ටෙලි නාට්‍ය කලාව හඳුන්වාදීම සමඟම රූපවාහිනිය වඩාත් රසික ප්‍රසාදයට ලක් වුණා. එමෙන් ඉතා උසස් කලා රසිකත්වයෙන් පොහොසත් ටෙලි නිර්මාණ එක් වකවානුවක අපේ ටෙලි නාට්‍ය කලාව තුළ බිහිවුණා. තරගකාරී පෞද්ගලික රූපවාහිනී නාළිකා නොතිබුණ එවන් පසුබිමක එදා ජාතික රූපවාහිනී නාළිකා දෙකෙහි ප්‍රචාරය වුණු ටෙලි නාට්‍ය වටා ප්‍රෙක්ෂකයෝ ගොනු වුණා. එම ජාතික නාළිකා දෙක වින්දනයෙන් උසස් නිර්මාණ ප්‍රේක්ෂකයා වෙනුවෙන් ලබා දෙන ජාතික වගකීමෙන් බැඳී සිටියා. රූපවාහිනී යන්ත්‍ර සුලභ නොවූ වකවානුවක ගමේ නිවසක දෙකක තිබුණු කළු සුදු රූපවාහිනිය වටා ගැමියන් රොක් වුණු ආකාරය අපේ වැඩිහිටියන්ට නම් තවමත් මතක තියනවා.
ඔබ දැන් ජීවිතයේ තුන්වන දශකය පසුකරනවා නම් ඔබට මතකද “හිරුට මුවාවෙන්” ටෙලි නාට්‍යයෙ හිටපු ඒ සුන්දර යුවතිය. ඒ වගේ “හිමි අහිමි” ,”ගංගා හා නිශ්ශංක”, සහ “වන වදුලේ වසන්තය” ,වගේම “බැද්දේ ගෙදර “,’අඹු දරුවෝ”,ස්වර්ණ තිසරාවි”,”සරදියෙල්”, වැනි ටෙලිනාට්‍ය ගණනාවක ප්‍රතිභාන්විත චරිත මැවූ රංගවේදිනිය..
ඇය චම්පා ශ්‍රියානි.
කලාතුරකින් හිමිවන සුවිසෙස් චරිත රැසකට පණ පොවන්න වාසනා ගුණයකට හිමිකම් කියු ඇය නැවත පුංචි තිරයට ඇවිත්. ඒ සකර්ම ටෙලි නාට්‍යය ඔස්සේ. එම ටෙලි සිත්තම නිර්මාණය වන්නේ ශාන්ති දිසානායකගේ “පරඬැල්” නවකතාව පාදක කර ගනිමින්. සති අන්තයේ ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ දිග හැරෙන ‘සකර්ම’ හරහා යළිත් අප අතරට එන චම්පා ශ්‍රියානි සමඟ රසඳුන රසබර පිළිසඳරක යෙදුණා.
කාලෙකට පස්සේ නේද රඟපාන්න ආවෙ ? ඒ ප්‍රශ්නය ඇසුවාම අපට හුරු පුරුදු ඇයගේ සිනාව මුව පුරා ගලාගෙන ගියා.
“ ඔව්… කාලෙකට පස්සේ තමයි. මම එක හුස්මට ටෙලි නාට්‍යවල රඟපාන්න උත්සාහ කළ කෙනෙක් නෙවෙයි. එක් නිර්මාණයක් කරලා නිවිහැනහිල්ලේ හොඳ හුස්මක් අරගෙන ඊළඟ නිර්මාණයට සූදානම් වෙන්නේ. ඒ නිර්මාණය ගැන හොඳ අවබෝධයක් වගේම නිර්මාණාත්මක පසුබිම ගැන මම සෑහීමට පත් වුණොත්.”
“ මුල් කාලයේ ටෙලි නිර්මාණය වුණේ ඉතාමත් විධිමත් පෙර සැලසුමකට අනුව. තිර රචනය සම්පූර්ණ කරලා අපිට ලබාදෙනවා. කලා අධ්‍යක්ෂකවරයා වේෂ නිරූපණ ශිල්පියා සහ අධ්‍යක්ෂකවරයා සහ අනෙක් සියලු දෙනාම නිර්මාණය ගැන කතා කරනවා. නිර්මාණය ගැන හොඳ පෙර සූදානම් වීමක් එක්ක නිර්මාණයකට අපි එකතු වෙන්නේ. ”
“එතනදී ආර්ථිකමය ලාභය බලාපොරොත්තුවෙන්ම නෙවෙයි මම නම් රඟපෑවේ. හොඳ නිර්මාණයක රඟපාලා ලබන තෘප්තිය මුදලින් මනින්න මට නම් බැහැ.”
ඇය ඇයගේ පෞද්ගලික ජීවිතය රංගනය නිසා කාර්ය බහුල කරගෙන තිබුණෙ නෑ. ඇය ඒ සියල්ල යහපත් ලෙස කළමනාකරණය කරගෙන තිබුණා.
“ටෙලි නාට්‍යවලට කාර්යබහුල නොවුණ නිසා මගේ පෞද්ගලික ජීවිතයට වැඩි ඉඩකඩක් වෙන්වුණා. මගේ මහත්තයා පර්සි මහේන්ද්‍ර. අපි විවාහ වුණාට පස්සේ දුවලා දෙන්නෙක් මට ලැබුණා. සදලි ගීත්මා සහ සියුමි දිනෙත්මා. මගේ ලොකු දුව දැන් විවාහකයි. දෙවෙනියා මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දුන්නා. මං මගේ පවුලට ගොඩාක් ආදරය කෙනෙක්. නිර්මාණය ජිවිතයෙන් පරිබාහිරව මගේ පවුල එක්ක ඉන්න මට පුඑවන් වුණා. ”
වර්තමානයේ බිහිවෙන බොහෝමයක් නිර්මාණ ඉතා ඉක්මනින් ආරම්භ කරන වැඩ. ඒ අතරතුර “සකර්ම” ටෙලිනාට්‍ය ඉතාමත් විශේෂ නිර්මාණයක්. කොළඹින් දුරබැහැර ගල්ගමුව නවගත්තේගම වගේ පිට පළාතක දර්ශන තලයන්ට අපව නිර්මාණය හරහා රැගෙන යනවා. චම්පා මේ අත්දැකීම ගැන කතා කළේ ප්‍රසාදයෙන්.
“මේක සැලසුම් සහගත වැඩක්. මේ වගේ බරසාර වැඩකට මා සම්බන්ධ වෙන්නේ වසර 14කට පස්සේ. අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. මගෙ චරිතෙ ගොඩනඟා ගන්න ඔහු මට විශාල සහායක් දැක්වුවා.”
චම්පා ශ්‍රියානි අමතක කරලා ටෙලි නාට්‍ය වංශ කතාව ලියන්න බැහැ වගේම ඇය රඟපෑ බොහෝ ටෙලි නාට්‍ය අපේ රටේ සාහිත්‍යලෝලී පාඨකයන් අතර මුල් බැසගත් නවකතාවන් බිහිවූ නිර්මාණ ද වෙනවා. ඒ ගැන අප ඇයගෙන් විමසුවා.
“මට වාසනාවක් තිබුණා පුංචි කාලේ ඉඳලා පොත පත කියවන්න. ඒ නිසාම මට රඟපාන්න ලැබුණු ගොඩක් ටෙලි නාට්‍යවල චරිත මම කලින්ම නවකතා පොත් විදිහට කියවලා රසවිඳපු චරිත.
ඒ නිසා මේ චරිතය ගැන මට ලොකු වගකීමක් තිබුණා. ඇත්තටම පාඨකයන් ඒ චරිත ඔහුගේ පරිකල්පන ලෝකය තුළ මවාගන ඉන්න චරිත. “හිමි අහිමි” එඩ්වඩ් මල්ලවආරච්චි,”ගංගා සහ නිශ්ශංක”කරුණාරත්න සපුතන්ත්‍රී, “වන වදුලේ වසන්තය” පියසේන කහදගමගේ “බැද්දේ ගෙදර” සහ “අඹු දරුවෝ” ජයසේන ජයකොඩි” කටු ඉඹුල” සරත් ධර්මසිරි” ස්වර්ණ තිසරාවි” ස්වර්ණලතා කිරිවත්තුඩුව වගේ බොහෝමයක් නිර්මාණ නවකතා ආශ්‍රිතව ගොඩනැගුණු ටෙලිනාට්‍ය. මට මතකයි ඒ දවස්වල රූගත කිරීම් අතරතුර ලැබෙන විවේකයේදි ජයලත් මනෝරත්න අයියා පොතක් කියවනවා. මගෙත් කියවීමට තිබුණු නැඹුරුව අලුත් ගැන්වුණේ අපි අතර කතාබහේ දී ගොඩනැගෙන ආභාසය එක්ක. ”
චම්පාට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙ ඇයගෙ පාසල් කාලයේ. ඒ ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ උසස්පෙළ කරන වකවානුවේ. මුලින්ම රඟපාන්න ලැබෙන්නේ තිමති වීරරත්නගෙ “කඳුළක හසරැල්” ඒකාංගික ටෙලිනාට්‍යයේ. ඒ 1985 වසරේ. ඒ අතීතය ගැන චම්පා කතා කළා.
චම්පා ශ්‍රියානි
“ කඳුළක හසරැල්” ටෙලි නාට්‍යයෙන් පස්සේ මා රඟපාන්නේ සෙනරත් ජයවර්ධන අධ්‍යක්ෂණය කරන “හිමි අහිමි” ටෙලි නාට්‍යයයේ . සෙනරත් ජයවර්ධන කියන්නේ මහේල ජයවර්ධනගේ තාත්තා. ඉදි ආප්ප ගෙදර කතාව “හිරුට මුවාවෙන්” අධ්‍යක්ෂණය කරන්නේ හර්බට් රංජිත් පීරිස් මහත්මා. සුදත් රෝහණ මහත්මා අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය කීපයකම රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ හැම අවස්ථාවකම හොඳම නිළිය සහ සහාය නිළිය සම්මානයට මා නිර්දේශ වෙලාත් තියෙනවා. 1997 වසරේ සුදත් රෝහණයන් කළ “බැද්දේ ගෙදර “ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය බවට පත් වන්නෙ ජ්‍යෙෂ්ඨ රංගනවේදී ට්‍රිලීෂියා බොතේජු මහත්මිය. එහිදී හොඳම සහාය නිළිය ලෙස සම්මාන මට ලැබෙනවා.”
රංගන ශිල්පිනියක් විදිහට ඇය ආ ගමන් මඟ එදා මෙදා තුර රසික ප්‍රසාදය නොඅඩුව හිමි වීම කලා ශිල්පිනියක් ලබන වාසනා ගුණයක්. ඒ ගැන ඇයට තිබුණේ මෙහෙම අදහසක්.
“ ජනප්‍රියත්වය වගේම ජීවිත පරිණතියත් මට ලැබුණා. අපට සැබෑ ජීවිතයේදී රඟපාන්න බැහැ. මගෙ ජීවිතය සරලයි. ඒ ජීවිතේ දකිනකොට සමහරු පුදුම වන අවස්ථා තියෙනවා. ඔයා ටෙලිනාට්‍යයේ හිටියේ මෙහෙම නෙවෙයිනේ කියනවා. හැබැයි කොතැනකට ගියත් මාව හඳුනාගෙන කතා කරන පිරිසක් අදත් ඉන්නවා. සමහර වෙලාවට සමාජයේ පහළම ස්ථරවල වැඩ කරන අහිංසක මිනිස්සු දක්වන ප්‍රතිචාර පුදුම සහගතයි. මං රගපාන්නෙ පළමුවෙන්ම මගේ සතුට වෙනුවෙන්. දෙවනුව මගේ රසිකයන් සතුටු කරන්න. ඔවුන්ගේ ආදරය ලැබීම රංගන ශිල්පිනියක් විදිහට ලබන වරප්‍රසාදයක්. එය තමයි මා ලබන ඉහළම සම්මානය”.
ඇය අපට කිව්වා.
ෂර්ලි සමරසිංහ -සිළුමිණ