම ප්‍රදේශවල මෙය ජාවාරමක් වශයෙන් සිදු කරන පුද්ගලයන් සිටින නිසා බව ඇන්ඩෘ සිල්වාගේ අදහසය. දරුවන් හදා ගැනීමට දුන් මවුවරුන්ගෙන් 95% ක් පමණ පිරිසක් දරුවන් දී තිබෙන්නේ අනාථ වී පියවරුන් නැතිව දරුවන් හදා වඩා ගැනීමට නොහැකි නිසාය. සමාජයෙන් අවමන් විඳීමට නොහැකි නිසාය. ඒ අතර ගම්බද අය මෙන්ම නගරබද සමාජ තත්ත්වයෙන් ඉහළ අයද සිටිති. දරිද්‍රතාව නිසා දරුවන් හදා ගැනීමට දී තිබෙන්නේ 5% ක් වැනි පිරිසක් පමණි. මෙම මවුවරුන් අතරින් දරුවන් හදා ගැනීමට දීම පිළිබඳව පසුතැවිලි වන මවුවරු 3% ක් වැනි ඉතා සුළු පිරිසක් ද සිටිති.
“මම එක වතාවක් රත්නපුරයේ අම්මා කෙනෙක් හොයාගෙන ගියා. ඒ අම්මායි තාත්තායි ළමයාව දීලා තිබුණේ ආර්ථික ප්‍රශ්න නිසා. ඒත් පස්සෙ මැණික් හම්බවෙලා ගෙවල් දොරවල් හදාගෙන අතමිට සරු වෙලා. එයාලා ඇත්තටම දුක් වුණා ළමයාව හදාගන්න දීපු එකට. දුව අම්මලාට උදවු කරන්න හැදුවාට ඒ අය උදවු ගත්තේ නැහැ. එයාලාට උදවු ගන්න අවශ්‍යත් නැහැ“ යනුවෙන් පැවසුවේ ඇන්ඩෘ සිල්වා ය.
විදේශ රටවල්වල හැදී වැඩෙන දරුවන් බොහෝ දෙනෙක් තම වැදූ මවටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ස්ව කැමැත්තෙන්ම උදවු උපකාර කරති. එහෙත් උදවු උපකාර බලාපොරොත්තුවෙන්ම ඔවුන්ගේ දුක් අඳෝනා කියාපාන මවුවරුන් ද නැතිවා නොවේ.
“මම ඉස්සෙල්ලාම හොයලා දීපු අමන්දි දුවගේ යාළුවෙක් හිටියා ගංගා කියලා. එයාවත් ලංකාවෙන් නෙදර්ලන්තයට ගෙනිච්ච දරුවෙක්. එක වතාවක් අමන්දි එයාගේ නෙදර්ලන්ත අම්මා තාත්තා එක්ක ලංකාවට ඇවිත් ගංගාගේ අම්මා හොයා ගන්න උදවු කරන්න කිව්වා. ගංගාව අරගෙන තිබුණේ රත්නපුරයෙන්. ඉපදිලා තිබුණේ රත්නපුර වේවැල්වත්ත වගේ පොඩි රෝහලක. හැබැයි අම්මාගේ නම හැටියට තිබුණේ ඇඹිලිපිටිය මඩුවන්වෙල ගෑනු කෙනෙකුගේ නමක්. බබාව බාරදෙන වෙලාවේ ලංකාවේ අම්මා එක්ක ගත් ෆොටෝ එකකුත් එයාලා ළඟ තිබුණා. මම කොහොමහරි ඒ අම්මාව හොයා ගත්තා. බලපුවාම ෆොටෝ එකේ බබාව වඩාගෙන ඉන්නෙත් ඒ ගෑනු කෙනා. ඒ ගෑනු කෙනා පිළිගත්තා දරුවකු හදාගන්න දුන්නා කියලා. දැන් ප්‍රශ්නයක් නැහැනේ. අමන්දිටත් හරි සතුටුයි. එයා අර ගෑනුකෙනාගෙන් ඇහුවා මොනවද අඩුපාඩු කියලා. හේන් ගොවිතැනට වතුර ගන්න තියෙනවා නම් හොඳයි කිව්වා. අමන්දි එදාම ඇඹිලිපිටිය ටවුමට ගිහින් රු. 70,000 කට පොම්ප බට සේරම අරං දුන්නා. යාළුවාව එවනවා කියලා අමන්දි ආපහු ගියා.“ යනුවෙන් විස්තර කළ ඇන්ඩෘ සිල්වාගේ කතාවේ වැදගත්ම කොටස අනාවරණය වූයේ පසුවය.
සංචාරකයන් රැගෙන උඩවලවෙ, මඩුවන්වෙල වලව්ව වැනි ස්ථානවලට යන ඇන්ඩෘ සිල්වා මඩුවන්වෙල කාන්තාව මුණගැසී කතා කිරීමට කීප වතාවක් ගියේ වැඩි විස්තර දැනගැනීමටය. එහිදි ඇය පවසන තොරතුරු සහ ගංගාගේ තොරතුරු නොගැළපෙන බව ඔහුට අවබෝධ විය. කාන්තාව පැවසුවේ දරුවා පල්ලෙබැද්ද රෝහලේ උපත ලැබූ බවය. එහෙත් දරුවා ඉපදී තිබුණේ රත්නපුර ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලකය. ඇන්ඩෘට ඇති වූ සැකය නිසාම තවදුරටත් තොරතුරු හාරා අවුස්සන විට කාන්තාව පැවසුවේ ඇගේ දරුවකු නොවන බවයි.
මේ වන විට ගංගාත් ඇගේ පෙම්වතාත් එරට මවුපියන් සහ සහෝදරයන් ලංකාවට පැමිණීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඔවුන්ට සත්‍ය තොරතුරු පවසා මෙරටට නොපැමිණෙන ලෙස ඇන්ඩෘ දැන්වූ නමුත් ඔවුන් ඔවුන්ගේ ගමන කල් දැමුවේ නැත. මෙරටට පැමිණි ඔවුහු මඩුවන්වෙල කාන්තාව සොයා ගියහ.
එවිට ඈ කියා සිටියේ ගංගා ඇගේ දරුවකු බවයි. ඡායාරූපයේ ද ඈ සිටින නිසාත් උප්පැන්න සහතිකයේ ඇගේ නම සටහන් වී තිබීම නිසාත් කිසිවකුට ඒ ගැන සැක කරන්නට අවශ්‍ය වූයේ නැත. එහෙත් ඇන්ඩෘ සිල්වාගේ සිත තුළ උපන් සැකයේ බීජය දලුලමින් තිබිණි. ගංගාගේත් මව යැයි කියන කාන්තාවගේත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කළ යුතු බව ඇන්ඩෘ පැවසුවේ එබැවිනි. කාන්තාව සමඟ කොළඹ පැමිණ ඩී.එන්.ඒ. පරීක්ෂණයට අවශ්‍ය සාම්පල් දී ඔවුන් සියලුදෙනාම උණවටුන සංචාරයකට ද ගොස් තිබිණි. එහිදි ගංගා නිදා ගත්තේ මව යැයි කිව් මඩුවන්වෙල කාන්තාව සමඟ එකම කාමරයේය. එම කාන්තාවට රු. 25,000/- ක්ද දී ඇයව බසයකට නංවා ඔවුන් නෙදර්ලන්තයට ගිය පසු ඩී.එන්.ඒ. පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණ තිබිණි. එහි සඳහන් වූයේ එම කාන්තාව ගංගාගේ මව නොවන බවය.
දරුවන්ට අම්මලා හොයලා දෙන්න මම හා හා පුරා කියලා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළේ ඔය සිද්ධියේදි තමයි. ඊට පස්සෙ නම් 15ක් 20ක් විතර කරලා තියෙනවා. ඉතින් මම මේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ කාන්තාව මුණගැහිලා විස්තර කතා කළා. එතනදි තමයි හෙළි වුණේ මේක පිටිපස්සේ ලොකු ජාවාරමක් තියෙනවා කියලා. රත්නපුරයේ ඉස්පිරිතාලේ වැඩ කරපු හෙදියක් තමයි මේ ගෑනු කෙනාට බබාගේ අම්මා හැටියට පෙනී ඉන්න කියලා තියෙන්නේ. ඒ පැත්තේ ඉස්පිරිතාලවල දරුවන් හදා ගන්න අමාරු අම්මලා ගැන මේ හෙදියට ඔත්තු ලැබෙනවා. එයා ගෙදරක බබාලාව තියාගෙන කොළඹින් එන අයට බබාලාව දෙනවා. කොළඹත් බබාලාව හොයලා දෙන්න ජාලයක් හැටියට සංවිධානය වුණු කට්ටිය ඉන්නවා. දැන් නම් ඒ හෙදිය ඉන්නවාද නැද්ද දන්නේ නැහැ. මට හොයාගන්න බැරිවුණා.“ යනුවෙන් ඇන්ඩෘ සිල්වා විස්තර කළේ දරුවන් විදෙස් රටවල්වලට ලබා දීමේ සූක්ෂම ජාවාරමක් පිළිබඳවය. ඇන්ඩෘ පැවසූ රත්නපුර හෙදියගේ පුතුන් සිවුදෙනාව 88 – 89 භීෂණ කාලයේ ඝාතනය කර ඇති බව ඇන්ඩෘ සඳහන් කරන විට දිට්ඨදම්මවේදනීය කර්මය මට ක්ෂණිකව සිහි විය.
දරුවන්ට සැබෑ මවුවරුන් හමු වන ප්‍රථම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
“එක් වතාවකදී මම දරුවකුගේ මව සොයාගෙන යනකොට කලවාන පැත්තේ ඉන්න බව ආරංචි වුණා. මම ගේ හොයාගෙන ගියාම ඒ අම්මා ගොළු කාන්තාවක්. ඒ ගෑනු ළමයාගේ තාත්තා, අයියලා එහෙම එයාට ළමයෙක් ලැබුණු බව පිළිගත්තෙම නැහැ. මම කියපු විස්තර අහලා එයාලා කිව්වා එහෙම වෙන්නෙ කොහොමද, ඒ කියන කාලේ ගෑනු කෙනාගේ වයස 14 යි කියලා. පස්සෙ කතා කරන විට තමයි තොරතුරු හෙළි වුණේ. එයා ගොළු කෙනෙකු නිසා ආබාධිත දරුවන්ට උගන්වන පාසලක නවත්තලා තිබෙනවා. එහේ කෙනෙක් මේ ගොළු දැරියව දූෂණය කරලා. එයින් ලැබුණු දරුවාව විදේශිකයන්ට හදා ගැනීමට බාරදීලා තියෙන්නෙත් එතන නිලධාරිනියක් මැදිහත් වෙලා.“ යනුවෙන් තවත් සංවේදී පුවතක් ඇන්ඩෘ සිල්වා අප හමුවේ තැබීය.
මේ අතරවාරයේ දී සිය සහෝදරයා ඇතුළු ඔහුගේ මිතුරන් අතින් දූෂණය වීම හේතුවෙන් උපන් දරුවකු පිළිබඳ ඇන්ඩෘ සිල්වා පවසන විට ඇතිවූ කම්පනය වචනයෙන් විස්තර කළ නොහැකිය. එය වාර්තා වූයේ කෑගල්ල ප්‍රදේශයෙනි.
“නෙදර්ලන්ත ජාතික යුවළක් තමයි මට දරුවාගේ මව ගැන හොයන්න බාර දුන්නේ. මොකද එයාලා හදා ගත්ත පුතාට දුක, සතුට වගේ හැඟීම් පළ කරන්න බැරි ආබාධයක් තිබිලා. ඒ පුතාව අරං තිබුණේ කුරුවිට ළමා නිවාසයකින්. ළමා නිවාසයට බාර දීලා තිබුණේ පරිවාසයෙන්. දරුවාව අරං යන විට සමූහ දූෂණය නිසා ඇති වූ කම්පනයෙන් අම්මා අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.
පරිවාස කාර්යාලයේ පොතක මවගේ පියා ලෙස බෝගල ගමේ කෙනකුගේ නමක් සඳහන් වී තිබුණා. මම තැපැල් කන්තෝරුවට ගිහින් මවගේ පියාව හොයා ගත්තා. දරුවාව පරිවාසයට දුන්නා කිව්වා මිසක් එයාලාට දරුවා ගැන දැනගන්නවත් ඕනෑකමක් තිබුණේ නැහැ. ඒ වනවිට දරුවාගේ මව හිටියේ එයාගේ අක්කා ළඟ. අයියා නංගීව දූෂණය කළ නිසා අක්කා ගෙදර අය එක්ක තරහින් හිටියේ. ඒ වන විටත් නඩුව විභාග වෙමින් තිබුණා. හැබැයි නඩුව පොලිසියේ අවශ්‍යතාවට ගෙනිච්චා මිසක් ගෙදර අයට නඩුව ගෙනියන්න වුවමනාවක් තිබුණේ නැහැ. මොකද විත්තියට හිටියේ අයියා විතරයි. මේකට සම්බන්ධ අයියාගේ යාළුවෙක් වහ බීලා මැරිලා. අනිත් යාළුවාත් කොහොමහරි මැරිලා. මේ වන විට අයියා විවාහ වෙලා දරුවනුත් හිටියා. අයියාගේ පවුල ආරක්ෂා කරගන්න තමයි ඒ තාත්තාට වුවමනා වුණේ. කොහොමහරි මම අක්කලෑ ගෙදරට ගිහින් අම්මාව මුණගැහුණා. ඒ අම්මා පුතාට දාපු නම එයාට මතක තිබුණා. නෙදර්ලන්තයේ යුවළ ඇවිත් අම්මාව මුණගැහුණා. පස්සෙ පුතාවත් එක්කං ආවා. දැන් නම් පුතාට 90% ක් හොඳයි. නෙදර්ලන්ත ජෝඩුව ඒ අම්මාට මාස්පතා රු. 20,000/- ක් බැංකුවට දානවා. අක්කාගේ දරුවන්ටත් වියදම් කරනවා. ගිය අවුරුද්දෙත් ඒ කට්ටිය ඇවිත් ගෙයක් අරගෙන අම්මාවත් එහාට ගෙන්නාගෙන නිවාඩුව ගත කරලා ගියේ.“ යනුවෙන් ඇන්ඩෘ සිල්වා විස්තර කළේය.
ඇන්ඩෘ සිල්වා දරුකමට හදා ගැනීමට පිටරටට දුන් දරුවන් සොයා දෙන බව දැනගත් ලංකාවේ මවුවරුන් ඉදිරිපත් වී ඔවුන්ගේ දරුවන්ගේ තොරතුරු ඔහුට ලබා දී තිබෙන්නේ ඇන්ඩෘ පිළිබඳව රූපවාහිනි නාළිකාවක විකාශය වීමෙන් පසුවය. මේ වන විට නෙදර්ලන්තය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය යන රටවල්වල ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් සංවිධානගත වී වැදූ මවුවරුන් සොයා ගැනීමේ මෙහෙයුම අරඹා තිබේ. ඔවුන් විසින් ඩී.එන්.ඒ. පරීක්ෂණ කිරීමට අවශ්‍ය කට්ටල ඇන්ඩෘට සපයා දී ඇත. ඇන්ඩෘ විසින් මවුවරුන් ලෙස සොයා ගන්නා කාන්තාවන්ගේ රුධිර සාම්පල වෛද්‍යවරයකු මගින් ලබා ගෙන මෙම දරුවන්ට යවනු ලැබේ. ඇතැම් අවස්ථාවල එයින් මව හඳුනා ගැනීමට ලැබුණත් ඇතැම්විට බලාපොරොත්තු බිඳී යන අවස්ථා ද තිබේ. මේ වන විට ඒ ආකාරයට ඩී.එන්.ඒ. පරීක්ෂණ 200 ක් පමණ සිදු කර ඇත.
“සමහර ළමයින්ගේ අම්මලා හොයා ගන්න ගොඩාක් අමාරුයි. මොකද ඉස්පිරිතාලෙක බස් නැවතුම්පළක දාලා ගිය දරුවො නිසා. වතාවක් මට ලැබුණා නෙදර්ලන්තයේ පවුලක දරුවන් දෙදෙනකුගේ අම්මලාව හොයන්න. පිරිමි ළමයාගේ අම්මාව මම නුවරඑළියෙන් හොයලා දුන්නා. ඒ අම්මට ලක්ෂ 15 කට ගෙයකුත් අරන් දුන්නා. ඒත් ගෑනු ළමයාගේ අම්මාව හොයා ගන්න බැරි වුණා. ඒ ගෑනු ළමයාව අරන් තිබුණේ කුරුවිට ළමා නිවාසයකින්. එහාට දරුවාව බාරදීලා තිබුණේ පරිවාසයෙන්. මම පරිවාස කාර්යාලයට ගිහින් තොරතුරු පරීක්ෂා කළාම ඒ ළමයාව මග දාලා ගිය දරුවෙක්. ඒ නිසා ගෑනු ළමයාගේ අම්මාව හොයා ගන්න බැරි වුණා.“ යනුවෙන් ඇන්ඩෘ සිල්වා විස්තර කළේය.
“ඇත්තටම ඒ ළමයි හරිම ආසයි අම්මලාව දකින්න. කතා කරන්න. ඒත් සමහර වෙලාවට අම්මලාව හොයා ගත්තත් මට සම්බන්ධ කරගන්න බැරි අවස්ථා තියෙනවා. මේ ළඟදි අම්මා කෙනෙකුව හොයා ගත්ත නුවර පැත්තේ. ඒත් ඒ අම්මා දැන් විවාහ වෙලා තංගල්ල පැත්තේ ඉන්නේ. මම එතන මැද්දට පැනලා විවාහ ජීවිතය අවුල් කරන්න බැහැනෙ. ඒ නිසා මම නිශ්ශබ්ද වුණා.“ යනුවෙන් ඔහු ගෙනහැර පෑවේ ඔහු මුහුණදුන් එක් ප්‍රායෝගික ගැටලුවක් පමණි. තම දරුවන් හදා ගැනීමට දුන් මවුවරුන් සිය දරුවන් දැක ගැනීමට කැමැත්තෙන් පසුවන්නේ නම් ඇන්ඩෘ සිල්වා දුරකථනයෙන් අමතා විස්තර පැවසිය හැකිය. 0772114795 ඔහුගේ ජංගම දුරකථන අංකයයි.
“අම්මලා දරුවන්ව දාලා ගියා නම් දාලා ගිය ස්ථානය, අවුරුද්ද, උපන් ස්ථානය වගේ තොරතුරු මට දෙන්න. එවිට මට තොරතුරු ගළපා ගන්න ලේසියි. මම ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් සැබෑ මව 100%ක් තහවුරු කර ගන්නවා. ඒ පරීක්ෂණවලට මම සතයක්වත් ගන්නේ නැහැ. ඒ සේරම දේවල් නොමිලේ කරනවා. සමහර විස්තර හොයන විට අම්මලා දරුවන්ව හදා ගන්න දීලා තියෙන්නේ ලංකාවේ අයට. ඒත් ව්‍යාජ ලේඛන හදලා ව්‍යාජ මවුවරුන් ඉදිරිපත් වෙලා ඒ දරුවන්ව පිටරටට අරං ගිහින්. අම්මලාව හොයන එක ලේසි නෑ. මේවගේ පැටලිලි ගොඩාක් තියෙනවා.“ යනුවෙන් ඇන්ඩෘ විස්තර කළේ ඔහුගේ අත්දැකීම් ඇසුරිනි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ස්විස්ටර්ලන්තය සහ ප්‍රංශය යන රටවල්වල දරුකමට හදා ගන්නා ශ්‍රී ලංකාවේ දරුවන් දැන් රජයට විරුද්ධව නැඟී සිටින බවයි. ඊට හේතුව වන්නේ ඔවුන්ව එම රටවල්වලට ගැනීමේදී ඔවුන්ගේ ලිපිලේඛනවල නිරවද්‍යභාවය ගැන එරට රජයන් වගකීමෙන් තොරව කටයුතු කිරීම යන කාරණාවයි. ස්විස්ටර්ලන්තය හා ප්‍රංශය යන දෙරටේ තානාපති කාර්යාල එම දරුවන්ගේ මවුවරුන් සොයා ගැනීමේ කටයුත්තට ඍජුව මැදිහත් වන්නේ එබැවිනි
හර්ෂා සුගතදාස
සිළුමිණ