කොවිඩ් 19 එවර සහ මෙවර

කොවිඩ් -19 වයිරසය අනෙක් වයිරස්වලට වඩා ඉක්මනින් තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්නා බව දැනට සිදු කර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව ඇත. මුල් අවධියේ මීටරයක් පමණ දුරකට සෙම ආශ්‍රිත බිඳිති මගින් එය පැතිරෙන බව සොයාගෙන තිබුණත් මේ වන විට වයිරසයට මීටර් 1.8 කට ආසන්න දුරක් දක්වා ගමන් කළ හැකි බව සොයාගෙන තිබේ.

ලෝකයේ බොහෝ බලවත් රටවල් කොවිඩ් 19 වයිරසය පාලනය කර ගැනීමට නොහැකිව අතහැර දමන තත්ත්වයක සිටියදී රටක් ලෙස අප ඊට සාර්ථකව මුහුණ දී වයිරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීමට කටයුතු කළ රටවල් අතර දෙවැනි තැනට පත්ව සිටියේය. එහෙත් නොසිතූ අවස්ථාවක කොවිඩ් දෙවන රැල්ලක් රටේ ව්‍යාප්ත වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ අවස්ථාවකදීය.

මෙරට පළමු කොවිඩ් ආසාදිතයා

පසුගිය මාර්තු මාසයේ සමාජය තුළින් කොවිඩ් අසාදිතයකු හමු වීමත් සමඟ වැඩි පිරිසක් අතරට එය ව්‍යාප්ත වීමට නොදී පාලනය කර ගන්නට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඉතා සීමිත පිරිසකට පමණක් එවර වයිරසය ආසාදනය වූ අතර නාවික හමුදා හා කන්දකාඩු පොකුර ඒ අතරින් ප්‍රධාන විය. නාවික හමුදා සෙබළ පිරිසකට වයිරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔවුන් සියලු දෙනා බාහිර සමාජයෙන් හුදෙකලා කොට වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ආරක්ෂක අංශ ගත් පියවර ඉතා අගය කළ යුතුය. ඒ අවස්ථාවේ නාවික හමුදා භට පිරිස් මෙහි අවදානම තේරුම් ගෙන වගකීමෙන් යුතුව කටයුතු කිරීම වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළට ශක්තියක් විය. කොවිඩ් රැල්ලක් නොතිබුණත් ලෝකයේ ඇත්තටම කොවිඩ් රැල්ලක් පැතිර යමින් තිබූ රටවල් අනුගමනය කළ ක්‍රියාවලීන් අපිද අනුගමනය කළෙමු. අ‍මෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය වැනි රටවල මහ මඟ ඇවිද යන පිරිස් මැරී වැටෙද්දී වයිරස් ආසාදිතයන් ඇතුළු කර ගැනීමට නොහැකි ලෙස රෝහල් ඇඳන් පිරී යද්දී, ඇඳිරි නීතිය පනවා ප්‍රදේශ ලොක් ඩවුන් කරද්දී, එවැනි තත්ත්වයක් නොතිබියදී පවා ලොක් ඩවුන් කරමින්, ඇඳිරි නීතිය පනවමින් වයිරස් ව්‍යාප්තිය පාලනය කරන්නට අපි උත්සාහ කළෙමු.

ඉන් නොනැවතුණු අපි සංගීත සංදර්ශන සංවිධානය කළේ නිවෙස්වලට වී හුදකලාව සිටින ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීමේ අරමුණිනි. රෝගය දරුණු ලෙස පැතිර යන අවස්ථාවකදී කළ යුතු සියල්ල අපි එම අවස්ථාවේ සිදු කළෙමු. වයිරසයේ සැබෑ මුහුණුවර පිළිබඳව අවබෝධයක් එම අවස්ථාවේ අපේ රටේ ජනතාවට ලැබුණේ නැත.

මරණ සංඛ්‍යාව ඉහළ යෑම

ඉතා අඩු මරණ හා රෝගීන් සංඛ්‍යාවකින් වැඩේ ගොඩ දා ගැනීම එක්තරා අන්දමකට අපට අයහපත් ලෙස බලපෑවේද යන ප්‍රශ්නය දැන් අපට අපෙන්ම ඇසීමට සිදුව තිබේ. යකා සිතන තරම් කළු නැතැයි මුල් අවස්ථාවේ සිතූ අපට දැන් යකා කළුම කළු බව පෙනෙන්නට පටන් ගෙන ඇත. ඒ දවසින් දවස මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බැවිනි. මුල් අවස්ථාවේ අප ඇත්තටම කළේ වයිරසයට මුහුණ දී පරාජය කිරීම නොව ඊට මුහුණ නොදී පලා යෑමය. එලෙස සදාකාලිකව සැඟවී සිටීමට නොහැකිය. අප කැමැති වුවත් අකැමැති වුවත් දැන් අපට වයිරසය සමඟ කටයුතු කරන්නට සිදුව තිබේ. එය සමාජය තුළ පැතිර යෑම නතර වන්නේ සමාජයේ පුද්ගලයන් ගෙන් 60%කට වඩා වැඩි පිරිසකට මෙම වයිරසය සඳහා ප්‍රතිශක්තිය ඇති වීමෙන් පමණකි. ඒ සඳහා කාලයක් ගත වන බැවින් කොවඩ්-19 වයිරසය සමඟ ජීවත් වීමට අප පුරුදු විය යුතුව ඇත.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ නියම කොවිඩ් රැල්ල ආරම්භ වූයේ මෙවරය. සමාජය තුළින් පළමු වරට සොයාගත් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාව කොවිඩ්- 19 ආසාදිතයකු බව සොයා ගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකිනි. එම කාන්තාව රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගෙන සුව වී නැවත නිවෙස කරා යන අවස්ථාවේ දී කරන ලද අහඹු පරීක්ෂණයකින් ඇය ආසාදිතයකු බව හෙළි වීමට ප්‍රථම තව කෙතරම් දෙනකුට මෙම වයිරසය ආසාදනය වී තිබිණිදැයි කිසිවකුට කිව නොහැකිය. එසේ ආසාදනය වී සුවය ලද පුද්ගලයන් සිටී නම් පී.සී.ආර් පරීක්ෂණ සිදු කොට ඔවුන්ට රෝගය වැලඳී තිබුණේ දැයි සොයා ගැනීමට හැකියාවක් නැත. ඒ සඳහා ඔවුන්ගේ රුධිරයේ කොවිඩ්-19 ප්‍රතිදේහ පවතින්නේ ද යන්න සොයා බැලිය යුතුය. මේ නිසා සමාජයට යළිත් කොවිඩ් -19 වයිරසය පැමිණියේ කෙසේදැයි සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වෙමින් තිබේ. වයිරසය රට තුළට පැමිණි මූලාශ්‍රය සෙවීමට වඩා මේ අවස්ථාවේ වැදගත් වන්නේ වයිරසය තවදුරටත් සමාජය තුළ පැතිර යෑමේ ශීඝ්‍රතාවය පාලනය කිරීමය. ඒ සඳහා රටේ සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම මේ මොහොතේ මහජනතාව තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. මුව ආවරණ පැලඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම හා දෑත් සේදීම මගින් තමන් ආරක්ෂා වනවා මෙන්ම තමන්ගෙන් වෙනත් අයකුට වයිරසය ඇතුළු වීමට ඇති ඉඩ අවම වන බව අප සැවොම අවබෝධ කරත යුතුය. මේ මොහොතේ අප පුද්ගල වගකීම් තේරුම් ගෙන ඒවා ඉටු කිරීමට ගන්නා උත්සහය මත කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සිදු වනු ඇත.

වයිරස්වල වෙනස

විටින් විට ස්වරූපය වෙනස් කර ගැනීමේ හැකියාව වයිරස්වලට තිබේ. කොවිඩ් -19 වයිරසය අනෙක් වයිරස්වලට වඩා ඉක්මනින් තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්නා බව දැනට සිදු කර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව ඇත. මුල් අවධියේ මීටරයක් පමණ දුරකට සෙම ආශ්‍රිත බිඳිති මගින් එය පැතිරෙන බව සොයාගෙන තිබුණත් මේ වන විට වයිරසයට මීටර් 1.8 කට ආසන්න දුරක් දක්වා ගමන් කළ හැකි බව සොයාගෙන තිබේ. මළ නොකන වානේ, ජංගම දුරකතන වැනි පෘෂ්ඨයන් මත දින විසි අටක පමණ කාලයක් වයිරසය නොනැසී පවතින බව සොයාගෙන ඇත. රෝගකාරකය සිරුරට ඇතුළු වී රෝග ලක්ෂණ ඇති වීම දක්වා වන කාලය පෙර කී පරිදි දින 14 ට වඩා වැඩි බවත් පෙනී ගොස් තිබේ. වර්තමානයේ සොයා ගන්නා ආසාදිතයන් අතර මෙයට මාස කිහිපයකට පෙර සොයා ගත් ආසාදිතයන්ට වඩා විශාල වශයෙන් වයිරස අඩංගු වන බවද සොයාගෙන ඇත. එම හේතුව නිසාම ඔවුන්ගෙන් ඉතා පහසුවෙන් තවත් අයකුට රෝගය ආසාදනය වීමේ හැකියාවක් පවතී. එම ආසාදිතයන් බොහෝ දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමද වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ඇති බාධාවකි.

රෝග කාරකය ආසාදිත බොහෝ පිරිසක් තරුණ වයසේ පසුවීම සැලකිල්ලට ගත යුතු කරුණකි. මෙම වයිරසය මඟින් භයානක සංකූලතා ඇති කරන්නේ වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන්ම බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ට හා සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ටය. එබැවින් එම ප්‍රජාවන් අතරට රෝගය ව්‍යාප්ත නොවන ආකාරයට කටයුතු කිරීමට සියලු දෙනා කැපවීම වැදගත්ය. පෙර අවස්ථාවේදී මෙන් නොව මෙම අවස්ථාවේදී අප නොදැනුවත්වම අප ජීවත්වන වටාපිටාවේ වයිරස් ආසාදිතයන් සිටීමේ වැඩි හැකියාවක් ඇත. එම නිසා නිවෙසින් පිටතට යන සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පැලඳ සිටීම රෝගය පැතිර යෑම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය බව සැවොම තේරුම් ගැනීම වැදගත්ය. මුලින් හඳුනාගත් වයිරස් ආසාදිත කාන්තාව රැකියාව කළ ආයතනයේ විශාල පිරිසකට වයිරසය ආසාදනය වී තිබිණි. එසේ වී ඇත්තේ සංවෘත ප්‍රදේශයක ඔවුන් සියලු දෙනා රැකියාව කිරීමය. වාතය මගින් වයිරසය බෝවීමේ අවදානම ඉතා ඉහළය. එබැවින් සංවෘත ස්ථානවල පිරිස් එක් රැස් වීම හැකිතාක් දුරකට අඩු කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. විශේෂයෙන්ම මෙම දිනවල පැවැත්වෙන කඨින පින්කම් වැනි ආගමික වතාවත්වලට සහභාගි වීමේදී මෙම කරුණ සිහියේ තබා ගැනීම ඉතා වැදගත්ය.

එකවර ආසාදිතයන් විශාල පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් රෝගීන් බවට පත් වුව හොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යය ධාරිතාව රෝහල්වල නැත. මේ නිසා රෝගය පැතිර යෑමේ ශීඝ්‍රතාව හැකිතරම් පහළ මට්ටමක තබා ගැනීම වැදගත්ය. නිවෙසින් බැහැරව යන විට නිරතුරුව නිසි ප්‍රමිතියකින් යුතු මුව ආවරණ නිවැරදි ලෙස පැලදීම, අවම වශයෙන් එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම, නිරතුරුව සබන් යොදා තත්පර විස්සකට වැඩි කාලයක් දෙඅත් සෝදා ගැනීම හෝ නිර්දේශිත විසබීජ නාශක දියරයකින් අත් පිරිසුදු කර ගැනීම, දුම් පානයෙන්, අතට අත දීමෙන් සහ එකිනෙකා වැලඳගැනීමෙන් වැළකීම, හැකි සෑම විටෙකම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කිරීම, මුදල් අතපත ගෑම හැකි සෑමවිටම අවම කරගැනීම, එළවළු පලතුරු මිලදී ගැනීමේදී ආවරණය කොට තිබෙන දේ තෝරා ගැනීම කෙරෙහි සමාජයක් ලෙස අප වැඩි අවදානයක් යොමු කළ යුතුව තිබේ.

ආහාර භාවිතයේදී පරිස්සම් වීම

පොදු වෙළෙඳපොළවල්වල බිම තබා විකුණන එළවළු පලතුරු මිලට ගැනීමේදී ආසාදිතයන්ගේ රෝග කාරක සහිත සෙම බිඳිති ඒවා මත පතිතව තිබීමේ හැකියාව ඇති බැවින් ඒවා මිලට ගන්නේ නම් හැකි සෑම විටම අත් ආවරණ පැලඳගෙන එම කටයුතු සිදු කිරීමත් එම එළවළු හා පලතුරු හොඳින් සෝදා ඉහළ උෂ්ණත්වයකට ලක් කර නිසි පරිදි පිස ආහාරයට ගැනීමත් වැදගත්ය. මැල්ලුම් ආහාරයට ගන්නේ නම් වඩා සුදුසු වන්නේ නිවසේ පැළ කරගත් මැල්ලුම් වර්ග ආහාරයට ගැනීමය. නොඑසේ නම් මැල්ලුම් කොළ ලුණු වතුරේ විනාඩි දහයක් පමණ පොඟවා ගත යුතුය. කාර්යාලවල ඇඟිලි සලකුණු යන්ත්‍ර මෙන්ම විදුලි සෝපානවල බොත්තම් එබීමෙන් පසුව නිසි පරිදි දෑත් පිරිසිදු කර ගැනීම මතක ඇතිව කළ යුතු දෙයකි.

මීට පෙර අවස්ථාවේදී කළ අයුරින් රට පුරා ඇදිරි නීතිය දැමීමක් සහ එමඟින් ජන ජීවිතය අඩාළ කිරීමක් මේ අවස්ථාවේදී සිදු කිරීම කිසිසේත් අවශ්‍ය නොවන්නේය. කොවිඩ් -19 සමඟ වසර කීපයක් ජීවත්වීමට අප පුරුදු විය යුතුය. රෝගය වැඩි වේගයෙන් පැතිරෙන ප්‍රදේශවල පමණක් සංචරණ සීමාවන් ඇති කොට රෝගය පැතිරීම පාලනය කිරීම වැදගත්ය. රැකියා කරන බොහෝ දෙනා භාවිත කරන්නේ පොදු ප්‍රවාහන මාධ්‍ය බැවින් තදබදය වළක්වාලීමට රැකියා කාර්යාලවල සේවා මුර කාලයන් පහසු පරිදි වෙනස් කර ගැනීම වැදගත්ය. නිවෙසේ සිට රැකියා කටයුතු ඉටු කිරීමට හැකි නම් ඒ සඳහා කටයුතු සම්පාදනය කර දිය යුතුය. උපකාරක පන්ති වැනි විශාල ප්‍රමාණයක් පිරිස් එකතු වන කටයුතු නවතා දමා හැකි සෑම විටම අන්තර්ජාලය වැනි උපක්‍රම භාවිතයෙන් එම කටයුතු පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ ගත හැකි කාලෝචිත පියවරකි. රෝග කාරක වයිරසය ව්‍යාප්ත වන වේගය අනුව සොයා ගනු ලබන සියලු ආසාදිතයන් රෝහල්ගත කිරීම ප්‍රායෝගික වන්නේ නැත. රෝග ලක්ෂණ නොමැති මුත් ආසාදිතයන්ගෙන් රෝගය බෝ විය හැකි අවදානමක් සහිත ආශ්‍රිතයන් සමහරක් සැඟව සිටීමට උත්සාහ දරන්නේ ද රෝගයට ඇති බිය නිසා නොව නිරෝධායනයට ලක් වීමට ඇති බිය නිසාය. මන්ද යත් රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව නිරෝධායන කඳවුරකට වී දින දාහතරක් ගත කිරීම අසීරු දෙයක් ලෙස ඔවුන්ට හැඟී යනවා වන්නට පුළුවන. මේ නිසා ඉදිරියේදී විශාල වශයෙන් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වීමේ හැකියාවක් තිබෙන බැවින් සැකකටයුතු සියලුම ආශ්‍රිතයන් රෝහල්ගත කිරීම ප්‍රශ්නයක් වනු ඇත. එසේ සියලු දෙනා රෝහල්වලට ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. විශේෂයෙන්ම විශාල පිරිසකට එකවර පී.සී.ආර් පරීක්ෂණ කළ නොහැකි නිසා වඩාත් සුදුසු වන්නේ ආසාදිත පුද්ගලයන් නිරෝධායන කඳවුරුවල හෝ ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමය. ඔවුන් අතරින් රෝග ලක්ෂණ මතුවන අය පමණක් රෝහල්ගත කිරීම ප්‍රමාණවත්ය. කොවිඩ්-19 වයිරසය සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ඇති කරන සාමාන්‍ය වයිරසයක් බවට පත්ව අප අතර සදාකාලිකව රැඳී සිටීමේ හැකියාව බැහැර කළ නොහැකිය.

අසේල කුරුළුවංශ – දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top