දියළුම දිය ඇලි ලලනාව හා ඒ හා සැබැඳි කතා

පාසල් ගිය දරුවන්ට දැරියන්ට නැවතත් නිවාඩු ලැබී තිබේ. මේ වනාහි නිවාඩු ඉතිහාසයේ වෙනස් මානයකින් සටහන් වන අවුරුද්දක් වන දෙදහස් විස්සේ ඔවුනට ලැබෙන දෙවන නිවාඩුවයි. මුල් නිවාඩුව ලැබුණේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටම ලොක් ඩවුන් කළ සමයේ ය. ඒ නිවාඩුව පාසල් දරුවන්ට මතු නොව ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු සියල්ලන්ට ම ලැබිණි.

අලුතින් ඇතිවුණු කොරෝනා පොකුරු නැවතත් හදිසියෙන් ම පාසල්වලට නිවාඩුවක් ගෙන ආවේ ය. මෙම ලිපිය ලියැවෙන ඔක්තෝබර් 26 වනදාව වන විට බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා පොකුරු ආශ්‍රිතව බොහෝ ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් මතු විය. අගනුවර පෙදෙස් බොහොමයකත්, ගම්පහ දිස්ත්‍රික්කයටත්, තවත් ඇතැම් පෙදෙස්වලටත් පැනවුණු නිරෝධායන ඇඳිරි නීතීය හා සංචරණ සීමා හේතුවෙන් ප්‍රවාහනය හා බෙහෝ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම අසීරු වී තිබේ. ලිපිය පළවීමට නියමිත නොවැම්බර් 3 වනදාවේ තත්ත්වය පිළිබඳව අනාවැකි ඉදිරිපත් කිරීම අතිශයින් අසීරු ය. කෙසේ වෙතත් මේ පාසල් දරුවන්ට නිවාඩු සමයක් වන බව නම් පැහැදිලි ය. බොහෝ දරුවන්ට මේ නිවාඩු සමයේ ඔවුන්ගේ ගුරුවරුන් වෙතින් ඔන්ලයින් ඉගැන්වීම් ලැබෙන බව අප අසා ඇත. එහෙත් ඉඳහිට හෝ දෙමාපියන් සමඟ පුංචි පහේ විනෝද චාරිකාවක් යන වරම් 2020 මාර්තුවේ සිට දරුවන්ට අහිමි විය. උසස් පෙළ හා ශිෂ්‍යත්වය නිමවූ සැණින් සිය දරුවන් චාරිකාවේ කැන්දාගෙන යන දෙමාපියන්ට ද මෙවර ඒ හැකියාව නැත.

සුන්දර පරිසරය නැරඹීම මහඟු වරමකි. ඔන්ලයින් ක්‍රමයට පාඩම් කියාදෙන ගුරුවරුන්ට ද සිය දරුවන්ගේ මානසික වෙහෙස නිවන්නට පාඩම් අතරමැදදී සුන්දර තැන් පිළිබඳ හඬ පටයක් සහිත රූපරාමු ඉදිරිපත් කිරීම මැනවි. මෙම ලිපිය ලංකාවේ සුන්දර තැනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ ද ඒ සඳහා පිටුටිවහලක් සැපයීමේ අරමුණෙනි.

දියළුම දිය ඇලි කොමළිය වැල්ලවායෙන් බෙරගල හරහා බලන්ගොඩ දෙසට A 4 මාර්ගයේ යනවිට මහපාර අසල ම සිට දැකගත හැකි අතිශයින් සුන්දර දියඇලි රාජිනියකි. ඕ වැසි සමය හා නියං සමය අනුව විවිධ වෙස් ගන්නියකි. ගිම්හානයේ දී අතිශයින් කෙසඟ දිය පහරක් බවට පත්වන ඕ වැසි සමයේ දී ජලයෙන් පෝෂිතව නරඹන්නන් තුළ සුන්දර මතකයන් ශේෂ කරන්නී ය. වැසි සමයේ දී ඒ අසලින් යන මගීන්ට බස්රියේ කවුළු වසා දැමීමට සිදුවන්නේ දිය පහර මඳ වැසි පොදක් සේ බස්රිය තුළට ඇදී එන බැවිනි. එදාට වඩා අද ගමන් බිමන් යන අයට දියළුම මග හැරෙයි. ඒ පානම, මොනරාගල පැත්තේ සිට රත්නපුරයට, කොළඹට යන අය පාරේ පහසුව තකා වැල්ලවායෙන් තණමල්විල හරහා පැල්මඩුල්ලට ගමන් කිරීම හේතුවෙනි. අපි දියළුම ම පතා 2019 දෙසැම්බරයේ දී රියැදුරුගේ නොකැමැත්ත මත දුෂ්කර පාරෙන් ගමන් කළෙමු. එදා දියෙන් පිරුණු දියළුම සුන්දරිය සිය සුන්දරතම වත අපට පෙන්වා සිටියා ය.

කොස්ලන්ද සානුවේ බෑවුමකින් ඇදහැලෙන දියළුම උසින් මීටර 220 කි. (අඩි 720 කි.) එය උසින් ශ්‍රී ලංකාවේ දෙවන දිය ඇල්ලයි. ලෝකයේ ම උසින් 361 වන දිය ඇල්ලයි. එහෙත් මිනුම් දෙපාර්තමේන්තුව විසින් කරන ලද මිනුමකින් මෙම ප්‍රමාණයන් වෙනස් වෙයි. ඒ මිනුම්වලට අනුව දියළුම දිය ඇල්ලේ උස මීටර 171 පමණි. එවිට මීටර 189 ක් උස් වලපනේ කුරුඳු ඔය ඇල්ල දෙවන තැනට විත් දියලුම තෙවන තැනට වැටෙයි.

දියලුම උපත ලබන්නී පූනාගල ඔයෙනි. දියලුම මවන පූනාගල ඔය අනතුරුව කුඩා ඔයට එකතු වෙයි. කුඩා ඔයේ දියවර එකතු කරගන්නා කිරිඳි ඔය සයුර බලා ඇඳෙන්නී ය.

දියලුම දිය ඇල්ල හා සබැඳි ජනකතා මෙන් ම සත්‍ය කතා ද අසන්නට ලැබෙයි. ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් පවා ලියා දක්වන ලද දියළුම ඇල්ලේ ප්‍රභවය පිළිබඳ කතාවක් මෙසේ ය.

එක් ප්‍රාදේශීය පාලකයෙකුගේ පුත්‍රයා සිය ප්‍රදේශයෙන් පිටුවහල්ව සිටියේ ය. ඔහු තමා ජීවත්වූ පෙදෙසේ වංශවත් තරුණියක හා පෙමින් බැඳී සිටියා ය. එහෙත් ඇගේ පියා ඇතුළු ගෝත්‍රයේ නායකයෝ දෙදෙනාගේ විවාහයට එරෙහි වූහ. දෙදෙන ඇය අයත් පාලන පෙදෙසින් පැන යන්නට ක්‍රමයක් කල්පනා කළහ. රැකවල්වලින් මිදී පලා යන්නට නම් නුදුරින් ඇති පර්වතය එහි සීඝ්‍ර බෑවුමින් තරණය කළ යුතු ය. ඇගේ ද කැමැත්ත පරිදි ඔහු ඉතා වෙහෙස ගෙන පර්වතයේ සවිමත් වැල් එල්ලී ය. එල්ලා ඒවා එකට බැඳ රැහැන් දෙකක් තැනී ය. ඒ දෙදෙනට එල්ලී කඳු තරණය කළ හැකි ලෙස ය.

නියමිත දිනයේ පර්වත බෑවුම අසලට පැමිණි දෙදෙන වැල් පටවල එල්ලී අසීරුවෙන් කඳු තරණය ඇරඹූහ. ඇය වැලේ එල්ලී ගමන් කළේ ඉතා අසීරුවෙනි. පර්වත පාමුළ බිය එලවන බැවින් ඇය පහළ නොබලා උඩට නැග්ගා ය. විටෙක ගල් පව්වේ සිරුර වැදී ලේ ගලයි. ඔහු ඇයට සමාන්තරව ඇයට දිරි දෙමින් ගමන් කළේ ය. පර්වත මුදුනට එන්නට ඉතා ආසන්නයේ දී ඇගේ රැහැන ගල කඩතොලු වූ තැනක ගැටී කැපී ගියේ ය. බිහිසුණු විලාපයක් සමඟ ඇය පර්වත පතුළට වැටී සිරුර කීතු කීතු වී ගියේ ය. ඇගේ ඉරණම ගැන කම්පා වූ දෙවියෝ ඔහුගේ කඳුළු මහා දිය ඇල්ලක් බවට පත් කළෝ ලු.

මහා වේගයකින් ගලා හැලෙන දිය කඳ යන අර්ථයෙන් ‘දිය හැලුම’ දියළුම වූයේ ලු.

දියළුම ඇල්ලේ ඉහළ කොටස උඩ දියළුම නම් වෙයි. කඳු තරණයකින් උඩ දියළුම බලා යන්නෝ ද වෙති. විටෙක එහි සෙල්ෆි ගසන්නට ගොස් තරුණයකු මරුට බිලි වූ පුවතක් ද අසන්නට ලැබිණි. 1910 දී සුදු තරුණයෙක් සිය සුදු ජාතික පෙම්වතිය සමඟ කඹ දෙකකින් දියළුම තරණය කරන්නට විය. බොහෝ නරඹන්නන් බලා සිටිය දී ඔවුන්ගේ ඔල්වරසන් මැද දෙදෙන දක්ෂ අන්දමින් දිය ඇල්ල තරණය කරන්නට වූහ. තරුණිය තරුණයාට වඩා දක්ෂ බව පෙනිණි. ඇය ඔහුට වඩා වේගයෙන් ඉහළට ඇදුණා ය. වැඩියෙන් ඔල්වරසන් ලැබුණේ ඇයට ය. ඔහු මග සිටිය දී ඇය පර්වත මුදුනට නැගී ආපසු බසින්නට ද පටන් ගත්තා ය. ඇගේ දස්කම් හා ඇයට ලැබෙන ඔල්වරසන් දුටු ඔහුගේ ඊර්ෂ්‍යාව නිම් හිම් නැති විය. ක්ෂණිකව හිණ රැඳි පිහිය ගත් හේ ඇගේ කඹය කැපුවේ ය. ඇය වේගයෙන් වැටී සිරුර සුනු විසුනු වූ හැටි දැක කම්පාවට පත් ඔහු ද පහළට පැන්නේ ය. මෙම අවාසනාවන්ත මරණ දෙකෙන් පළාත ම කම්පාවට පත්වී ලු.

දියළුම අතිශයින් සුන්දර ලලනාවක් සේ ය. එය ඉහළ සිට පුළුන් පහතට බාන්නා සේ ගලා හැලෙයි. එසේම එහි සුන්දරත්වය සමඟ ත්‍රාසය මුසු ක්‍රීඩා කරන විට අතිශයින් බිහිසුණු වන්නට ඉඩ ඇත.

මහානාම දුනුමාල

දිණමිණ
විශේෂාංග පිටුවෙනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top