මාස්ක්ගත, සැනිටයිසර්වලින් සන්නද්ධ, පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටලවලට බැස හඳ මත ඇවිද යන්නාක් මෙන් මිනිසුන්ට ඇවිද යෑමට සිදු වූයේ මන් ද? මේ සියවසේ ජීවත් වන පරම්පරා කිහිපය අවාසනාවන්ත ද? ප්‍රශ්නාර්ථවලින් අවසන් වන වාක්‍ය සමඟ සටන් කිරීමට දැන් අපට සිදුව ඇත. ජීවිතය සහ මරණය අතර සටනක් සමඟ දෛනික ජීවිතය ගත කිරීමට සිදු වූයේ යුද ගැටුම් මැද ජීවත් වන මිනිසුන්ට පමණි.
මනුෂ්‍යත්වය පරික්ෂාවට ලක් වූ වසර ලෙස 2020 හඳුන්වන්නේ මන්ද? මනුෂ්‍යත්වය අභියෝගයට ලක්ව ඇතැයි කිසිවකු සිතන්නේ කුමණ කාරණාවක් නිසාදැයි ඔබේ අවිඥානය තුළ විදුලි සරයක් ගලාගෙන ගියේ ද? මනස තුළ සාංකාගත දිය රැල්ලක් ගසාගෙන ගියේ ද? එසේ නම් මනුෂ්‍යත්වය අභියෝගයට ලක්ව ඇතැයි ඔබේ මනසේ යම් අරගලයක් මේ වන විටත් හට ගෙන ඇති බවට කැට තැබිය හැකිය. 2020 ඇරැඹීමත් සමඟ නිමක් නොමැති ස්වාභාවික ව්‍යසනවලට ලෝකයට මුහුණ දෙන්නට සිදු විය. මේ ස්වාභාවික ව්‍යසන බහුතරයක් පසුපස කැත හිනාවක් පාමින් පසුපසට අත් බැඳගෙන සිටින්නේ සතා සීපාවුන් නොව මනුෂ්‍යයන්ය. අවි, ආයුධවලින් කෙරෙන ම්ලේච්ඡ, ක්‍රෑර යුද්ධ දැන් වාචික යුද ගැටුම් බවට පත්ව ඇත. සයිබර් යුද්ධ ද ඒ අතර මුල් තැනක් ගනී. සෑම විටම අනෙකා අභිබවා යෑමේ, අනෙකාට වඩා උසස් වීමේ ආශාවෙන් මඬනා ලද මනුෂ්‍ය වර්ගයා දැන් මේ ගමන් කරමින් සිටින්නේ කොතැනට ද? එතැන පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අප සතු ද?
තාවකාලික සාම කාලයක්
මාස්ක්ගත, සැනිටයිසර්වලින් සන්නද්ධ, පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටලවලට බැස හඳ මත ඇවිද යන්නාක් මෙන් මිනිසුන්ට ඇවිද යෑමට සිදු වූයේ මන් ද? මේ සියවසේ ජීවත් වන පරම්පරා කිහිපය අවාසනාවන්ත ද? ප්‍රශ්නාර්ථවලින් අවසන් වන වාක්‍ය සමඟ සටන් කිරීමට දැන් අපට සිදුව ඇත. ජීවිතය සහ මරණය අතර සටනක් සමඟ දෛනික ජීවිතය ගත කිරීමට සිදු වූයේ යුද ගැටුම් මැද ජීවත් වන මිනිසුන්ට පමණි. එහෙත් ලෝකයේ ඇවිළුණු සියලු යුද ගැටුම්වලට තාවකාලික සාම කාලයක් එකිනෙකා පිරිනමාගෙන වැනිය. උණ්ඩ පත්තු කරමින් දිනා ගන්නට තැත් කළ සියලු අරමුණු හුදෙක් ජීවිතය රැක ගැනීමේ අරමුණ ඉදිරියේ ලජ්ජාසහගතව දියැවී ගොසිනි
කොරෝනා වසංගතය මේ සියල්ලටම ඉහළින් සිය අණසක පතුරවමිනි. ඡන්ද, කැරළි, මානව අයිතිවාසිකම් දිනා ගැනීමේ උද්ඝෝෂණ සියල්ල අතර මාස්ක්ගත මුහුණු පෙනී සිටිමින් අසන්නේ ජීවිතය ද? බලය ද? වැනි ප්‍රශ්නයකි. සැබවින්ම දැන් ලෝකයට වුවමනා වන්නේ බලය දිනා ගැනීම ද? එසේත් නැත්නම් ජීවිතාශය සමඟ සටන් වැදීමද යන්න යන කාරණා ද්විත්වයෙන් එකක් තෝරා ගැනීමය. සියල්ල එතරම් සරල තෝරා ගැනීමකට ලඝුව ඇත. මරණය පවා වෙනස්ව ඇත.
කොරෝනා වසංගතයෙන් මිය ගිය හොත් ඔබේ මරණය පවා ගූඪව සිදු වෙයි. ශෝක ප්‍රකාශ, නෑදෑ වැලැපීම් හෝ මිනී පෙට්ටියක්වත් ඔබට නොලැබේ. එවිට ඔබේ මරණය පවා ආදිකල්පිතය. සරලය. සොබාදහමේ සරල නියමයකට අත් ඔසවන්නේවත් නැතිව ඔබට යටත් වන්නට සිදු වේ. කොටින්ම ආගමික විශ්වාස පවා සෙලවීමකට ලක් වේ. මේ ගෙවී යන්නේ ඒ සා උඩුයටිකුරු වූ කාලයකි. සැලසුම් රහිත ජීවිත සහ මරණ සහිතව ජීවත් වීමට එකඟ වන්නට සිදු වන කාලයකි.
සාමූහිකත්වය ගැන නිහඬ පාඩමක්
තනි තනිව ජීවත් වීමට, තනි තනිව සාර්ථකත්වය කරා යෑමට උගෙන සිටි මිනිසාට සාමූහිකත්වය ගැන නිහඬ පාඩමක් මේ අභූත වසංගතය විසින් ලබා දී ඇත. සමූහයක් විසින් සිදු කරන යහපත් ක්‍රියාවල අනු හේතු සහ අනු ප්‍රතිඵල මත අනෙකාගේ ජීවිතය රැඳී තිබේ. යමකු වසංගතයට නිරාවරණය වී ආසාදිතයකු වී ඇත්නම් ඔහුට ඇති වගකීම සාමූහිකව බෙදා ගත යුත්තකි. සියල්ල දම්වැලක් මෙන් බැදී තිබේ. තනි පුද්ගලයකු ගන්නා එක් වැරැදි තීරණයක් මත සමූහයක් කරදරයේ දැමීමේ අවදානම රැදී පවතී. අනෙකා යනු තමන්ගේ විශ්වාසවන්තයාය යන සංකල්පය මෙහිදී බිඳ වැටීමට ඉඩ නොදිය යුතුය. මේ මනුෂ්‍යත්වය පරීක්ෂා කිරීමේ අවස්ථාවක් වන්නේ එහෙයිනි. වාහකයා වන්නේ මිනිසාමය. වාහකයකු නොවී සිටීමේ තනි වගකීම ඇත්තේද ඔහුටමය. සමාජය විෂයෙහි ඔහු කෙරෙහි දයාවක්, කරුණාවක් මෙන්ම වගකීමක් පැවතිය යුත්තේ එහෙයිනි.
එහෙත් ලෝකය පුරා ප්‍රායෝගික ගැටලු සහසක් මතුව ඇත. ඇතැම් රටවල ජල බිල්පත් නිසි වේලාවට නොගෙවීම නිසා ජල සැපසුම විසන්ධි කර ඇත. ජලය නොමැතිව නිතිපතා ඔවුන් අත් සෝදන්නේ කෙලෙසක ද? සෞඛ්‍යාරක්ෂිතව වෙසෙන්නැයි කීවාට ඔවුන් ඒ පහසුකම් වෙත ළඟා වෙන්නේ කෙලෙසින් ද? රැකියා අහිමි වීම අනෙක් ගැටලුවයි. වසංගතයෙන් ගැලවීමේ ප්‍රධාන මාර්ගයේ යන ගමනට සහභාගී නොවී ඔවුන්ට ආහාර ලබා ගැනීමේ අතුරු පාරකට පිවිසීමට සිදුව ඇත. ඇතැම් රාජ්‍ය මඟින් සහනාධාර ලබා දෙමින් ඔවුන්ව රැක බලා ගනී. එහෙත් මේ චක්‍රය නොකැඩී පවත්වාගෙන යා හැකිද? මිචිගන් සරසවියෙන් කළ සමීක්ෂණයකට අනුව පසුගිය අප්‍රේල් මාසය වන විට රැකියා විරහිතයන්ගේ ප්‍රතිශතය 48% තෙක් ඉහළ නැඟ ඇත. මේ ඉලක්කම් බිය ඇති කරන්නේ නොවේ ද?
ආහාර හිඟකම
අනාගතයේදී ආහාර හිඟකමින් මිය යා හැකි බවට ලැයිස්තුගත කර ඇති දකුණු සූඩානය, වෙනින්සියුලාව මෙන්ම මධ්‍ය ආදායම් සහිත රටවල් ලෙස හඳුනාගෙන ඇති ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය ගැන කිව යුත්තේ කුමක් ද? වසංගතය සේම ආහාර හිඟකමද එකවර දෙතැනකින් පහර දීමට පටන් ගත හොත් අවසානය කුමක් විය හැකි ද?
වඩා දියුණු රටවල් පවා මේ අනාගත ආහාර හිඟකමෙන් පීඩාවට පත්ව හැකි යැයි අනතුරු අඟවා තිබෙන විටත් අප කරමින් සිටින්නේ කුමක් ද? ආහාර බැංකු ආදියේ රස්තියාදු වෙමින් ආහාර සෙවීමට මිනිසුන්ට සිදුව ඇත. සෑම රජයකටම ස්වකීය රටවැසියන් නඩත්තු කළ හැකි සීමාවේ රතු ඉර පැන්න විට පුපුරා යන්නේද මනුෂ්‍යත්වයයි. ඔක්ස්ෆාම් ඇමරිකාහි ප්‍රධාන විධායක නිලධාරී, ඇබී මැක්ස්මන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කියා සිටියේ “අකාරුණික සත්‍ය වන්නේ අපේ ආහාර නැතිවීමේ අවදානම දැන් අපේ නිවෙස් පසුපසටම පැමිණ පුපුරා ගොස් අවසන් වීමයි. සෑම නගරයකම කුසගින්නේ නින්දට යන මිනිසුන් දැන් සිටී. රැකියා සහිත කාලයේදී පවා දුප්පත්කමේ අග්ගිස්සේ සිටි මොවුන් දැන් රැකියා විරහිතව වැටී තිබෙන්නේ ඊට අන්ත තැනකටය. මිසිසිපිහි ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආහාර හිඟයකට මුහුණ දී සිටියි. ලුසියානාවල තත්ත්වයත් ඊට වඩා වෙනස් නැත. කුඩා දරුවන්ගේ ආහාර හිඟකම මෙහිදී ප්‍රධානය.”
බෙහෙත් නමැති ගුවන් යානය
මේ සියල්ලෙන් ගොඩ ඒමට විද්‍යාඥයෝ උත්සාහ දරති. ඒ වසංගතයට වුවමනා බෙහෙත් නම් ගුවන් යානය පදවන අතරම එය සකස් කරමිනි. ඔවුන් ගුවන් යානය පදවන අතර එය සැකසීමේ අවදානම අපට දැන් ගැනීමට සිදුව ඇත. මන්ද යත් අප සිටින්නේ එකී ගුවන් යානය ඇතුළත හෙයිනි. එහෙත් ගැටලුව වන්නේ කොතෙක් කාලයක් ඔවුන් විසින් බෙහෙත් නමැති ගුවන් යානය පදවාවිද යන්නය. එය නිමැවීමට ඔවුන්ට කොපමණ කාලයක් ගත වේද යන්නයි. ගුවන් යානය ඇතුළත ගැස්සෙමින්-පැද්දෙමින්, මරණ බියෙන් කෑ ගසන මගී ජනතාව කොපමණ කාලයක් තම යථා සිහිය පවත්වා ගනීද යන්නයි.
එනිසාම මේ ගැස්සෙන-පැද්දෙන ගුවන් යානය ඇතුළේම විවාහ මංගල උත්සව පැවැත්වෙයි. ඒ මාස්කගතව, මීටරේ දුර පවත්වාගනිමිනි. දරු උපත් ද සිදු වේ. මේ සියල්ලම කොරෝනා කාලේ සිදු වන අමුතු විවාහ සහ දරු උපත් ගනයට වැටෙයි. කාලයේ හැටියට, රෝගයේ තරමට මිනිසා තමන්ගේ ජීවන රටාව වෙනස් කරගන්නට එකඟ වීම ඊට ප්‍රධානම හේතුවයි.
වඩාත් හැඟීම්බර වුව හොත් මේ එක්තරා දඬුවමක්දැයි අපට අපේ යටි හිතට තට්ටු කර අසා දැනගත හැකිය. මනුෂ්‍යයන් ලෙස අප යහපත් කල්කිරියාවෙන් පසු වී ද? අනෙකාට වුවමනා බලය අත්පත් කර ගැනීමේ නූතන යුද්ධයට අපත් උණ්ඩ සපයා ඇති ද? අප අතින් පවා නිෂ්ක්‍රීය උණ්ඩ පත්තු වී තිබේ ද? ප්‍රශ්නාර්ථ සමඟ දැන් නොසන්සුන්ව එහා-මෙහා ඇවිදීමෙන් පලක් නොවේ. ගැටලුව සමඟ ජීවිතය පවත්වා ගැනීමේ නිශ්ශබ්ද එකඟතාවකට දැන් අප කැමතිව හෝ අකමැතිව එළැඹෙන්නට සිදුව තිබේ. කිසිවකුට මේ තත්ත්වය මඟ හැර අන් තැනකට යා නොහැක. එවන් ‘අන් තැන්’ කිසිවක් දැන් ඇත්තේද නැත. මහා වසංගතයක් පැමිණ සියල්ල එක සමාන කර ඇත. මේ පෙර කී දඬුවම ද?
යහපත් අතුරු ඵල
අප තප්පර විස්සක් අත් සෝදමින් වසංගතයෙන් ගැලවීමට තැත් කරන විට ප්‍රථිවියේ උෂ්ණත්වය ඉහළ ගොසිනි. ලෝකය අඩ වශයෙන් අක්‍රිය වීමත් සමඟ ඉන්දියානුවන්ට හිමාලය දැකිය හැකි වීම පරිසර දූෂණය අවම වීමේ අතුරු ප්‍රතිඵලයකි. බැංකොක් සහ සාන් පවුලෝ වෙත පිරිසුදු වාතය ලැබීමත් යහපත් අතුරු ප්‍රතිඵලය.
රොබර්ට් කුන්සිග්ට අනුව කොරෝනා වසංගතය විසින් අපට අනියමාකරයෙන් උගන්වන්නේ අප විසින් පෘථිවියට කළ අකටයුතුකම්වලට දඩුවම්ය. බිලියන 800ට ආසන්න ජනගහනයක් එකම කෝප්පයක දමා සොලවමින් මේ පාඩම උගන්වන සැටියකි.
කොරෝනා වසංගතය පවතින කාලයේ වැඩිහිටියන්ව සමාජයට එකතු වන අයවලුන් සමඟ කළ කෙටි සාකච්ඡා කිහිපයක් පසුගියදා නැෂනල් ජියොග්‍රැපික් මැගසිනය ප්‍රකාශයට පත් කර තිබුණි. එහිදී මූලිකව සාකච්ඡා කළ කාරණය වූයේ ‘අපේ පරම්පරාව මහත් ව්‍යසනයකට පත්ව ඇත්ද’ වැන්නකි. එය සුළුකොට තැකිය යුතු දෙයක් නොවන බවට ලිපිය ලියූ ජෝර්ඩන් සලාමා අවධාරණය කර සිටියි.
“අපේ පරම්පරාවට නොයෙක් නම් කියනවා. සමහරු අපිට කියන්නේ දේදුනු පරම්පරාව කියලා. තවත් අය ජෙනරේෂන් ඉසෙඩ් කියලත් කියනවා. සිලනියල්ස් කියලත් කියනවා. ජෙනරේෂන් ස්කෲඩ් වගේ අපවාදාත්මක නම් ඒ අතරේ තියෙනවා. අවුරුද්ද මුල පටන් ගත්ත නිරෝධායන තත්ත්ව නිසා මට වැඩි හරියක් ගත කරන්න වුණේ තනියම, ලියුම් ලියමින්. අපි අපේ හැඟීම් බෙදාගත්තේ මේ ලියුම්වලින්. ඒවා අතිශය සංවේදීයි. ටෙක්ස්ට් මැසේජ්, සූම් ඇමතුම් ආදියෙන් බෙදාගන්න බැරි වර්ගයේ ඒවායි අපි ලියුම්වල ලිව්වේ. මම එහෙම දෙයක් මීට කලින් අත් විඳලා නෑ.”
ඒ එක් අයකුගේ හැඟීම්ය. මේ එලී ඕ බ්‍රයන් පවසන දෙයයි.
“මේ, අපි කලින් හිතාගෙන හිටපු ජීවිතේ නෙවෙයි”
ඔබේ සැලසුම්ගත ජීවිතය අවුලෙන් අවුලට ගොස් ඇති බවට කිසිදු සැකක් නැත. එහෙත් දැන් කළ හැක්කේ කුමක් ද? මාස්ක්ගතව, සැනිටයිසර්ගතව, අනෙකා දෙස සැකෙන් බලමින් ජීවත් වීම ද? උණ්ඩවලින් ආරක්ෂා වී, බිම් බෝම්බවලින් ආරක්ෂා වී සිටීමේ අනාගතයක් ඇතැයි සිතූ අයම සබන් දමා අත් සෝදමින් ජීවිතය රැක ගැනීමේ අතිශය සරල විසඳුමට ළඟා වීම ද? පිළිතුර දැන් තනි තනිව සොයාගෙන අවසන්ය. එය සමූහයක් වෙත ලබා දීමේ රන් මොහොත දැන් උදාව තිබේ. අනෙකාව රැකගන්න. එවිට අනෙකා විසින් ඔබව රකිනු ඇත.
කාංචනා අමිලානි
දිණමිණ – විශේෂාංග පිටුවෙනි