ආද­ර­ණීය සන්නි­වේ­ද­කයා ප්‍රජා ගුව­න්වි­දුලි සේවය

සන්නිවේදනය, ශ්‍රී ලංකාවේ මෙන්ම ඕනෑම රටක සංවර්ධන ක්‍රියාදාමය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ගුවන්විදුලිය යනු අපේ රටේ ද පැරැණිතම සන්නිවේදන මාධ්‍යයකි. එය අදටත් ඉතා ප්‍රතිඵලදායක, ප්‍රබල සන්නිවේදන මෙවලමකි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී, සංවර්ධන සන්නිවේදන මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය යොදාගෙන ඇත. මෙහිදී විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලියට වඩ වඩාත් ප්‍රතිඵලදායක ලෙස භාවිත කර ඇත්තේ ප්‍රජා ගුවන්විදුලිය බව බොහෝදෙනාගේ පිළිගැනීමය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ වර්තමානය වනවිට විවිධ ගුවන්විදුලි නාලිකා ක්‍රියාත්මකවේ. ඒ, ජාතික සේවා, ප්‍රාදේශීය සේවා සහ ප්‍රජා සේවා ලෙසින්ය. මේවා අතරින් ප්‍රජා ගුවන්විදුලි සේවා කිහිපයක් ක්‍රියාත්මකවේ. ප්‍රජා ගුවන්විදුලි අත්දැකීම, ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන්නේ මහවැලි ප්‍රජා ගුවන්විදුලිය 1981 වසරේදී ආරම්භ වීමත් සමඟය. ඒ සමඟම ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය (1986) ද, මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය (1987) ද, කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය හා පුලතිසිරාවය 1998 දී ද ආරම්භ විය. ඌව ප්‍රජා ගුවන්විදුලිය 2003 වසරේ ආරම්භය සනිටුහන් විය. එහෙත්, බොහෝ ප්‍රජා ගුවන්විදුලි සේවා වර්තමානය වනවිට ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත්, මෙරට රාජ්‍ය ගුවන්විදුලිය හරහා ක්‍රියාත්මක වූ මේ සේවා මඟින් සිදුවූ සේවය නම් මිල කළ නොහැකිය.

මහවැලි ප්‍රජා ගුවන්විදුලිය

මෙරට සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් වූ මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පැවැති සාකච්ඡාවේදී, මෙරට ප්‍රජාව අතරට සංර්ධන කටයුතු ගෙනයාම හා මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම සඳහාත්, මහවැලි ප්‍රජාව සංවර්ධන ක්‍රියාවලියට හවුල් කර ගැනීමට ඔවුන් පෙලඹවීමට හා සවිබල ගැන්වීමට මහවැලි ප්‍රජාවට ආමන්ත්‍රණය කළ හැකි සන්නිවේදන මාධ්‍යයක අවශ්‍යතාව, එවකට පැන නැඟුණි. ගුවන්විදුලිය ජනතාව වෙත යා හැකි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් නිසාත්, ප්‍රජාවට පහසුවෙන් පරිහරණය කළ හැකි මාධ්‍යයක් නිසාත්, ගුවන්විදුලි සන්නිවේදන මෙවලම් උපයෝගී කරගෙන, යුනෙස්කෝ අත්දැකීම් හා විශේෂඥ මඟපෙන්වීම මත ගුවන්විදුලි සේවාවක් ලෙස 1981 වසරේදී මහවැලි ප්‍රජා ගුවන්විදුලිය ස්ථාපිත කෙරිණි.

මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවා මහවැලි සංවර්ධන කලාපවල ස්ථානගත කිරීම නිසා, මහවැලි ජනතාවට මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවාවලට පහසු ප්‍රවේශයක් ලැබුණි. ඒ අනුව මහවැලි ‘සී’ කලාපය ආශ්‍රිතව ‘ගිරාඳුරුකෝට්ටේ මහවැලි ප්‍රජා ගුවන්විදුලිය’ ස්ථාපිත කිරීම සඳහා යුරෝපා ආර්ථික ප්‍රජාවේ හා මහවැලි අධිකාරියේ අනුග්‍රහය ලබා දුන්නේ, එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායක මහතාය.

ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය

1985 මැයි 31 වැනි දින ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවය පිළිබඳ අත්හදාබැලීම් කළ අතර, 1986 අප්‍රේල් 11 වැනි දින එය නිල වශයෙන් විකාශනය ආරම්භ කෙරිණි.

දඹාන ප්‍රජා ගුවන්විදුලි සේවය

ගුවන්විදුලියේ ඉතිහාසය ලියන අයෙකුට ‘රේඩියෝ දඹාන’ ප්‍රජා ගුවන්විදුලියඅමතක කළ නොහැකිය. ආදීවාසී ජනතාව ජීවත්වන දඹානට ‘ කතා දමන යමකේ’ එතරම් වටී. මේ ගුවන්විදුලිය, දඹාන ආදීවාසී ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් ගිරාඳුරුකෝට්ට ප්‍රජා ගුවන්විදුලි සේවය මඟින් මේ නාලිකාව පවත්වාගෙන යයි.

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය

කොත්මලේ ඉහළ කලාපවල පදිංචි ජනපදිකයන් ඉලක්ක කර, මහවැලි ප්‍රජා ගුවන්විදුලි සේවාවක් ස්ථාපිත කිරීම සඳහා පරීක්ෂණ විකාශනයක් 1989.02.12 දින, කොත්මලේ වේල්ලට ඉහළින් පිහිටි දෝරගල ගම්මානයේ ආරම්භ කෙරිණි. මේ ප්‍රජා ගුවන්විදුලිය, 1989.02.27 දින විවෘත කරන ලද්දේ, එවකට ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යව සිටි ගාමිණි අතුකෝරාල මහතා විසිනි.

ප්‍රජා ගුවන්විදුලි සංකල්පයට පුළුල් අරුතක් ලබා දෙමින්, යහපත් මාධ්‍යකරණයක් වෙනුවෙන් එම ප්‍රජා ගුවන්විදුලි සේවාව ජනමාධ්‍ය පුහුණු පාසලක් බවට පත් කිරීමට සංස්ථාව පසුකාලීනව පියවර ගත්තේය. මේ මාධ්‍ය ඇකඩමියේ විශේෂත්වය වන්නේ, එහි පුහුණුවන්නන්ට ප්‍රජා ගුවන්විදුලි විකාශය ඔස්සේ සජීවීව පුහුණුව ලැබීමට අවස්ථාව හිමි වීමය. ප්‍රජා ගුවන්විදුලි සේවයේ නිවේදන කටයුතු මෙන්ම, එහි ප්‍රවෘත්ති වාර්තාකරණය, සංස්කරණය වැනි කටයුතු සිදු කරන්නේ ද පුහුණුව ලබන පිරිසයි.

ඌව ප්‍රජා ගුවන්විදුලිය

ඌව ප්‍රජා ගුවන්විදුලිය, ඌව පළාත් සභාවේත්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේත්, යුනෙස්කෝ ආයතනයේ (UNESCO) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේත් (UNDP) දායකත්වයෙන් ඌව ප්‍රජාවට කැප කරන ලද දායාදයකි. ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සන්නිවේදකයන් සඳහා මාර්ග දර්ශක නිර්මාණය කර ක්‍රියාවට නැංවීමේ ගෞරවය ද ඌව ප්‍රජා ගුවන්විදුලියට හිමිවේ. 2003 වර්ෂයේ ජනවාරි මාසයේ ඇරැඹි ඌව ප්‍රජා ගුවන්විදුලිය, මේ දක්වා සිය අභිමතාර්ථ සාක්ෂාත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි. මේ ප්‍රජා ගුවන්විදුලිය වැඩසටහන් විකාශනය කරන්නේ, ඌව පළාත් සභාවත්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් අතර ඇති අවබෝධතා ගිවිසුමේ නියමයන්ට අනුවය. එලෙසින්ම මෙහි කටයුතු සදහා ධවල පත්‍රිකාවක් ද, ඌව පළාත් සභාව විසින් සම්මත කරගෙන තිබේ.

ප්‍රජා ගුවන්විදුලිය මඟින්, ප්‍රජාවේ ගැටලු සාකච්ඡා කිරීමට වේදිකාවක් තැනිණි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාවගේ දෛනික ගැටලු විසැඳීමට ද ප්‍රජා ගුවන්විදුලියේ දායකත්වය නොමදව ලැබිණි. එහෙත් අද්‍යතන තරගකාරී මාධ්‍යකරණය හමුවේ එහි ගමන්මඟ විවිධාකාරයෙන් විසැඳී ඇති සෙයක් දැකිය හැකිය. එදා ප්‍රජා ගුවන්විදුලියේ වැඩසටහන් සැකසුණේ, එම සමාජය තුළ එදිනෙදා ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහාය. තමාගේ නැතිවුණු හැඳනුම්පත පවා සොයා ගැනීමට ප්‍රජා ගුවන්විදුලියේ දායකත්වය හිමිවීම සරලම උදාහරණයකි. ගොවියාගේ කෘෂි ගැටලු, ගුවන්විදුලි සේවයටම පැමිණ, සජීවී ලෙස ගුවන්විදුලිය හරහා ඉදිරිපත් කිරීමට මඟ පෑදිනි.

එළැඹෙන 16 වැනි දින 95 වැනි වස සපුරන මෙරට ජාතික ගුවන්විදුලිය පිළිබඳ කතා කිරීමේදී, ගුවන්විදුලියේ මහගෙදර දායකත්වය ඇතිව ප්‍රජාව ඇමතූ ප්‍රජා ගුවන්විදුලිය මඟින් සිදුවූ අපරිමිත සේවය කෙසේවත්ම අමතක කළ නොහැකිය. ප්‍රජාව සමඟ එක්ව, ප්‍රජාවේ ගැටලු විසඳා ගනිමින්, ප්‍රජාවට යහපත සැලසූ මෙරට ප්‍රජා ගුවන්විදුලිය, ප්‍රදේශය පුරා විසිරී සිටින සෑම වැසියකුටම ආමන්ත්‍රණය කළ ආදරණීයයා විය. ළඟම හිතවතා විය. ප්‍රජා ගුවන්විදුලියෙන් සමාජයට ඉටු විය යුත්තේ කුමනාකාරයේ දායකත්වයක් ද? එය නිසි ලෙස වටහා ගනිමින් ඉටු කිරීමට, ගුවන්විදුලියේ මහ ගෙදර මඟින් කළ සේවය අප්‍රමාණය.

යශෝදා ඉන්දීවරී  – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top