…….දැන් අපි පියාඹමු……

පියාඹන්නට නිලඹර ජය ගත් ගුවන් හමුදාවේ කෝඩුකාර දියණියෝ

ඉර මුදුන් සම‍ය කෙමෙන් පල්ලම් බසී. ඒ චීන වරාය ගුවන් කඳවුරේ හාත්පස රිදී පැහැ ගන්වමිනි. ඒ අව් අස්සේ එක එල්ලේ, දිලිසි දිලිසි තිබෙනා අහස් යාත්‍රා දෙසට කාටවත්ම නෙත් හැරවිය නොහැක්කේ ඉන් දෑස් නිලංකාර වන බැවිනි.

ඉදින් හිරු කුමරු තමන්ගේ තේජස ඉකුත්දා වෙනදාට වඩා පතුරුවනු දුටු සෙයින්දෝ සමුදුරු කුමරිය ද අද අමුතුය. කොහොමටත් නිසොල්මන් ත්‍රිකුණාමලය (Trincomalee) සයුරු රුවැත්තිය සිහින් සුළං රැල්ල දවට දවටා මුතු වැල්ලේ සුදෝ සුදු සිහින් පබළු රටා මවන්නීය. ඒ රූසිරි බලා අත්තටු විදහාගත් රාජාලි කරණම් ගසා පහළ අහසට රූටයි. ඉන් සුවිශේෂී දිනක් උදා වූ බව අඟවයි.

එක් අතකින් අනන්තය සොයා ඇදෙනා කර සුළඟය. අනෙක් පසින් ඊට එදිරි වී පිටුපානා ඉර කැන්ය. ඒ මැදින් ගිරා නිලෙන් ඔපවත් වූ උත්සවාකාරයකි. දසත ගුවන් හමුදා ධජ ළෙල දේ. දේශාභිමානි ගී ගැයේ. තූර්ය වාදන නදින් සොබාදම් මාතාව ද එසේ උත්කර්ෂයට නැඟුණු සෙයකි.

දැන් කාගේත් දෑස් වෙහෙසකරය. විටෙක අහස් කුස පීරනා නෙත් එක් ඇසිල්ලකින් නැවත ගොඩබිමට ඇදේ. ගුවන් යානාවල ගැඹුරු හඬ ද හදවත් ගැහෙනා හඬටම එක්වේ. මේ නම් දිරිය සිතැත්තන්ට සේම අතිශය අතළොස්සක්ම වන විරුවන්ට උරුම ඉසව්වක් වන වග ඉන් කියාපායි.

එය නම් සැබෑය. මේ දිනක් දෙකක් නොවේය. අවුරුදුවලින් හෝ දශකවලින් කියා නිම කළ නොහැකි අභිමානයක් එහි ගැබ් වේ. එය එසේ විය යුතුම වග ඉතිහාසය අපට හඬගා කියනු වැන්න. 

සැබැවින්ම, චීන වරාය විද්‍යාපීඨ කඳවුර උඩු ගුවන ජයගත්තවුන්ට අලුත් තැනක් නොවේ. අතිශය දුෂ්කර ගුවන් නියමු පාඨමාලා දිවි හිමියෙන් හැදෑරූ පියාසර නිලධාරීන්ට එය හුරුය. පුරුදුය. ඒ කවුරුත් උපන් ගමට මෙන් ඊට ආදරය දක්වති. ගරු කරති. මේ ශ්‍රී ලාංකේය ගුවන සිසාරා සැරි සැරීමේ අතිශය දුර්ලභ වරම උරුමකරගත් විරුවන්ගේ පාරාදීසයකි. ඊට ලාංකේය ගුවන් තොටිල්ල විරුදාවලි ලැබී ඇත්තේ එහෙයිනි. එසේම තිස් වසරක යුද ශාපය නිමාකරන්නට ලකඹර රකිමින් ඔවුන් කළ මෙහෙවර සදානුස්මරණීය වනු ඇත. නොනිමෙන ඒ උදාර මෙහෙවරේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වැනි වසර මෙයයි. එය ශ්‍රී ලාංකිකයන්ගේ සාඩම්බරයටම හේතු වන තවත් කරුණකි.

ඒ අභිමංගල සිරිය දෙගුණ තෙගුණ කරන්නට රන් අසිපත අතැතිව අධිකාරිත්වයට එසේත් නැතිනම් පියාසර නිල ලාංඡන පැලඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන්ගේ නම රන්දන්නට දිරිය දියණිවරු දෙදෙනකුට වරම් ලැබිණි. හා පුරා කියා ඒ අවස්ථාව හිමිකර ගත්තේ ආර්.ටී.වීරවර්ධන සහ ඒ.ඩී.පී. එල්.ගුණරත්නය. ඒ ඉකුත් දා පියාසර නිල ලාංඡන පැලැඳි සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ගුවන් හමුදාවේදී හැඳින්වෙන අන්දමය.

ඉතින්, ගුවන් නියමුවරු 300ක් පමණ උඩු ගුවන දිනාගැනීමේ වරම් ලැබූ චීන වරාය ආරක්ෂක විද්‍යා පීඨ ‍ කඳවුරින් එතෙක් මෙතෙක් එළි දුටු නියමුවරියන් වූයේ ඒ දෙදෙනාය. ඒ අද අපේ කථානායිකාවන්ය. නියමුවරියන් වශයෙන් නිල ලාංඡන පැලඳ කඳවුරු බිමට එළැඹි ඒ දෙදෙනා කෙරෙන්ම දකුණු ආසියාවේ රට රටවලින්, ගුවන් හමුදා පියාසර නිලධාරිනියන්ගෙන් සැදුම්ලත් ගුවන් ඒකකයකට හිමිකම් කියනා රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් කළෝ, ඔවුහුය. ඒ ලක්මාතාවගේ ආඩම්බරයට තවත් කරුණකි. මේ සුවිශේෂී අවස්ථාවට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද සහභාගිව සිටීම එහි අගය වැඩි කරවන්නක්ම විය. ගුවන් හමුදාපති සුදර්ශන මහතා ගුවන් නියමුවෙක් වශයෙන් නොමැකෙන දස්කම් පෙන්වූවෙකි. එවන් ශුභාශිංසන මැද පියාසර නිල පදක්කම් පලඳින්නට අද අපේ කථානායිකාවන් භාග්‍යවන්ත වූ සැටියකි.

රංගනා, අම්පාරෙන් බිහි වූ වීරවරියකි.

ඉදින් ඒ චීන වරාය ගුවන් කඳවුරේ අසිරියයි. අපි ඒ අතරේ උඩු ගුවනේ විකුම් පානා අපේ කතා නායිකාවන් දෙසට හැරෙමු.

අපි ඒ කතාව පියාසර නිලධාරිනි ආර්.ටී.වීරවර්ධන ළඟින් ආරම්භ කරමු. ඇය ගුවන් හමුදාවේ මුල්වරට සෑම අතින්ම අති දක්ෂ කැඩෙට් නිලධාරිනිය වෙමින් ඊට හිමි රන් අසිපත ද නියමුවරියක ලෙසින් පියාසර ලාංඡනය ද තමන් සතු කර ගත්තාය.

ඒ බොහෝ දුර ගමනක් කෙළවර ශ්‍රී ලාංකේය යුවතියක ලද දිනුමකි.

රංගනා ඒ ගමන අරඹා තිබුණේ අම්පාරෙනි. ඒ ඇයගේ උපන් බිමය. නැගෙනහිර පළාතේම ත්‍රිකුණාමලයේදී ගුවන් නියමුවරියක වශයෙන් අධිකාරිත්වයට පත් වීම රංගනාට දෛවෝපගත සිදුවීමකි. ඒ දුර ගමනේදි, පවුලේ ‘මද්දුමී’වූ රංගනා පියාගේ දෑඟිලිවල එල්ලී කොතෙකුත් මේ, චීන වරාය ගුවන් කඳවුර අවට ඇවිද යන්නට ඇත. ඒ ගමන්වලදී කොතෙකුත් අහස දෙදරවාගෙන උඩු ගුවනේ ඇදෙනා ගුවන් යානා දෙස අද යුවතියක වන ඇය එදා සිඟිත්තියක ලෙසින් ආශාවෙන් බලා සිටින්නට ඇත. ඒ මතක අප්පච්චීට මෙන්ම රංගනාගේ අම්මාට ද අද චිත්‍රපටයක රූප පෙළක් මෙන් මැවී පෙනුනේ නම් එහි අමුත්තක් නැත. ඒ තරමටම රංගනාගේ මවුපියන්ට එය සංවේදී කරුණකි.

මේ සතුටු කඳුළින් බොඳ වූ දෑසින් උඩු ගුවනේ කරණම් ගසමින් පියාසර කරනා රංගනා පිළිබඳ උණුසුම් මතක වචනයට පෙරළනා චිත්‍රා අයිරාංගනී එදිරිසිංහ මාතාවයි.

‘පුංචි කාලේ ඉඳන් දූව පතපොතේ වැඩට හරි හපනියක්. එයා ළදරු පාසල් ගියේ අම්පාරේ. ඉන් පස්සේ දක්ෂකම් නිසා දුවට ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයටත් එහිදී ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට පස්සේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටත් ඇතුළු වෙන්න ලැබුණා. රංගනා උසස් පෙළ හැදෑරුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේයි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ‘බී’ සාමාර්ථ 3ක් ලබන්නට දුවට පුළුවන් වුණා.

දොස්තරවරියක් වෙන්න ආසයි කියලා එයා දැනුම් තේරුම් ඇති වයසට එද්දී අපට කිවුවා. අපිත් ඒ ආසාව ඉටු කර ගන්න එයාට හැම අතින්ම උදවු දුන්නා. ඒත් රංගනා ‘වායු රයිෆල්’ ක්‍රීඩාවටත් හුඟක් ආසා කළා. 2013 අවුරුද්දේ ඇය ඒ අතින්, සමස්ත ලංකා තරගවලින් අනුශූරතාව දිනා ගත්තාමත් මට අද වගේ ලොකු සතුටක් – ආඩම්බරයක් දැනුණා.

අපි දුව කැමැති අංශයක් තෝරාගෙන ඉදිරියට යන්න ඉඩ හැරියා. එයා ‘මං පයිලට් කෙනෙක් වෙනවා’ කියලා මුලින්ම කීවාම එකපාරටම මගේ හිතට මොකක්දෝ වගේ දැනුණා. ඒත් මං එයාගේ හයිය හිත දශමෙකින්වත් වට්ටන්න හිතුවේ නැහැ. කල්පනා කරල බලලා හොඳ තීරණයක් ගන්න ඉඩ හැරියා. අද ඒ ගමනේ දුව හුඟක් දුර ගිහින්. උඩු ගුවනේ ඉහළටම පුංචියට අපිව පෙනෙනකල්ම මගේ මද්දුමී ඉගිල්ලිලා ආපිට අපි ළඟට එනවා දකිනකොට මට සතුටට ඇස්වලින් කඳුළු ගලන්න ගන්නවා…

ඒ දිරිය දියණියක් දැයට තිළිණ කළ උදාර මාතාව‍කගේ කතාව. ඒ සිතිවිලිවලින් රංගනාගේ මව අතිශය සංවේදි වී සිටියදී අපි හැරුණේ අපේ අනෙක් කථානායිකාව දිහාට නොවෙයි, ඇයගේ මවුපියන් දිහාට. ඒ පියාසර පදක්කම් පැලඳ රිසි සේ ගුවනේ සැරි සරණා අපේ අමුත්තියන් මහපොළොවට පය ගසනා තෙක් ලැබෙන කෙටි වේලාවේදීයි.

ඉදින් ගුවන් හමුදා නාමාවලියට අනුව නම් ඇය ඒ.ඩී.පී.එල්.ගුණරත්නය. එහෙත් ඒ නිල ඇඳුමින් ඇය සැරසී ගන්නට කලින් ඈ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න නම් ලද කෙළිලොල් දියණියකි. ඒ කතාව කාටත් වඩා දන්නේ පවිත්‍රාගේ මවුපියන්ය. මේ අනුර ගුණරත්න මහතා ඇයගේ පියා වශයෙන් ඒ කතාවට අකුරු අමුණන සැටිය.

‘කිසිමදාක පවිත්‍රා දුව කාගෙන්වත් දොස් අහනවා මට ඇහිලා නැහැ. විශේෂයෙන් පාසලේදී එයා ගුරුවර ගුරුවරියන්ගේ ඇගැයීමට ලක්වුණු කෙනෙක්. තරුණ වයසේ දරුවෙක් විදියට හොඳ විනයක් ඇයට තියෙනවා. ක්‍රීඩාව වගේම පන්ති කාමරයේ ඉගෙනුමත් සමබරව කරගෙන යන්නයි එයා මහන්සි වුණේ. ක්‍රීඩාවටත් ලොකු ලැදියාවක් පවිත්‍රාට තිබුණා. අපි දුවට නිතරම ආශිර්වාද කළා. එයා ළඟින්ම රැඳුණා. දුවත් අපට එහෙමයි. කවදාක හරි දොස්තර නෝනා කෙනෙක් වෙයි කියලා හීනයක් මට දුව ගැන තිබුණා. ඒත් දැන් දුව ඊටත් වඩා දුර්ලභ කෙනෙක් නේද කියලා මං හුඟක් සතුටු වෙනවා…’

දැන් දැන් මෙතෙක් අහස් ගැබේ ඉහත්තාවෙන් ඇසුණු අහස් යාත්‍රාවල ගිඟුරුම් හඬ වැඩි වැඩියෙන් ළං ළංව ඇසේ. ඒ හඬ ගුවන් ගැබ සැරිසැරූ අපේ කථ‍ානායිකාවන් තවත් සුළු වේලාවකින් ජීවමානව අප අබියස සිටිනා වග අඟවයි.

එසැණින් ගුවන් පථය ආලෝකමත් වෙයි. ගුවන් සංඥා එකිනෙක දැල් වී නිවී යද්දී එන්ජින් ගිඟුරුම ද උත්සන්න වෙයි. එහෙත් එය දිගින් දිගට ම එසේ නොවෙයි. කෙමෙන් පණ ගැන්වුණු යානය නිසොල්මන් වෙයි. ඒ අලුත් හැඟීම් ගොන්නක් සිත් පැලැස්සේ උපද්දවමින් නැ‍ඟෙනා සීතල සුළඟක් ද සමඟිනි.

දැන් රංගනාට, පවිත්‍රාට ඒ ජීවිතයේ එතරම් අමුත්තක් නොවෙයි. මේ කවුරුත් දැන් ගුවන ජයගත් අභිමානවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා දියණියන් වශයෙන් කාගේත් ආදරයට පත් වෙයි. ගෞරවයෙන් පිදුම් ලබයි.

ඒ සිත්වල මේ පැමිණි දුර ගමනේ මං සලකුණු එමට සටහන්ව ඇති. කොතෙකුත් ආදර ගෞරව සැලකිලි මවුපිය ගුරුවර නෑසියන් කෙරේ ඇති. ඉතින් මුලින්ම අපි හැරෙන්නේ රංගනා දිහාටයි. වටකුරු මුහුණට නැඟුණු සිහින් සිනහව ඇයට

ආභරණයක් වැනියි. නිතර විමසුම් බැල්මකින් හෙබි ඇයගේ තියුණු නැහැය හමුදා නිලධාරිනියක වශයෙන් ඇයගේ පෞරුෂය ප්‍රකට කරයි. මේ ඇයගේ හඬයි.

‘අම්පාර වගේම නැගෙනහිර පළාත මට ආගන්තුක නැහැ. එහෙදිම මේ ජයග්‍රහණය ලබන්නට ලැබීම මං භාග්‍යයක් විදියට සලකනවා. මට මේ ගමනේදී අත දුන්නු කවුරුත් මං මේ වෙලාවේ ආදරයෙන් සිහි කරනවා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුණ මට විද්‍යා පීඨයකට ඇතුළු වෙනවාට වඩා ලොකු ආසාවක් ගුවන් නියමු වෘත්තියට ඇති වුණා. එතැනදී මට මවුපියන්ගෙන් වගේම සහෝදරයාගෙන් සහ සහෝදරියගෙන් විශාල අත්වැලක් හිමිවුණා.

ඇත්තෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි මාව මෙතැනට ගෙනාවේ. එහෙම නැතිනම් රුපියල් කෝටි ගණනක් වැය කරලා විදෙස් ගුවන් නියමු පුහුණුවට ගියත් මට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳිලා රටට සේවය කරන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි වෙනුවෙන් ඒ විය හියදම් දරමින් අපිට නේවාසිකව පුහුණුව ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කළා. අපිට දරා ගැනීමේ ශක්තිය පුදුම විදියට වැඩි දියුණු කරගන්න ගුවන් හමුදාව මඟ පෙන්වනවා. ඒත් එක්කම බර අවි පුහුණුව ඇතුළු හමුදා නිලධාරිනියක් සතු විය යුතු සෑම සුදුසුකමකින්ම අපට පරිපූර්ණ වෙන්න ලැබුණේ ගුවන් හමුදාවේ අති දක්ෂ පුහුණු කිරීමේ නිලධාරීන් නිසයි.

ඒ වගේම ගැහැනියකට කළ හැකි දේ අති විශාලයි. එතැනදී පුද්ගලික ජීවිතය වගේම රාජකාරි ජීවිතය සමබරව පවත්වාගත හැකි නම් අපට ඉතා වටිනා ජීවිත ගත කරන්න පුළුවන් වෙනවා…’ ඒ රංගනාගේ උදාන වැකියයි.

ඉන් තරමක් එහාට යමින් අප දැන් නවතින්නේ පවිත්‍රා ළඟයි. ඇයටත් ගුවන් නියමුවරියක ලෙසින් මෙන්ම තරුණියක විදියටත් රටට කිව යුතු දේ තිබෙනා හැඩයි.

‘මං මහනුවර. අම්පිටියේ, දළුගොල්ලේ. මං පවුලේ වැඩිමලා. මට සහෝදරියක් ඉන්නවා. මගේ අම්මා ප්‍රදීපා දසනායක. අම්මා අපිව බලා කියාගෙන ගෙදර අපි ළඟින්ම රැඳුණා. මගේ අප්පච්චි සංචාරක මඟ පෙන්වන්නෙක් විදියට සේවය කරනවා. මුලින් හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත් මට ශිෂ්‍යත්වය සමත් වුණු නිසා මහනුවර පුෂ්පදාන විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබුණා. මලල ක්‍රීඩාවලට මං ඉස්කෝලෙදි බොහොම ප්‍රිය කළා. විවාද කණ්ඩායම්වලත් මං හිටියා. ශිෂ්‍ය නායිකාවක් විදියට මට නායකත්වය පිළිබඳ මූලික වැටහීමක් පාසලින් ලැබුණා. පුංචි කාලේ ඉඳන් මගේ හිතේ හමුදාවට බැ‍ඳෙන්න ආසාවක් තිබුණා. ගුවන් නියමුවරියන් බඳවා ගන්නා පණිවුඩය ලැබුණාම ඒ ආසාව තවත් කුළු ගැන්වුණා. අපිට ගුවන් හමුදාවෙන් දේශීය වගේම විදේශීය පුහුණු පාඨමාලා හදාරන්න අවස්ථාව ලැබුණා. ඒවායෙන් හුඟක් අත්දැකීම් ලැබුණා. ඒ සියල්ලම කැටි කරගෙන නිතරම හුඟක් ජීවිතවල වගකීම දරන මේ වෘත්තිය හරියටම ඉටු කරන්න මං ඇප කැප වෙනවා…’

ඒ පවිත්‍රාගේ වදන් පෙළයි. ඉදින්, තවමත් Trincomalee සමුදුර කුමරිය නිසොල්මන්ය. මෙරට ලස්සනම අහස ඇත්තේ ශ්‍රී ලාංකේය ගුවන් නියමුවන්ගේ තොටිල්ල විදියට නම් දරන චීන වරාය ආරක්ෂක විද්‍යා පීඨයට ඉහළින් යැයි ඒ දෙසට බැලුම් හෙළනා කවරකුට වුව ද හැ‍ඟෙනු ඇත. ඒ අහසේ ළඟදීම තවත් ගුවන් නියමුවරියන් විකුම් පානු ඇත. ඒ සිව්දෙනකුගෙන් යුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පියාසර නිලධාරි පළමු ඒකකයේ තවත් අභීත දියණියන් මේ මොහොතේදිත් අධිකාරිත්වයට පත් වීම පිණිස හැදෑරිය යුතු පාඨමාලාවල නිරතව සිටිනු ඇති හෙයිනි. අපි එතෙක් මඳකට ගුවනින් දෙරණ දෙසට හැරෙමු. ඒ යළි ගුවනේදී හමුවන පැතුම් පෙර දැරිවය.

නුවන් මහේෂ් ජයවික්‍රම -දිණමිණ

ඡායාරූප – ගුවන් හමුදා මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top