අන්තර්ජාතික මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොව පුරා මිනිස් ජීවිත දසදහස් ගණනින් වැළලී යන මොහොතක අපගේ යුතුකම් හා වගකීම් නොපැකිළව ඉටු කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද? ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වීමට කැමති හා වෙරදරන සියලු දෙනා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයන් අනුව මෙය විඳදරා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ කළ හැක්කේ මිනිසුන් වන අපට පමණි.
දෙසැම්බර් 10 වන දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්රකාශනයේ අන්තර්ගත කර ඇති පුද්ගල අයිතිවාසිකම් හා නිදහස පිළිබඳ සිහිපත් කරවන දිනය වේ. මූලික වටිනාකම් සහ ඒවා යටතට ගැනෙන සංකල්ප හා පසුබිම තුළ රටක ඒ ඒ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න නිරන්තරයෙන් මතු වේ. ඉතිහාසය පුරා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීමට කරන ලද අරගල හා උත්සාහයන් ඉතිහාසයට වටිනාකමක් එක්කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මූලික අයිතිවාසිකම් හා සිවිල් අයිතීන් ශිෂ්ට සම්පන්න රාජ්‍යයන්හි ව්‍යවස්ථාවන් හි දැඩිව අන්තර්ගත කර තිබේ.
නීතියේ ආධිපත්‍ය මත තම නීති සකසා ගෙන ඇත්තා වූත්, පුද්ගල අභිමානයට ගරු කරන්නාවූත්, පෞරුෂ සංවර්ධනයෙහිලා නිදහස හා අයිතිය ලබා දී ඇත්තාවූත්, රාජ්‍යයන් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා අන්තර්ජාතික සම්මුතීන් ගණනාවකට අස්සන් තබා ඇත. ඒවා අතරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්රකාශනය විශේෂ තැනක් ගනී. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, සිවිල් හා දේශපාලන සම්මුතිය ආදියෙන් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත සම්මත වී ඇත.
පුද්ගලයන්ට ආවේණික වූ අභිමානය හා වටිනාකම් මත සෑම මිනිස් අයිතිවාසිකමක්ම රඳා පවතී. මානව හිමිකම්හි කේන්ද්‍රීය විෂය වස්තුව වන්නේ මනුෂ්‍යයා ය. ඒ හේතුකොටගෙන ප්‍රධාන අර්ථලාභියා වන්නේ ද ඔහු වන බැවින් හා යුක්තිය කරා ළඟා වීමකින් තොරව මෙම අයිතිවාසිකම් හා නිදහස සාක්ෂාත් කර ගැනීමට අපහසු බැවින් මිනිසාගේ ක්‍රියාකාරී දායකත්වය මේ සඳහා අත්‍යවශ්‍ය වනු ඇත.
1996 අංක 21 දරන පනත යටතේ ස්ථාපිත කර ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ දැක්ම ‘සැමට මානව හිමිකම් සහතික වීම සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය හා සුරැකීම’ වේ. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් විශේෂයෙන් අවධාරණය කරමින් විශ්වය පුරා පිළිගනු ලැබ ඇති මානව හිමිකම් ධර්මතාවයන්ට සහ ප්‍රතිපත්ති මූලධර්මයන්ට අනුගත වෙමින් නීතිය, ප්‍රතිපත්ති මෙන්ම ව්යවහාරයෙහිලා සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ වඩාත් හොඳ මානව හිමිකම් සංස්කෘතියක් ඇතිකරලීමට අපි ඇප කැප වී සිටින්නෙමු.
මධ්‍යම පළාතේ අප ප්‍රාදේශීය කාර්යාලයට මෙම වසර තුළ මේ දක්වා ලද පැමිණිලි 600ක් වන අතර පසුගිය වසරවලට සාපේක්ෂව අඩුවීමක් ලෙස එය නිරීක්ෂණය වේ. ඒ අතර, බහුතරයක් සේවා නියුක්තියට අදාළ ඒවා වේ. ඊළඟට පෞද්ගලික නිදහස කඩවීම් සම්බන්ධ පැමිණිලි වන අතර එය ද හිංසනයට අදාළ පැමිණිලි ද අත්අඩංගුවට ගැනීම් රඳවා තබාගැනීම් පැමිණිලි ද බරපතළ වධ හිංසනයට ලක්වූ පැමිණිලි ද අයත් වේ. මේ අතර, කොවිඩ් 19 තත්ත්වය හමුවේ නිදහසේ ජීවත්වීමට ගමනාගමනයට, රැකියාවලට, අධ්‍යාපනයට පෞද්ගලික නිදහසට සිදුකරන්නා වූ සීමා කිරීම් හමුවේ සිදුවෙන්නා වූ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ද අප වෙත ලැබෙන පැමිණිලිවල වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇත.
තව ද, පැමිණිලිවලින් යම් ප්‍රමාණයක් අදාළ වන්නේ, ජනතාවගේ දුක්ගැනවිලිවලට අදාළ කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් දක්වනු ලබන උදාසීනත්වයයි. මෙය සැමගේ අවධානයට යොමු විය යුතු කරුණකි. එසේම මෙම තත්ත්වය පාලනය කිරීමට පොදු ජනතාවගෙන් හා අප සමඟ නිරන්තරයෙන් කටයුතු කරනු ලබන සිවිල් සංවිධාන ක්‍රියාධරයන්ගේ කැපවීම ප්රසංශාවට ලක් කළ යුතු වේ.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොව පුරා මිනිස් ජීවිත දසදහස් ගණනින් වැළලී යන මොහොතක අපගේ යුතුකම් හා වගකීම් නොපැකිළව ඉටු කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද? ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වීමට කැමති හා වෙරදරන සියලු දෙනා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයන් අනුව මෙය විඳදරා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ කළ හැක්කේ මිනිසුන් වන අපට පමණි. අප අපට වගේම අනෙක් අයටත් ජීවිත අයිතිය හා අනෙකුත් අයිතිවාසිකම් තිබෙන බව පිළිගන්න පටන් ගත්තේ කවදාද, ඒ අවබෝධය දැනුම හා පිළිගැනීම ඇතිවූයේ කවදාද? මානව ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ එදා සිටය. අප සතුන්ගෙන් වෙන් වන්නේ ද ඒ නිසාය. අපට හිමි අයිතිවාසිකම් වන්නේ මොනවාද යන්න නොදන්නා තාක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්විය නොහැක්කකි. මෙම උල්ලංඝනය වීම් අවම කිරීමට නම් අපට හිමි මානව හිමිකම් පිළිබඳ අප දැනුම්වත් විය යුතු අතරම නීතිය පිළිබඳව ද දැනුමෙන් සවිමත් විය යුතුය.
එදා සිට මේ දක්වා අප ආ ගමන්මඟේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට කොවිඩ් -19 වසංගත තත්ත්වය පත්ව ඇත. එබැවින් ඔබ අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට හා සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමෙන් ද, තම යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකිරීමෙන් ද ඔබගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගත යුතු වූවා සේම වර්තමානයේ ස්වයං විනයක් ඇතිව කටයුතු කිරීමට හා සෞඛ්යාරක්ෂිත දිවි පෙවතක් සඳහා හිමිකම් කීමෙන් අන් සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත වනවා සේම අයිතිවාසිකම් ද නිරන්තරයෙන් සුරක්ෂිත වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන අප සහෝදර ජනතාව පමණක් නොව ලොව පුරා වෙසෙන ජනතාවද මේ මොහොතේදී ඉතා දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටිති. බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ දෙවැනි ලෝක සංග්රාමයෙන් පසුව මානව වර්ගයා මුහුණ දුන් ප්රබලතම අභියෝගය කොවිඩ් -19 අධි වසංගතය හේතුවෙන් පැන නැඟී ඇති බවයි. එනමුත් දෙවැනි ලෝක යුද්ධය මෙන් නොව මෙම වර්තමාන අධිවසංගත අභියෝගය ජය ගත හැකි වන්නේ සාමාන්‍ය පුරවැසියන්ගේ අධිෂ්ඨාන ශක්තිය සහ ස්වයං පාලනයට ඇති හැකියාව මඟින් බව අපි මතක් කර සිටිමු.
වෙනත් සෑම අවස්ථාවකදීම මෙන් දැනුදු අපගේ සෞඛ්‍ය ඇතුළු සියලු මානව අයිතිවාසිකම් ඉහළ මට්ටමකින් භුක්ති විඳීම සඳහා පුරවැසියන් වශයෙන් අප වෙත පැවරී ඇති යුතුකම් ද මැනවින් ඉටු කළ යුතුමය. මෙම තීරණාත්මක අවස්ථාවේදී මානව හිමිකම් කොමිෂන් සභාව අපගේ සහෝදර ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන බලවත් ආයාචනය වන්නේ, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමටත් මෙන්ම අනෙක් සියලු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමටත් වගකීමෙන් සහ ගෞරවාන්විත ලෙස කටයුතු කළ යුතු බවයි. දිවා රෑ නොතකා අප සියලු දෙනා වෙනුවෙන් වෙහෙසෙන සියලු බලධාරීන්ටත්, විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ නියැළී සිටින නිලධාරී මහත්ම මහත්මීන්ටත් අප කොමිෂන් සභාව සිය හෘදයංගම ප්‍රණාමය මෙම අවස්ථාවේදී පුද කර සිටින අතර, ඔවුන්ගේ එම ප්රයත්නයන් සාර්ථක කර ගැනීම සඳහා අපගේ පූර්ණ සහයෝගය දීමට ඇපකැප විය යුතු බව අවධාරණය කර සිටිමු.
මෙම අධි වසංගතය ජාති, කුල, ආගම් හෝ වෙනත් භේදයකින් තොරව මුළු මානව වර්ගයාටම එල්ල වී ඇති මාරාන්තික අභියෝගයකි. මෙහිදී වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද අත්දැකීම වන්නේ, වයිරසය පැතිරෙන ආකාරය යම්කිසි ප්රජාවකට හෝ සමාජ පන්තියකට ලඝු කළ නොහැකි බවයි. එනිසා මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස අප කළ යුතු වන්නේ, සියලු පුරවැසියන් එක්සත් වී මෙම වසංගතය සාමූහිකව පරාජය කිරීමට වගකීමෙන් කටයුතු කිරීම වේ. අපගේ ශිෂ්ට සම්පන්න බව සහ පුරවැසිභාවයේ ගැඹුර අප මෙවැනි අවස්ථාවකදී හැසිරෙන ආකාරයෙන් මැනවින් අවබෝධ කරගත හැකි බව අප පිළිගත යුතු වේ.
එහෙයින් රටේ මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස අපගේ සහෝදර ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, දැනට ඉස්මතු වී ඇති බැරෑරුම් තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන එම අභියෝගය සාමුහිකව විසඳුම් තුළින් ජයගැනීමට කටයුතු කිරීම අපගේ එකම අධිෂ්ඨානය බවට පත්කර ගතයුතු බව ද, වගකීම් විරහිතව කටයුතු කර වර්ගවාදී හෝ ආගම්වාදී අර්බුදයකට සමාජය ලක් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.
එමෙන්ම මෙම අවස්ථාවේදී අපි මහජන නියෝජිතයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් හා සියලුම මාධ්‍ය ආයතනවලින් වෛරී ප්‍රකාශන කිරීමෙන් හා විකාශය කිරීමෙන් වැළකී සිටින මෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන්ම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් හෝ රෝගීන් වාර්ගික හෝ ආගමික පදනම මත හඳුන්වාදීම කිසිසේත්ම නොකළ යුතු බැව් අපි තරයේ අවධාරණය කරන්නෙමු.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඔබගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමෙහිලා කරනු ලබන මෙහෙය අර්ථගන්වන්නට ඔබගේ සහාය සහ කැපවීම ද අත්‍යවශ්‍ය වන බව අමතක නොකිරීමට වග බලාගන්නේ නම් එය ද අප ලබන ජයග්‍රහණයකි.
එච්. කේ. විතාන
ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනී,
ශ්‍රී ලංකා මානව හිමිකම්
කොමිෂන් සභාව
මධ්‍යම පළාත
දිනමිණ