පෙරට ගත යුතු හෙළ වෙදකම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ජීවිතය හඳුන්වන්නේ, සිරුර, ඉඳුරන්, සිත සහ ආත්මය එක්තැන් කරගැනීමක් වශයෙනි. ශාරීරික, මානසික, සමාජයීය, සදාචාරාත්මක හා අාධ්‍යාත්මික සුබ සිද්ධියේ සංකලනය සෞඛ්‍යය සංරක්ෂණයට වැදගත් වන බව ආයුර්වේදයේ නිර්මාතෘහු සැලකූහ. රෝගියා සුවපත් කරන්නේ ගතෙන් පමණක් නොව සිත ද සුවපත් කිරීමෙනි. සිත සුවපත් කිරිම සඳහා භූගෝලීය පරිසරය හා ජීවන රටාව පිළිබඳ සුහද විමසීමක් අත්‍යවශ්‍යය.

“විද්” ධාතුවෙන් බිඳී ඇති “වේද” යන්නෙහි අදහස ඥානය යනුයි. “ආයුඃ” යන්නෙහි අදහස “ආයුෂ” හෙවත් “දීර්‍ඝ ජීවිතය” හෝ “යහපත් ජීවිතය” වේ. ලෙඩ රෝග වළක්වා ගැනීමෙන් සහ රෝග සුවකර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගතකිරීමට උපදෙස් දෙන ශාස්ත්‍රය පිළිබඳව ඉගෙනීම හෝ ඉගැන්වීම සහ ආයුෂ පිළිබඳ ඥානය ද ඇතිකර දෙන ශාස්ත්‍රය “ආයුර්වේද” නම් වේ. ආයුෂ (දීර්‍ඝ ජීවිතය) පිළිබඳ වේදය (උසස් ශාස්ත්‍රය) ආයුර්වේදයයි. ජීවිත, ජීවන, චිරජීවන, ධාරි, නිත්‍යග, අනුඛන්‍ධ යන මේවා ආයුශ්ශබ්දයට පර්‍යායව සිටී. ශරීර ජීව දෙකෙහි සංයෝගය ජීවන නම් වේදය යනු අයහපත් දෙය ඉවත්කොට යහපත් දෙය වැලඳ ගැනීමට වුවමනා වන දැනීම දෙන උතුම් උපදෙස් පරපුරයි. විද්‍යාව, ශාස්ත්‍රය, අනුශාසනය යන අර්ථද වේද ශබ්දයෙහි ඇත. “වේද යනු විද් – ඥානයෙහි” යන ධාතුවෙන් පැන නැගුණු කෘදන්ත ශබ්දයකි. මෙකී ශිෂ්ටෝක්තීන්ගෙන් පෙනී යන්නේ දිගු කලක් ජීවත් වීමට ඉවහල් වන උසස් උපදෙස් පරපුර යන අර්‍ථය ආයුර්වේදය යන්නෙහි ගැබ්වී ඇති බවයි.

සත්ත්වයන් හා ශාක අතර සම්බන්ධයේ මා හැඟි ප්‍රතිඵලයක් වශයෙන් ද ආයුර්වේදය හැඳින්විය හැකිය. ආයුර්වේදය යනු ජීවත්වීමේ විද්‍යාවයි. මනුෂ්‍යයා වනගත අවදියේ සිටම අතක් පයක් කැඩුණු විට තැල්මක් ඇති වූ විට, බිඳුම් හා උණ සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝගාබාධ සඳහා භාවිත කරන ලද්දේ ගස්වල කොළ, පොතු, මල්, අල, මුල් ආදී අංගෝපාංගයන්ය. මෙය ආයුර්වේදයේ මූලාරම්භය යි. මෙම වෛද්‍ය ක්‍රමය තුළ ජීවිතය හඳුන්වන්නේ, සිරුර, ඉඳුරන්, සිත සහ ආත්මය එක්තැන් කරගැනීමක් වශයෙනි. ශාරීරික, මානසික, සමාජයීය, සදාචාරාත්මක හා අාධ්‍යාත්මික සුබ සිද්ධියේ සංකලනය සෞඛ්‍යය සංරක්ෂණයට වැදගත් වන බව ආයුර්වේදයේ නිර්මාතෘහු සැලකූහ. රෝගියා සුවපත් කරන්නේ ගතෙන් පමණක් නොව සිත ද සුවපත් කිරීමෙනි. සිත සුවපත් කිරිම සඳහා භූගෝලීය පරිසරය හා ජීවන රටාව පිළිබඳ සුහද විමසීමක් අත්‍යවශ්‍යය. එම නිසා ආයුර්වේදය ස්වභාවික විද්‍යාවක් ලෙසට භෞතික ලෝකයේ වැදගත් ස්ථානයක් ගනු ලබයි. මෙම වෛද්‍ය ක්‍රමය හුදෙක් රෝගීභාවය තුරන් කිරීමේ පදනම පමණක් ඉලක්ක කරගත් වෛද්‍ය ක්‍රමයක් නොවන අතර එය මානසික මෙන්ම අාධ්‍යාත්මක ස්වස්ථතාව කෙරෙහි ද විශාල අවධානයක් යොමු කොට ඇත. ආයුර්වේදයේ විශේෂත්වය වන්නේ රෝග මූලය සොයා ඒ සඳහා ප්‍රතිකාර කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානවලට අනුව ඉතා උසස් ආරෝග්‍ය තත්ත්වයක් ලැබීම සෑම මනුෂ්‍යයාගේම ප්‍රධාන අයිතිවාසිකම්වලින් එකකි. ආරෝග්‍ය හා ඖෂධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, රෝග වැළැක්වීම, වසංගත වැළැක්වීම, වාසස්ථාන, සනීපාරක්ෂාව හා පෝෂ්‍යය ආදී කරුණු සහ දිවි පෙවෙත දියුණු කිරිම සම්බන්ධයෙන් ද මෙම සංවිධානය මගින් කටයුතු කරනු ලබයි. ස්වස්ථතාව පිරිහී රෝගීභාවය ඇති වන්නේ කෙසේ දැයි ආයුර්වේදය පැහැදිලි කරයි. යහපත් ආහාර (කෑම බීම) විහාර (හැසිරීම) දෙකින් කායික මානසික ස්වස්ථතාව ආරක්ෂාවන අතර අයහපත් ආහාර විහාර දෙකින් කායික මානසික රෝගීභාවය ඇති වන බව සාර්වාර්ථ සංග්‍රහය දක්වයි.

ඈත අතීතයේ සිටම ආයුර්වේදයට හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි. දේවානම්පියතිස්ස මහරජතුමා (ක්‍රි.පූ. 247) දී මිහින්තලා කඳු පාමුල ආරෝග්‍යශාලාවක් කර වූ අතර එම ගොඩනැඟිල්ල තුන් පැත්තක පිහිටි කුටි කිහිපයකින් මධ්‍යයෙහි පිහිටි ශාලාවකින් හා අනෙකුත් උපාංගවලින් යුක්ත විය. ලෝකයේ ප්‍රථම ආයුර්වේද ආරෝග්‍යශාලාව මෙය යැයි ද විශ්වාස කෙරේ. බෙහෙත් වතුරෙහි ගිල්වා කරනු ලබන ප්‍රතිකාර සඳහා බෙහෙත් ඔරු භාවිතා කළ බව ද ඉතිහාසය සාක්ෂි දරයි. ලක්දිව වූ ආයුර්වේද රෝහල් රාශියක් පිළිබඳව මහාවංසයේ සඳහන් වේ. සිව්කාසාලා (සූතිකාගාර), සොත්ථිසාලා, ගිලානසාලා, වෙජ්ජසාලා, ප්‍රසව වේදනා යුක්ත ස්ත්‍රීන් (පසවන්තීනං), අන්ධයන්ට, බෝවෙන රෝග (උපසග්ගරොගවෙජ්ජසාලා), භික්ෂු වෛද්‍යශාලා පැවති බව සඳහන් වේ. ක්‍රි. ව. 337-365 දක්වා ලක්රජය කර වූ බුද්ධදාස රජතුමා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. “රජකම බැරිනම් වෙදකම” යන යුක්තිය සැකසුණේ මෙතුමාගේ චරිතය ඇසුරෙනි. මෙම රජතුමා කායික මානසික උභයාංගයෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කළ බව මහාවංසයේ සඳහන් වේ. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද වෙදකම් කිරිමට මෙම රජතුමා සමත් විය. සෑම ගමකට ම ආරෝග්‍යශාලා (වෙජ්ජසාලා) කරවා ඒවායේ වෛද්‍යවරු නියුක්ත කරවීය. ගම් දහයකට එක් රාජකීය වෛද්‍යවරයා බැගින් යොදවා රජතුමා විසින් ඔවුනට වැටුප් ගෙවීමට සලස්වා ඇත. අනාගත වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය පිණිස වෛද්‍ය ශාස්ත්‍රයේ සාරය එක් තැන්කොට සාරාර්ථ සංග්‍රහය නම් වෛද්‍ය ග්‍රන්ථයක් ද කර වූ කරවූ බවට මහාවංසයෙන් වාර්තා හමුවේ. පුරාතන යුගයට අයත් යැයි සැලකෙන මැදිරිගිරියෙන් සොයාගත් නටබුන් ලිපිය මෙකල ලක්දිව සෞඛ්‍ය සේවාව දියුණු තත්ත්වයකට පැවති බව සනාථ කරයි. පස්වන කාශ්‍යප රජතුමාගේ කාලයේ (ක්‍රි. ව. 914-923) “දෝතිවලක්න” නැමැත්තකු විසින් කර වූ ආරෝග්‍ය ශාලාවකට අවුරුදු පතා වියළි ඉඟුරු පෑල බැගින් දීමේ කොන්දේසිය මත පමුණු වශයෙන් එකතරා පුද්ගලයකුට පිරිනැමූ ඉඩම් හා ඒ පිළිබඳ විශේෂ වරප්‍රසාද පිළිබඳ පොලොන්නරුවේ ටැම්ලිපිය වාර්තා කරයි. හතරවන දප්පුල රජතුමා (ක්‍රි. ව. 924-935) බෙහෙත්ගෙට ඉඩම් පරිත්‍යාග කොට එහි සේවකයන්ට ද ඉඩම් දුන් බවට වෙස්සගිරිය පුවරු ලිපිය සාක්ෂ්‍ය සපයයි. සිවුවන මිහිදු රජු (ක්‍රි. ව. 954-956) රෝගී වූ තවුසන් වෙත වෛද්‍යවරුන් යවා ප්‍රතිකාර කරවීය. දිනපතා තිප්පිලි, ඉඟුරු, උක්හකුරු, ගිතෙල් , තලතෙල්, මී පැණි ආදියෙන් යුත් බෙහෙත් පාත්‍ර භික්ෂූන්ට පූජා කළේය. එසේම සියලු රෝහල් සඳහා බෙහෙත් හා කැඳ රජයෙන් සැපයිණි.

ලක්දිව වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් ලෙස දඹදෙණියේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි. ව. 1236-1270) කාලය සැලකේ. මෙම යුගයේ අනෝමදස්සී සංඝරාජයන් වහන්සේ පාලි භාෂාවෙන් ම ආයුර්වේද ග්‍රන්ථයක් භේසජ්ජමංජුසා නමින් රචනා කළහ. මයුරපාද පිරිවෙන්පති හිමියෝ යෝගාර්නවය හා යෝගරත්නාවලිය රචනා කළහ. කතුවරු පැහැදිලි නොවන වරසාරාර්ථ සංග්‍රහ නම් වූ සාරාර්ථසංග්‍රහ සන්නය, සාරසංග්‍රහය හා නාගවිධිය යන පොත් ද මේ යුගයට අයත් ය. කැඩුම්බිඳුම්, සර්පවිෂ, ඇස් ලෙඩ ආදිය පිළිබඳව ද කියැවෙන කුඩා පුස්කොළ වෙදපොත් රාශියක් මේ යුගයට අයත්ය. කුරුණෑගල රාජධානි සමයෙහි සිද්ධිසරය, වරයෝගසාරය, යෝගසිද්ධි යන වෛද්‍යග්‍රන්ථ රචනා විය. මධ්‍යකාලීන යුගයට අයත් කෝට්ටේ යුගයේ සිවුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1412-1467) යුගය දීප්තිමත් අවදියකි. එකල පැවති පිරිවෙන් අධ්‍යාපනයේ විෂයමාලාවට වෛද්‍යශාස්ත්‍රය අයත් විය. ආන්ධ්‍ර ජාතික උසස් වෛද්‍යවරයකු වූ මාධවනිදානය ඇසුරෙන් අභිනව මාධවය හෙවත් මාධවසාරචය කරන ලද රාජගුරු කවිචන්ද්‍ර පඬිවරයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජකීය වෛද්‍යවරයා ලෙස ඔහු කටයුතු කළේය. එතුමන්ට “ශ්‍රී රාජවෛද්‍යශේඛර” යන ගෞරව නාමය ප්‍රදානයෙන් පැහැදිලි වන්නේ ද එකල රාජකීය අනුග්‍රහය වෛද්‍යකර්මය සඳහා සෘජුවම ලැබුණු බවයි. මේ වෛද්‍යවරයා ශ්‍රී රාමචන්ද්‍රියන් විසින් ආන්ධ්‍ර බසින් කරන ලද වෛද්‍යචින්තාමණී භෛෂජ්‍යසංග්‍රහය පිළිබඳ සිංහල අනුවාදය හා ප්‍රතිකර්ම සංග්‍රහය යන ග්‍රන්ථ දෙක ද රචනා කරන ලදී. නිද්‍රානය සහිත සම්පූර්ණ චිකිත්සා සංග්‍රහයක් වූ යෝගරත්නාකරය මේ යුගය ආලෝකමත් කළ තවත් සැබෑ ග්‍රන්ථයකි. නුවර යුගයේ සෞඛ්‍ය සේවා තත්ත්වය අවබෝධ කර ගැනීමෙහිලා රොබට් නොක්ස්ගේ වාර්තා විශේෂ මෙහෙයක් ඉටු කරනු ලබයි. ඔහු විසින් රචනා කරන ලද එදා හෙළදිව ග්‍රන්ථයේ මෙලෙස සඳහන් කොට ඇත. “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ ඒ සඳහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ නැත්තාහ. කසාය, බෙහෙත් ගැන හා කැපුම්, කෙටුම්, පෑස්සුම් ගැන කොයිකාටත් සාමාන්‍ය පළපුරුද්දක් ඇත. ඔවුන් ඔසු පිළියෙල කරන්නේ ගස්වැල්වල කොළ පොතු ආදියෙනි. වමනය කරවීමටත් අලුත් වණ සුවකර ගැනීමටත් ඇස්රුදා ආදිය සනීපකර ගැනීමටත් ඔවුහු ගස්වල කොළපොතු පාවිච්චි කරන්නාහ.”

ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ඉතා ගෞරවනීය වූත් ප්‍රතිඵල දායක වූත් විශිෂ්ට වෛද්‍යක්‍රමයක් අප සතුව පැවති බවයි. ආයුර්වේදයේ සුවිශේෂ වූ ප්‍රයෝජන ද රාශියකි. පුද්ගලයා සමස්තයක් වශයෙන් සලකා ප්‍රතිකාර කිරීම, ඖෂධ සුලබ වීම, අතුරු ආබාධ රහිත වීම, සිරුර හා මනස ඒකාබද්ධව සැලකීම, සමාජ හා ආගමික සාරධර්මවලට අනුගතවීම හා රෝග නිවාරණය අවධාරණය කිරිම ඒවායෙන් කිහිපයක් පමණි.

දේශීය ඖෂධ නිෂ්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම, ප්‍රදේශ වශයෙන් බහුලව වැලදෙන රෝග සමීක්ෂණය කර ඒවා සුව කිරීම, නැවත වැලඳීම වළක්වා ගත හැකි දේශීය ක්‍රම සෙවීම හා ඒවා මහජනතාව අතරට පත් කිරීම, සිරිත් විරිත් හා කායික මානසික සංයමය තුළින් ලද හැකි සුවය හා සැනසිල්ල පිළිබඳ දේශීය ක්‍රම ඇගයීම ආදිය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණු කළ හැකි ක්‍රමෝපායන් අතරින් සමහරකි. ආයුර්වේද ආරෝග්‍යතා, ඖෂධ, කර්මාන්තශාලා, ඖෂධ උද්‍යාන, පර්යේෂණාගාර, නව නිෂ්පාදන සඳහා පෙළඹීම ආදිය නොපිරිහෙලා සැපයිය යුතුය. මේ සියලු අංශයන් සොයා බලා ඒවා ක්‍රමවත්ව සම්පූර්ණ කළ යුතුය. වෛද්‍ය සභා, සෞඛ්‍ය සභා, ප්‍රචාර විධි ආදිය ද අවශ්‍යයෙන්ම සිදුකළ යුතුය. කාලයට ගැළපෙන තාලයට දේශීය වෛද්‍ය ක්‍රමයක් නවීකරණයට පත් කිරිමට ඇතැම්හු උත්සාහ දරති. මෙය කළ නොහැක්කකි. එයට හේතුව වන්නේ මෙම වෙදකම සොබා දහම සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන බැවිනි. නවීකරණය යනුවෙන් අදහස් කරන්නේ සොබා දහමින් යමක් ඈත්කර එය මිනිසා විසින් සකස් කළ ලෝකයට ඇතුළු කරවීමයි. “වෙනස් වන ලෝකය” යනු මිථ්‍යාවකි. ලොව කිසිවක් වෙනස් වී නැත. මීට අවුරුදු දහස් ගණනකට ඉහත පෑයු ඉර හඳ අදත් එලෙසම පායයි. වැස්ස එලෙසම වසී. ජලය අදත් බෑවුම් ඔස්සේ ගලා බසී. පැළැටි වැඩීම හෝ සතුන් ජිවත්වීමද මීට අවුරුදු දහස් ගණනකට පෙර පරිද්දෙන්මය. වෙනස් වී ඇත්තේ මිනිසා සහ ඔහු ගන්නා ආහාර, ජීවන පැවැත්ම ආදියයි. එබැවින් කාලය පැමිණ ඇත. අප විසින් අපව වෙනස් කර ගත යුත්තේ අනගතයේ ලෝකය සඳහා නිරෝගී පරපුරක් බිහිකර ගැනීමට අවැසි හෙයිනි. ආයුර්වේදය පිළිබඳව අද මුඵ ලොවෙහිම අවධානයට පත්ව ඇති යුගයකි. එහි අවශ්‍යතාවය අවබෝධ කර ගනිමින් ඒ අනුව ජීවිත හැඩ ගස්වා ගනිමින් ආයුර්වේදය දියුණු කළ යුතු කාලය පැමිණ ඇත

වර්තමානයේ මුළු ලෝකයටම බරපතළ අර්බුදයක් බවට පත් වී ඇති කොරෝනා වසංගතය මර්දනය කළ හැකි එන්නතක් පිළිබඳ තවමත් පර්යේෂණ කෙරෙමින් පවතී. මේ අතර කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් ලෝකය දරුණු ව්‍යසනයකට පත්වෙමින් තිබේ.මෙවැනි වාතාවරණයකදි අපේ රටේ දේශීය වෛද්‍යවරයකු කොරෝනා සුවකළ හැකි ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙන බව මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.කොව්ඩ් රෝගින් සම්බන්ධ කරගෙන මෙම ඖෂධය අත්හදා බැලිම් කරගෙන යන අතර, එහි යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවද ඒ හා සම්බන්ධ කණ්ඩාම් පැහැදිලි කර තිබේ.මෙයට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම සතුටට කරුණකි.මෙවැනි දේශීය ඖෂධයක් වෛද්‍ය විද්‍යාත්මකව සාර්ථක වුවහොත් ලෝකයම මුහුණ දී ඇති බරපතළ අර්බුදයෙන් ගොඩ ඒමට මහත් පිටිවහලක් වනු ඇත. එක් පැත්තකින් අපේ රටට ලැබෙන ගෞරවයකි. බටහිර වෛද්‍ය ක්‍රමයට මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අවධානයක් යොමු කිරිම සහ එයින් පල ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරිම වැදගත් වේ.ඒ සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වෛද්‍ය කණ්ඩායම්වලට, පර්යේෂකයනට,ඖෂධ පැළෑටි වවන්නන්ට දිරි දීම අවශ්‍ය වේ. මේ වන විටත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමි වි තිබීම.ඔවුන්ට ශක්තියක් වනු ඇත.

එච්. ඩබ්ලිව්. කුසලා සජීවනී
සහකාර පුස්තකාලයාධිපති
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top