අදට (ඔක් 28) දිනට යෙදෙන රුක්මණී දේවිගේ අනුස්මරණය නිමිත්තෙනි
ලාංකීය සිනමාවේ නිළි රැජණ මාලනී ෆොන්සේකා යැයි ඇතැම් මාධ්‍ය නිරන්තරයෙන්ම හැඳින්වූවද, මාලනි එය කිසි දිනෙක පිළිගත්තේ නැත. ඇය නිතරම කීවේ ලාංකික නිළි රැජණ රුක්මණී දේවී කියාය. එහෙත් රුක්මණී එයට දැක්වූයේ ප්‍රතිවිරුද්ධ මතයකි. ඇය කීවේ ලාංකීය නිළි රැජණ මාලනී ෆොන්සේකා කියාමය.
එය ඇත්තය. රංගන විෂයේදී, දස්කම් පමණක් නොව, විස්කම් දැක්වූයේ ද, මාලනීය. රංගනයේදී මාලනී හා සසඳන විට රුක්මණී දියවෙන්නේ දැඩි රශ්මියට දියවෙන අයිස් කැටයක් ගානටය.
රුක්මණී දේවී නිළි රැජණ වන්නේ ලාංකීය ප්‍රථම වෘත්තාන්ත සිනමා නිළිය මෙන්ම වේදිකා නිළිය ද වීමෙනි. වේදිකා රංගනයට රුක්මණීගේ ආගමනයෙන් සැලුණේ, එවකට ගැහැනු චරිතයන් රඟපෑ පිරිමින්ය. පිරිමින් කීවට, ඔවුන් ගැහැනු ලක්ෂණ ඇති පිරිමින්ය. ඔවුන් ඇවිදින්නේ, කතා කරනුයේ කෝමළ ලීලාවෙන්ය. එහෙයින් එකල ගැහැනු චරිතවලට මොවුන් එක් කර ගත් අතර, පසුව ඔවුන් එය තම වෘත්තිය කරගෙන, හැම නාටකයකම ගැහැනු චරිත භාර ගනිමින් තමන්ගේ ඒකාධිපත්‍යය ඒ තුළ පැතිරීය. එකී වකවානුවේ ලාංකික ගැහැනුන් තීටර් වේදිකාවල රඟදැක්වීම විශාල අවමානයක් සේ සැලකීය. එහෙයින් ගැහැනු ලක්ෂණ තිබූ පිරිමින්ට එම ක්ෂේත්‍රය තුළ තම අණසක පැතිරවීමේ අවකාශය විවෘත වී තිබුණි. ඩේසි රාසම්මා ඩැනියල් නොහොත් රුක්මණි දේවී ‘කඩවුණු පොරොන්දුව’ නාටකයට පැමිණීමෙන් නැති කළේ අර ගැහැනු ලක්ෂණ තිබූ පිරිමින්ගේ ආධිපත්‍යයයි. ආධිපත්‍ය පමණක් නොව, ඔවුන් දිගු කල් සිට කරගෙන ආ වෘත්තියයි. එතැන් සිට ඔවුන් ඩේසි රාසම්මා ඩැනියල්ටත්, පසුව ‘බ්‍රැන්ඩඩ්’ වූ රුක්මණී දේවියට සාප කරන්නට විය.
මෙවන් ආධිපත්‍යයක් තිබූ බවක් රුක්මණී දැනගෙන සිටියේ නැත. ඒවා දැනගන්නා විට ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වී අවසන්ය. එකී සාපය කවදා හෝ ඇයට වදින බවක් ඈ තරයේම විශ්වාස කළාය.
රුක්මණී දේවියට හරි හැටි රඟපෑමට බැරි වූයේ, ඇයගේ සහජ හැකියාව ‘ගායනය’ නිසා වන්නට ඇත. ඇය තරම් දක්ෂ ලෙස හඬ පාලනය කර, එය ගංගාව සේ, නැත්නම් සිසිල් සුළඟ සේ, එසේත් නැත්නම් පුන් සඳ එළියසේ පරිවර්ථනය කර, ගයන විලාශයට ළංවන්නට තවම කිසිදු ගායිකාවකට හැකි වූයේ නැත. අමරදේවයන් සමඟ ගැයූ ‘සුවදෙන සිත සැනසුම්’, එච්. ආර්. ජෝතිපාලයන් සමඟ ගැයූ ‘ලා නිල් ගොයම් පැසී’ අතරට සී.ටී. ප්‍රනාන්දු සමඟ ගැයූ ‘පුන්සඳ හිනැහෙන්නේ’ ගී ත්‍රිත්වයේ එකිනෙකට වෙනස් ගායන විලාසය එයට සාක්කි දේවි.
එකී ගායනයට අමතරව ඇය සතු වූයේ, අසාමාන්‍ය රූ සපුවකි. ඒ රූමත්කම නිසාම ඇය රංගනයට පිවිසිය ද, ඇය මිය යනතෙක්ම රංගනය යනු කුමක්දැයි නම් හදුනාගෙන තිබුණේ නැත. සිනමාවේ ප්‍රථම නිළිය නිසා ඇය නිතැඟින්ම නිළි රැජණ වූවද, පසු කලෙක ඇයව අභි බවා මාලනී ෆොන්සේකා ගව් ගානක් ඉදිරියට ගොස් නිළි රැජන ‘ටයිටලයට’ හිමිකම් කීය.
රුක්මණි දේවී, අනුරාගීක රූප ලක්ෂණයෙන් සපිරූ නිළියක් වුවද, සිනමාවේදි ඇයට සිදුවූයේ එකී අනුරාගීක බව යටපත් කර සංවේදී පෙම්වතිය වීමටය. එහෙත් ‘ නළඟන’ චිත්‍රපටය ඇයට සුවිශේෂිත වූයේ උපතින් ලද අනුරාගික බව ඉස්මතු වන ලෙස රාත්‍රී සමාජ ශාලා නළඟනකගේ චරිතයක් රඟපෑමට ලැබුණු නිසාය. එය ඇය ඉතාමත් ආශාවෙන් රඟපෑ චරිතයක් බව ඇය පවසා තිබුණි. ඒ, ඒ වන විටත් සංවේදී පෙම්වතිය, සුචච බිරිද ලෙස රඟපෑමෙන් ඇය හෙම්බත් වී සිටි නිසාය. තමා, අනුරාගීක ස්වරූපයකින් සපිරූ ස්ත්‍රියක් බව දැන සිටිය ද, මුල සිටම සිනමාකරුවන් ඇයට ඇලවූ, චරිතවත් කාන්තා ලේබලය, ඇයට විවධ චරිත ඉසව් කරා යෑමට අවහිරයක් විය. එකල කාන්තා ප්‍රේක්ෂිකාවන් ඇයගෙන් හැම විටම බලාපොරොත්තු වූයේ සුචරිත කාන්තා ප්‍රතිරූපයයි. එකී ප්‍රේක්ෂිකාවන්ට උවමනා වූයේ තිරයේ ඇය හඬන හැටි බලා, ඇයත් සමඟම හඬන්නටය. රිදී තීරයේ ‘කඳුළු’ බින්දුව සේ ඇයව හැඳින්වූයේ ඒ නිසාය. මේ කඳුළු බින්දු ප්‍රතිරූපය එකල හින්දි නිළියක් වූ මීනා කුමාරිට තිබුණි. තිරයේ ඇය සමඟ හරි හරියට හඬන්නට ප්‍රේක්ෂිකාවන්ට උවමනා විය. නමුත් පිරිමි ප්‍රේක්ෂකයන් නම් මීනා කුමාරිගේ අනුරාගය හඳුනාගෙන තිබුණි. එය ලංකාවේ ද එසේ විය. ලංකාවේ පිරිමි ප්‍රේක්ෂකයන්ට නම් රුක්මණී දේවිව පෙනුණේ තිරයේ කඳුළු බින්දුව ලෙස නොව, අනුරාගය වැහෙන ස්ත්‍රියක් ලෙසය. ඇයගේ රූපයෙන් වැගිරෙන එකී අනුරාගයෙන් ඔවුන් මනෝ මන්දිර තනාගෙන, එය විඳින්නට වූ අතර, ඔවුනට ඇයගේ රූ සපුව, රසය වෑහෙන උල්පතක් විය. කාන්තා ප්‍රේක්ෂකයන් ඇයව දේවත්වයෙන් සලකන විට, පිරිමි ප්‍රේක්ෂකයන් ඇය, අනුරාගයේ දෙව්දුව ලෙස අදහන්නට විය.
රුක්මණී රඟපාන කාල වකවානුව තුළ ඇයට වෛශ්‍යාවකගේ චරිතයක් රඟපෑමට ලැබුණේ නැත. ලැබුණා නම් ඇය අනිවාර්යයෙන්ම රඟපානු ඇත. ඒ එකල වුවද ඇයට අවශ්‍ය වූයේ විවිධ චරිත තුළ ජීවත් වීමටය. සුකුමාල පෙම්වතිය, සුවිනීත බිරිය, සංවේදි සොහොයුරිය, මේ ඇයට තරුණ කල ලැබුණු චරිතයන්ය. මාලනී ෆොන්සේකා එකී සීමාවන් කඩාගෙන ගියාය. ‘සොල්දාදු උන්නැහේ’ ‘ බඹර ගීතය’, වැනි චිත්‍රපට තුළින් මාලනී ෆොන්සේකා ලාංකික ජන සමාජය තුළ සැරිසරන සත්‍ය වෛශ්‍යාවකගේ චරිතවලට අවතීර්ණ වූවද, රුක්මණී දේවිට එකී විවිධ චරිත රඟපෑමේ වරම් මෙන්ම, නිදහස ද ලැබුණේ නැත.
රුක්මණී දේවී, තරමක් රැඩිකල් චරිතයකි. සිනමාකරුවන් විසින් ඇයට අහිංසක ප්‍රතිරූපයක් මවනු ලැබුවද, සත්‍ය ජීවිතය තුළ ඇය සෘජුව තීරණ ගත් කාන්තාවකි. එඩී ජයමාන්න සමඟ හොර රහසේ පැන ගොස් විවාහ වීම, ඇගේ ඒ එක් රැඩිකල් ක්‍රියාවකි. බාහිර රූපකායන් තුළින් එඩී, රුක්මණී නොගැලපෙන බව පෙනුනාසේම, අභ්‍යන්තරවද ඔවුන්ගේ නොගැලපීම් තිබුණි. අනුරාගීක ස්ත්‍රියක් සේ රුක්මණීව පෙනුණ ද, ඇයට, එඩී සමඟ හොඳ පවුල් සංස්ථාවක් ගොඩ නඟා ගැන්මට අවශ්‍ය වී තිබුණි. එහෙත් එඩී ජයමාන්නගේ සෙල්ලක්කාර ජීවිතය, තුළින් ඇය බොහෝ පීඩා වින්දාය. එලෙසම දරු සුරතල් බැලීමට නොහැකිවීම ඇයගේ එකී පීඩාව දෙගුණ තෙගුණ විය. පසුව ඇය ආදරයෙන් බැඳුණු නෙවිල් ප්‍රනාන්දුගේ හදිසි මියයෑමත්, තමා හා එඩී විසූ ‘ජය රුක්’ නිවෙස අහිමිවීමත්, ආර්ථීක අපහසුතා ඇති වී, ඇය ජීවිතය තුළ තනිවීමත්, යන සිද්ධාන්ත, සිද්ධ වන්නට ඇත්තේ අර එදා ගැහැනු, චරිත රඟ පෑ, ගැහැනු ලක්ෂණවලින් සපිරූ පිරිමි රංගන ශිල්පීන් කළ සාපය නිසා විය හැකි බව ඇයට සිතීම ද, එක් අතකට සාධාරණය.
රුක්මණී දේවිට පිහිටා තිබුණේ අසාමාන්‍ය වූ ගායනා කෞශල්‍යයකි. ඇයගේ ගායනා හඬ තුළ ගැබ් වී තිබුණේ ශෘංගාරයයි. එහෙත් සංගීත ශිල්පීන් එය ශෝකි රාවයකට පරිවර්තනය කළහ.
එය ද එක්තරා අතකට ඇයට සිදු වූ අසාධාරණයක් විය. චරිත රංගනය තුළ, කඳුළු බින්දුව වූ ඇයට ගායනය තුළ ද, කඳුළු බින්දු වන්නට සිදුවිය. ඇයගේ හඬ තුළ විවිධ ශෛලීන් ගැබ් වී තිබුණ ද, නිර්මාණකරුවෝ හැම විටම උකහා ගත්තේ ඇයගේ ශෝකි රාවයයි. ඇයගේ හඩ තුළ ශෝකී බවට වඩා දෙයක් තිබෙන වග වටහා ගත්තේ, සී.ටී. ප්‍රනාන්දු, සහ නෙවිල් ප්‍රනාන්දු පමණි. ඔවුන් ඒ හඬ යොදාගෙන විවිධ අත්හදා බැලීම් කරමින් ඇයගේ ගායනා ශෛලිය තුළ සැඟවී තිබූ එකිනෙකට වෙනස් පරාසයන් මතු කර ගති.
රුක්මණී දේවී එක්වරම විශාලතම ජනප්‍රියත්වයක් ලැබුණ ද, ඇයට ඇයගේ ජිවිතය තුළ, ඇය බලාපොරොත්තු වූ ජීවිතය ලැබුණේ නැත. ඇයගේ විවාහය අසාර්ථක විය. දරුඵල නොලැබුණි. ඇයගේ සුවිසල් නිවෙස අහිමිවුණි. රඟපෑමට නිසි චරිත නොලැබුණි. ඇය පැවැත්වීමට අදහස් කර ගත් ඒක පුද්ගල ගී ප්‍රසංගය පවත්වා ගැන්මට හැකියාවක් නොලැබුණි. අවසානයේ දරුණු අනතුරකින් ඇයට මහමඟ හුස්ම හෙළන්නට සිදු විය.
එහෙත් ඇය ලාංකික ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයන්ට නම් බොහෝ දෑ ඉතිරි කර ගියාය. එය යුගයෙන් යුගයට පවතිනු ඇත. ඒ, ඇය නිරන්තරයෙන්ම වලා රොඳින් එබී බලන කැලෑ හඳ නිසාමය.
ශෝන් මැක්සිමස් දිසානායක