රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ ස්වයංරැකියාවල යෙදෙන්නන් සඳහා වන පරිපූරක උත්සව ණය පහසුකම්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ ස්වයංරැකියාවල යෙදෙන්නන් සඳහා වන පරිපූරක උත්සව ණය පහසුකම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු මඟින් සියයට 0.625 ක මාසික පොලී අනුපාතයකට මෙම ණය මුදල් නිකුත් කෙරේ.

ණය ආපසු ගෙවීම 2021 ජනවාරි සිට ආරම්භව මාසික වාරික 10 කින් අය කිරීමට යටත් වේ.

මසකට රුපියල් 50,000 කට වැඩි වැටුප්/ආදායම් ලබන්නන් සඳහා රුපියල් 50,000 ක ණය මුදලක් ද, මසකට රුපියල් 25,000 ත්  50,000 ත් අතර වැටුප්/ආදායම් ලබන්නන් සඳහා රුපියල් 25,000 ක ණය මුදලක් ද, මසකට රුපියල් 25,000 කට අඩු වැටුප්/ආදායම් ලබන්නන් සඳහා රුපියල් 10,000 ක ණය මුදලක් ද හිමි වේ.

මෙම ණය පහසුකම් යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය දැනටමත් මතු සඳහන් බැංකු වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

මෙම ණය පහසුකම ලබා ගැනීමට කැමති රජයේ හෝ පෞද්ගලික සේවාවන්වල සේවකයන්ට එම ආයතනවල ප්‍රධානීන් සිය සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය තම සේවා ස්ථානය අසල පිහිටි රාජ්‍ය බැංකු වෙත ඉදිරිපත් කළ විට, අදාළ බැංකු විසින් එම ණය මුදල සේවකයන්ගේ ගිණුම්වලට බැර කරනු ලැබේ.

රජයේ විශ්‍රාමලාභීන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත්, සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ද මෙම පරිපූරක ණය පහසුකම ලබාගැනීමට අවශ්‍ය ලිපිලේඛනමය පහසුකම් සපයනු ලැබේ. ඉහත සඳහන් රාජ්‍ය බැංකුවල තම ගිණුම් පවත්වාගෙන යනු ලබන ත්‍රීවීලර්, පාසල් වෑන් රථ හා බස් හිමියන්, පෞද්ගලික බස්රථ සේවකයින් වැනි අය සඳහා තම බැංකු ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය බැංකුව වෙත තම ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර මෙම සහන ණය මුදල සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම ගනයට අයත් නොවන රාජ්‍ය බැංකුවල ගිණුම් පවත්වාගෙන යනු ලබන දෛනික රැකියාවල යෙදෙන්නන් සඳහා ද මෙම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය බැංකුවෙන් ණය ඉල්ලුම් කළ හැකි අතර, ණය ගෙවීමේ හැකියාව අනුව බැංකුව විසින් අදාළ ණය පහසුකම ලබා දෙනු ඇත.

මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා සියලුම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල පූර්ණ සහයෝගය ඔවුන්ගේ සේවකයන්ට ලබා දීමටත්, මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත සඳහන් බැංකු සමඟ සම්බන්ධීකරණය කිරීමටත් කටයුතු කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top