පෑලියගොඩ ට්‍රැෆික් එකට කදිම විසඳුම
• ගඟ මැද කණු නැහැ
• අලුත් පාලමේ සිට අධිවේගී මාර්ග 3 ක්
• වානේ කණු මත ඉදිවෙන කිලෝමීටර් 4 ක් දිග තවත් ගුවන් පාලම් හා මාර්ග පද්ධතියක්
• වියදම කෝටි 5,300 යි
• කොළඹට විනාඩි 4 යි
• බොරැල්ලට විනාඩි 4 යි
• බත්තරමුල්ලට විනාඩි 8 යි
මෙරට ප්‍රථම වරට ගඟක් හරහා කිසිම කණුවක් නැතිව ඉදිවන මීටර් 380 ක් දිග හා මීටර් 21 ක් පළල නව කැලණි පාලමේ කටයුතු හා ඊට සම්බන්ධ ගුවන් පාලම් හා අධිවේගී මාර්ග සංකීර්ණ රැසක කටයුතු දැන් සියයට 90 ක් පමණ අවසන් වී ඇත. එය ඉදිරි මාස 5 – 6 ඇතුළත ජනතා අයිතියට පත් කෙරේ.
අප නිතර යන එන කැලණිතිස්ස බලාගාරය අසල 1959 දී ඉදිවූ පාලම තවමත් හැඳින්වෙන්නේ නව කැලණි පාලම යනුවෙනි.
මෑතකදී කටුනායක අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ මෙම පාලම මත පෙරවරු 6.30 – 9.30 කාලයේ හා පස්වරු 2 සිට 7 දක්වා දැඩි මාර්ග තදබදයක් පවතින මේ ප්‍රදේශයේ වාහනවල පොදු වේගය පැයට කිලෝමීටර් 5 – 10 අතර පවතී.
මීගමුව හා මහනුවර ඔස්සේ දිනකට නව කැලණි පාලම මතින් වාහන 86,000 කට වඩා එහෙට මෙහෙට ධාවනය වේ. බේස්ලයින් මාර්ගය ඔස්සේ ද දිනකට වාහන 27,000 කට වඩා ගමන් කරයි. මෙයට විසඳුමක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය හා විශ්වවිද්‍යාල කිහිපයක් කළ අධ්‍යයන හා ගවේෂණ අනුව මෙම ස්ථානයට අලුත් පාලමක් නව කැලණි පාලමට ඉහළින් ඉදිකළ යුතු බවත් 2014 දී පමණ එවකට පැවැති රජය තීරණය කළේ ය.
ඒ අනුව දැනට පවතින නව කැලණි පාලමට සමාන්තරව ඊට ඉහළින් නව කැලණි පාලමක් ඉදිකිරීමටත් ඊට අනුබද්ධව වරාය නගරයට හා අතුරුගිරියට වානේ කණු මත ඉදිවන නව අධිවේගී මාර්ග දෙකක් හා පාලම් ඉදිකිරීමටත් එවකට ජනාධිපති හා මහාමාර්ග ඇමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කරන ලදී. පසුව ඊට අවශ්‍ය ගිවිසුම් අත්සන් කර මුදල් ද අනුමත කර ඇත. මූලික වැඩ ද අරඹන ලදී. නමුත් පසුගිය යහපාලන රජය මේ පාලම ඉදිකිරීම සිදුකළේ ඉබිගමනින්ය.
නව කැලණි පාලමේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා මාර්ග සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන පරිදි මෙම ව්‍යාපෘතියෙන් පෑලියගොඩ හා ඒ අවට වාහන තදබදය අඩු කරන අතර පෑලියගොඩ සිට කොළඹ වරායට, රාජගිරියට විනාඩි 4 – 5 කින් යාමට හැකියාව සලස්වයි. ඒ සමඟම මේ ව්‍යාපෘතිය නිසා පෑලියගොඩ සිට අතුරුගිරියට විනාඩි 7 – 8 කින් යාමට අවස්ථාව සැලසෙන අතර, කොළඹ- කටුනායක අතර දුර ප්‍රමාණය විනාඩි 20 – 25 කදී යාමට හැකිය. නව කැලණි පාලම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න වානේ කුලුනු මත ඉදිවන නව පාලම් හා මාර්ග පද්ධතියයි. දෙවැන්න වනාහි මෙරට ප්‍රථම අධිතාක්ෂණික පිටතින් වැර ගන්වන ලද කේබල් මඟින් එල්ලන නව කැලණි පාලමයි.
“මේ සම්පූර්ණ ව්‍යාපෘතිවලට රුපියල් කෝටි 5300 ක් වියදම් වෙනවා. ඉන් කෝටි 3100 ක් වියදම් වන්නේ පෑලියගොඩ ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ ප්‍රදේශවල වානේ කුලුනු මත ඉදිවන පාලම් පාරවල් පද්ධතියටයි. ඒ අනෙක් වියදම්වලින් නව තාක්ෂණික ක්‍රම අනුව ඉදිවන නව කැලණි පාලමට කෝටි 1000 ක් ද ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු එහිදී ගෙවීම් ආදිය සඳහා තවත් රුපියල් කෝටි 1200 පමණ වැයවී තිබෙනවා.
මේ සඳහා සියලු මුදල් ‘ජයිකා’ ආධාර යටතේ ව්‍යාපෘතියට සහන ණයක් ලෙස ලබාදෙන අතර ආසියානු සංවර්ධන බැංකුවක් මීට සහාය ලබාදෙනවා.” ඉංජිනේරු දර්ශිකා ජයසේකර මහත්මිය පවසන්නීය. මේ පිළිබඳව අප තවදුරටත් කරුණු දක්වන මෙම ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලක් සෙනරත් පවසන පරිදි මෙහිදී මුලින්ම සිදුකර ඇත්තේ කැලණි ගඟෙන් නව කැලණි පාලම අසල ඊට ඉහළින් මීටර් 382 ක් දිග මීටර් 21 ක් පළල මංතීරු 6 ක පාලමක් ඉදිකිරීමයි. මේ පාලම සඳහා කැලණි ගඟ මත කිසිම කණුවක් ඉදි කර නැත. මෙම පාලම තනිකරම එල්ලෙන පාලමකි. එය එල්ලා ඇත්තේ පිටතින් වැර ගන්වන ලද වානේ කේබල් 96 ක් ආධාරයෙනි. මේ එක් කේබලයක් ඝනකම් වානේ කම්බි 7 කින් සමන්විතයි. ඒ කේබල් 96 ගඟට පිටතින් ඉදිකර ඇති මීටර් 45 ක් උස යෝධ කුලුනු (ෆයිරන්) වලට සම්බන්ධ කර තිබේ. මේ එක් කුලුනකින් කේබල් 24 ක් දෙපැත්තට එල්ලන අතර එම කුලුන ගඟේ මට්ටමේ සිට මීටර් 45 ක් උස අතර අලුත් පාලමේ සිට මීටර් 25 ක් උසට කුලුනක විශ්කම්භය මීටර් 2 කි.
මේ කුලුනුවල බර දරන්නේ ඊට යටින් පොළොව යටට කිඳා බැස සකසන ලද ෆයිල් කණුවලට ය. සාමාන්‍යයෙන් මේ අනුව ප්‍රධාන කුලුනු හතර ඉදිවී ඇත්තේ ෆයිල් කණු 70 ක් උඩය. මේ ෆයිල් කණු 35 බැගින් එක් පැත්තක කුලුනු දෙක යට තිබේ. එම ෆයිල් කණු 35 හේ හිස එකට එකතු කිරීමට විශාල කොන්ක්‍රීට් තට්ටුවක් දමනු ලැබේ. ඒ සඳහා කොන්ක්‍රීට් කියුබ් 2000 ක් අවශ්‍ය වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලක් සෙනරත් මහතා පැවසීය.
“මේ පාලම භූමි කම්පාවලට වුවත් ඔරොත්තු දෙනවා. එක කේබලයක් කැඩුණත් පාලමට දැනෙන්නේ නැහැ. මෙහි මංතීරු හයක් තිබෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලක් සෙනරත් මහතා පවසයි. “මේ පාලම්වලට කියන්නේ පිටතින් වැර ගන්වන ලද (එක්ස්ට්‍රා – ඩෝස්ඩ් – Extra – dosed) පාලම් යනුවෙනුයි. මේ පාලම්වල උස අඩු නමුත් ශක්තිය වැඩියි. සාමාන්‍යයෙන් වසර 100 ක් පමණ කිසිම අවහිරයක් නැතිව පාවිච්චි කළ හැකි වෙයි.
මේ අතර මේ නව අරුම පුදුම පාලම් ව්‍යාපෘතියට අනුබද්ධව තවත් පාලම් ගුවන් පාලම් මහාමාර්ග ඇතුළත් අමුතුම ඉදිකිරීම් රැසක් නව කැලණි පාලම් ව්‍යාපෘතියට අනුබද්ධව ඉදිවේ.
ඒ අනුව මේ කැලණි පාලම මුලින්ම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භ වන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය දක්වා මීටර් 380 දුරට ඉදිවේ. පසුව ඒ පාලම බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු හයක් ලෙස ද දීර්ඝ වීමක් ලෙස ද ඉදිකිරීමට කටයුතු යොදා ඇත. ඒ සියලු දුර ප්‍රමාණය මංතීරු හයක් ලෙස ඉදිකරනු ලැබේ.
මෙම පාලම් ව්‍යාපෘතියේ අනෙක් ප්‍රධාන කොටස වන්නේ බණ්ඩාරනායක වටරවුමේ සිට ඔරුගොඩවත්ත දක්වාත්, කැලණිතිස්ස බලාගාරය අසල සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා ද පසුව වරාය පිවිසුම් මාර්ගය දක්වා ද මංතීරු හතරකට මේ මාර්ග පද්ධතිය වානේ කණු මත ඉදිකරන බව එම ඉදිකිරීම් බාරව සිටින නව කැලණි පාලම් ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන අභයන්ත මහතා පවසයි. මෙම ඉදිකිරීමට විශාල වානේ කණු රාමු 17 ක් උපයෝගි කරගනී.
ඒ අනුව දැනට ඉදිකර ඇති කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත් ඉදිවෙමින් පවතින අතුරුගිරිය රාජගිරිය පෑලියගොඩ අධිවේගී මාර්ගයත්, ඉදිවෙමින් පවතින පෑලියගොඩ වරාය නගරය අධිවේගී මාර්ගයත් එක්වන පෑලියගොඩ දී අපි මෙරට මෙතෙක් නොදුටු පාලම්, ගුවන් පාලම් හා අධිවේගී මාර්ග කොටස් වානේ කණු මත ඉදිකරන පාලම් ආදිය ඇතුළත් මාර්ග හා පාලම් සංකීර්ණයක් ඉදිකිරීම අරඹා ඇතැයි අභයන්ත මහතා පවසයි. ඒ කටයුතු සියයට 90 ක් දැන් අවසන් වී ඇත.
මෙහිදී මුලින් ම නව කැලණි පාලම කොළඹ පැත්තට අවසන් වන ස්ථානයේ සිට (බණ්ඩාරනායක වටරවුම) බේස්ලයින් පාර උඩ ඔරුගොඩවත්තට මුලින්ම වානේ කණු මත පමණක් අධිවේගී මාර්ග කොටසක් ඉදිකරනු ලැබේ. මීටර් 425 ක් දිග මංතීරු 4 කින් යුත් මේ කොටස මීටර් 20 ක් පළලට, දැන් ඉදිවෙමින් පවතී. එය බේස්ලයින් පාරට මීටර් 5.2 ක් ඉහළින් ඉදිවේ. මේ නව අධිවේගී මාර්ග කොටස් පාලමක් ලෙස දිස් වුවත් එය කෙළවරට ඉදිරියේදී රාජගිරිය අතුරුගිරිය දෙසින් එන නව අධිවේගී මාර්ගය සම්බන්ධවීමට නියමිතය. ඒ පාරෙන් අතුරුගිරියට විනාඩි 10 -15 තුළ ගමන් කළ හැකිවේ.
අතුරුගිරිය පෑලියගොඩ අධිවේගී මාර්ගය කිලෝමීටර් 17 ක් දිගින් හා මීටර් 24 ක පළලකින් යුත්තය.
ඊට අමතරව තවත් මාර්ග හා පාලම් සංකීර්ණයක් කැලණිතිස්ස බලාගාරය අසල බණ්ඩාරනායක වටරවුමේ සිට ඉඟුරුකඩේ හන්දිය අවසානය තෙක් ඉදිවේ. දැනට පවතින මාර්ගයට මීටර් 5.2 ක් උසය. වානේ කණු මත ඉදිකරන මේ මාර්ගයත් මංතීරු හතරකි. පළල මීටර් 20 කි. පසුව එය වරාය නගරය සිට එන අධිවේගී මාර්ගය හා සම්බන්ධ වනු ඇත. ඒ මගින් කොළඹ වරායට පෑලියගොඩ සිට විනාඩි 4 – 5 කින් ඒමට පුළුවන.
මෙම මාර්ග පද්ධතිය ඉදිවන විට මුලින් සඳහන් කළ කටුනායකින්, වරාය නගරයෙන් හා අතුරුගිරියෙන් එන අධිවේගී මාර්ගවල වාහනවලට කිසිම බාධාවක් නැතිව ගමන් කිරීමට ඉඩ සලසා තිබේ. ඒ අනුව මේ පෑලියගොඩ නව කැලණි පාලමේ කොළඹ අන්තය හා බණ්ඩාරනායක වටරවුම ප්‍රදේශයේ වානේ කණු මත ඉදිවන මාර්ග පද්ධතිය හා ගුවන් පාලම් අධිවේගී මාර්ගවල සම්පූර්ණ දිග කිලෝමීටර් හතරකට ආසන්නය.
මෙහි සමහර මාර්ග මීටර් 20 ක් පළල අතර සමහර ඒවා මීටර් 7 ක් පළලය. මෙහි සුවිශේෂී ඉදිකිරීම් අනුව දැනට තිබෙන බේස්ලයින් පාරට හා ඉඟුරුකඩේ පාරට ඉහළින් තවත් පාරවල් 3 – 4 ක් ඉදිකරනු ලැබේ.
ඒ අනුව ඉහළම මට්ටමින් දිවෙන පාර, බේස්ලයින් පාරේ සිට මීටර් 24 ක් හෙවත් අඩි 80 ක් ඉහළින් ඉදිකරන බව මෙහි ඉංජිනේරුවෝ පවසති. මහින්ද චින්තනය අනුව 2014 දී ආරම්භ වූ නමුත් පසුගිය යහපාලනයෙන් හරියට නොකෙරුණු මේ නව කැලණි පාලම් සිහිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් යථාර්ථයක් වන බව අපට දැන් සක් සුදක් මෙන් පැහැදිලිය.
නිහාල් පී අබේසිංහ
සිළුමිණ