ජීවිත තරගය කරා සිහිසුන්ව දිව යනගමනින් මිදී මම නිදහස අත්විඳිනවා. ඒ නිසාම තෘප්තිමත් මිනිසකු ලෙස ජීවිතය විඳින්න මට පුළුවන්.
පුංචි කාලේ මම ඉස්කෝලෙ ගියෙත් කැමැත්තකින් නෙවෙයි. ඒ කාලේදී ඉගෙනුමට දස්කම් දැක්වූ, ගුරුවරුන්ගෙ අවධානය දිනූ සිසුවකුත් නෙවෙයි.
සරලව හඳුන්වන්නේ නම් මෙරට මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස පමණක් නොව ජනමාධ්‍ය ඇතුළු විවිධ මහජන ක්ෂේත්‍රයන්හි ප්‍රබල භූමිකාවක් හිමිකරගත් විද්වතෙකි. මෙවර කැදැල්ලේ කතාවෙන් දිවි සැරියේ සොඳුරු මතක අවදි කරන්නට අප ඇරයුම් කළේ කොළඹ විශ්‍ෙවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ටය. මේ කතාබහ හුදෙක් ජීවිත විවරණයක් ඉක්මවා ගිය අරුත්බර මානව දර්ශනයක සංක්ෂිප්ත සටහනක් ලෙස හැඟේ නම් පුදුම නොවන්න. ඒ ඔහු ජීවිතය කරගත් මානව දර්ශනයේ අපූර්වතම ගුණ සුවඳ මේ කතාබහ පුරාවට මුසු වී තිබෙන නිසාය.
“පාසල් ජීවිතයේ මුල් කාලයේ මම ඉගෙනුමට විශාල දක්ෂකමක් පෙන්නූ, ගුරුවරුන්ගෙ අවධානය දිනූ ශිෂ්‍යයෙක් නෙවෙයි. කෙටියෙන් කියනවා නම් ඉස්කෝලෙ ගියෙත් ඒ හැටි කැමැත්තකින් නෙවෙයි. නමුත් හයේ පන්තියේදී එකපාරටම වගේ මා තුළ විශාල අභ්‍යන්තර වෙනසක් සිදුවෙන්න පටන්ගත්තා. ඉගෙනීම ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. මගේ ජීවිතයේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ ඒ වෙනසයි. ඒ නිසාම හයේ පන්තියේදි පළවෙනියා වුණු මම ඉගෙනුම අවසන් කරන තුරුම ඒ ස්ථානය රැකගත්තා.”
ටියුඩර් වීරසිංහයන් ඒ අතීතය සිහි කරන්නේ අව්‍යාජ නිහතමානී බවකිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයට අයත් හෙයියන්තුඩුව ගම්මානයේ උපන් ඔහුගේ පියා ගොවිකම මුල් කරගත් ව්‍යාපාරවල නියැළෙමින් දරු පවුල පෝෂණය කළේය. මව ඊට දිරිදුන්නේ ගුණදහමින් දරුවන් ඇතිදැඩි කරමිනි. සරල සාමාන්‍ය දිවි පෙවෙතකට හිමිකම් කී දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලේ කුලුඳුලා වූයේ ටියුඩර් පුතුය. නිවෙසේ සිට පා ගමනින් යන දුරක පිහිටි හෙයියන්තුඩුව සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනයේ මුල් පොත කියැවූ ඔහුට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් එම පාසල ප්‍රාථමික පාසලක් බවට පත්වීම නිසා වෙනත් පාසලකට මාරු වන්නට සිදුවිය. ඒ අනුව 7 වැනි වසරේ සිට ඔහු අධ්‍යාපනය ලබන්නේ වර්තමානයේ හෙයියන්තුඩුව මහින්ද විද්‍යාලය ලෙස හඳුන්වන එවකට හෙයියන්තුඩුව මධ්‍ය මහා විද්‍යාලය ලෙස හැඳින්වූ පාසලේය. එම පාසල ටියුඩර් සිසුවාගේ ක්‍රීඩා කුසලතාව විදහා පෑ තෝතැන්නක් විය. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී රිටි පැනීමේ ඉසව්වෙන් ජයගත් ඔහු එතැන් සිට මාණ්ඩලික තරග, දිස්ත්‍රික් තරග සිට සමස්ත ලංකා මට්ටම දක්වා පැමිණයේය.
රිටි පැනීමේ තරග ඉසව්ව ඒ පාසලේ නිවාසාන්තර තරගවලට එකතු වුණේ මම නිසයි. ඒ පාසලේ ක්‍රීඩා සඳහා තිබුණේ බොහොම අඩු පහසුකම්. මට තාම මතකයි. ඉස්සෙල්ලාම රිටි පනින්න පුරුදු වුණේ උණ ලී රිටකින්. ”
ඔහු පවසන්නේ සිනාසෙමිනි. සාමාන්‍ය පෙළින් පසු ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ හැදෑරීමට කැලණිය ධර්මලෝක විදුහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටියද ඔහුට එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසලක්ව තිබූ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනට ඇතුළු වන්නට අවස්ථාව සැලසෙන්නේද අහඹු ලෙසිනි.
” ඒ වෙද්දි මම කැලණියේ ධර්මාලෝක විදුහලට අයදුම්පත්‍රයක් බාර දීලා තිබුණේ. නමුත් මගෙ යාළුවගේ අයදුම්පත බාරදෙන්න මමත් යාළුවා එක්ක දෙල්ගොඩ පිරිවෙනට ගියා. ඒ වෙලාවේ පරිවේණාධිපති හාමුදුරුවෝ මට කිව්වා යාළුවා විතරක් නෙවේ ඔය ළමයත් ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. ඒ නිසා මාත් අයැදුම් පත්‍රයක් බාරදුන්නා. ඒ අතරෙ කැලණිය ධර්මාලෝක විදුහලෙනුත් කැඳවීමක් ලැබුණා. ඒ කාලේ රිටි පැනීමෙන් මගේ නම අවට පාසල් අතර ජනප්‍රිය වෙලා තිබුණු නිසා විදුල්පති හිමිනම කිව්වා මම ක්‍රීඩා අංශයෙන් දක්ෂතා පෙන්වන හින්දා ඒ පාසලට ආවොත් ඒ අංශයෙන් තමයි ඉදිරියට යා යුත්තේ කියලා. ඒ වගේම ජීව විද්‍යා අංශයට ඒ වෙද්දි ප්‍රමාණවත් ළමයින් සංඛ්‍යාවක් බඳවගෙන හිටපු නිසා ඒ අංශයට ඇතුළු කරගන්නත් බැහැ කිව්වා. ඒ නිසා මම යාළුවා එක්කම දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනට ඇතුළත් වුණා වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න. මම කවදාවත් හිතාගෙන හිටියෙ නැහැ. 1985 වසරේ මම උසස් පෙළට පෙනී සිටියා. 1986 වසරෙදි මට උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට යන්න අවස්ථාව ලැබුණා. ”
ඒ, එරටින් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් අනුවය. ඒවන විට කොමියුනිස්ට් පක්ෂයේ සෝවියට් දේශයේ ශිෂ්‍ය දේශපාලන කටයුතුවලටද සම්බන්ධ වී සිටි ටියුඩර් යෞවනයාට එහිදී ජනමාධ්‍ය හැදෑරීමට අවස්ථාව හිමිවුවද ඔහුගේ සිත බැඳී තිබුණේ දර්ශනය කෙරෙහිය.
“මගෙ හිතේ තිබුණෙම දර්ශනය හදාරන්න. ජනමාධ්‍ය පළමු උපාධිය අවසන් කළාට පසුව මම දර්ශන පීඨයට ගිහින් විමසීමක් කළා මට එහි බාහිර පාඨමාලාවකට හෝ සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. නමුත් දැනටමත් මම ශිෂ්‍යත්වයක් ලබා සිටින නිසා පාඨමාලා දෙකක් හැදෑරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත් එසේ ඉගෙන ගන්නවා නම් මුදල් ගෙවිය යුතු බවත් විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවා. නමුත් දර්ශනවාදය ඉගෙන ගන්න තිබුණු ආශාව නිසාම මම දිගින් දිගටම ඒ පිළිබඳ විමසුවා. ඒ නිසාමදෝ එහිදීත් අහඹු අවස්ථාවක් මට ලැබුණා. මම ජනමාධ්‍ය අංශයෙන් පළමු පෙළ සාමාර්ථයක් සහිත ගෞරව උපාධිය ලැබීමෙන් පසු විදෙස් සිසුවකු විදිහට නොව රුසියාවේ සිසුවකු විදිහට, නමුත් ගෙවීමේ පදනම මත දර්ශනවාදය හදාරන්න අවස්ථාව අවස්ථාව දුන්නා.”
1997දී ජනසන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමෙන් පසු ඔහු නැවත මවුරට පැමිණෙන්නේ 1998 වසරේදීය.
“ඉන්පසු මට කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. ටික කලෙකට පසු මහජන චීන ගුවන්විදුලි සේවයේ තනතුරකට අවස්ථාව ලැබිලා එහෙ යන්න සියලු කටයුතු සම්පාදනය වෙමින් තිබියදී ඊට පෙර මම සහභාගි වී තිබූ සම්මුඛ සාකච්ඡාවකට අනුව ඒ සඳහා තෝරාගත් බවට ලිපියක් ලැබුණා. ඒ අවස්ථාවේදී විදේශ රටක රැකියාවද? විශ්වවිද්‍යාල රැකියාවද කියලා මට තෝරා ගන්න සිදු වුණා. දිගු කාලයක් පිටරට හිටි නිසා දැන් මේ රටේ වැඩ කරන්න කියලා මවුපිය, නෑ හිතමිතුරනුත් ඉල්ලීමක් කළා. ඒ අනුව 1999 සිට මම කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ශ්‍රී පාලි මණ්ඩපයේ ආරම්භක කටයුතුවලට විශාල දායකත්වයක් දැක්වීමට වගේම එහි ආරම්භක ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයකු බවටත් පත්වීමට මට අවස්ථාව ලැබුණා.”
වාර දෙකක් ශ්‍රී පාලි මණ්ඩලේ පීඨාධිපති ලෙසද කටයුතු කළ ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ මාධ්‍ය අත්දැකීම් හා පළපුරුද්ද ඉතා පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු එකකි. ඔහු දැරූ සහ තවමත් දරන නිලතල බොහෝය.
සංවර්ධනය, සාමය සහ සහ ජීවනය සඳහා නැඟෙනහිර යුරෝපයේ මිත්‍රත්ව සංගමයේ ශ්‍රී ලංකාවේ උප සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩලයේ මාධ්‍ය සංගමයේ උපදේශක, ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යක්ෂ, ශ්‍රී පාලි මණ්ඩපයේ ජාත්‍යන්තර සන්නිවේදන ජර්නලයේ උපදේශක, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍ය හා ජනමාධ්‍ය විෂයමාලා සංවර්ධන මණ්ඩලයේ උපදේශක, ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනයේ විෂයමාලා සංවර්ධන මණ්ඩලයේ උපදේශක, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයමාලා සංවර්ධන මණ්ඩලයේ උපදේශක, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යන තනතරු ඉන් අතළොස්සක් පමණි. සිය විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් සම්මාන කිහිපයකින්ද පිදුම් ලැබූ ආචාර්ය ටියුඩර් වීරසිංහ රූපවාහිනී, කෙටි චිත්‍රපට සහ චිත්‍රපට උලෙළ රැසක ජූරි සභිකයකු ලෙසද කටයුතු කරයි. ආචාර්ය වීරසිංහයන් විසින් රචිත පර්යේෂණ සහ ප්‍රකාශන කෘති ද රාශියකි.
ඔහුගේ දිවි සැරියේ සොඳුරු ස්මරණ අතර සෝවියට් දේශයේ විශ්වවිද්‍යාල සිසුවකු ලෙස ගත කළ සමයේ මනරම් අත්දැකීම් සම්භාරයක්ද වේ.
” සරසවියේ පළමු වසර අවසන් වන විට රුසියානු භාෂාව චතුර ලෙස ලියන්න, කියවන්න හැකියාව ලැබෙන සාර්ථක ඉගැන්වුම් ක්‍රමයක් එහි ක්‍රියාත්මක වුණා. භාෂාව ඉගෙන ගැනීමෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේ මා තුළ තිබුණු පොත් කියවීමේ අධික පිපාසය සංසිඳුවා ගැනීමටයි. විශේෂයෙන් දේශපාලන සාහිත්‍යය පිළිබඳ පොත්පත් විශාල ප්‍රමාණයක් මම කියෙව්වා. ආපහු ලංකාවට එනකොට මට ගේන්න තිබුණේ විශාල පොත් ගොඩක් පමණයි. විශ්වවිද්‍යාලයේ නිවාඩු කාලයට අපි ගොවිපොළවලට ගිහින් සෝවියට් කම්කරුවන් එක්ක වැඩ කරනවා. මොස්කව්වල මහා තරුණ මන්දිරය ඉදිකිරීම් කරන ඒ කාලේ මමත් එහේ ගිහින් මාස තුනක් විතර වැඩ කළා.”
සමකාලීන විදෙස් සිසුන් අතරේ මෙම ශ්‍රී ලාංකේය යෞවනයා ප්‍රකටව සිටියේ ‘වීර්‘ යන ළෙන්ගතු නමිනි. මහත් කැපවීමෙන් ඉගෙනුමේ යෙදුණු, පොතපත කියවීමට දැඩිව ඇලුම් කළ ඔහු මිතුරු ඇසුර ප්‍රිය කළද හොඳ මිත්‍රයකු වුවද ප්‍රේමය නම් විෂයය පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූවකු නොවීය.
“බොහෝ විට සරසවි සිසුන්ගේ ජීවිතයට සරසවි ප්‍රේමය සමීප අත්දැකීමක් වුණත් මට ඒ විෂයයෙහි කිසිදු අත්දැකීමක් නම් නැහැ. එය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස මට දැනුණේ හෝ එවැන්නත් නොමැති වීම අඩුවක් ලෙස හැඟුණෙත් නැහැ. මම තරමක් නිහඬ චරිතයක්. අධ්‍යාපන කටයුතු අවසන් කරලා අවුරුදු 11කින් විතර ලංකාවට ආ පසු නම් දැන් ඉතින් විවාහයක් කරගත යුතුයි කියලා මවුපියන් ඇවිටිලි කරන්න ගත්තා. ඒ දවස්වල මගෙ නංගිලා තමයි මං වෙනුවෙන් පත්තරවල දැන්වීම් දැම්මෙ. ඒ ලිපිවලට උත්තර ලිව්වෙ. ”
යෝජනාවකට අනුව හමුවී ඔහුගේ සිත ගත් ඇය තමාරා අලුත්ගේය. මවුපිය ආසිරි මැද 2000 වසරේදී ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ ජීවිත අත්වැල බවට පත්වූ ඇය වෘත්තියෙන් ගුරුවරියක වන අතර මේ වන විට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සේවය කරන්නීය. ඔවුන් දෙපළට පුතුන් දෙදෙනකු සහ එක් දියණියකි. දිවි ගමනට ප්‍රිය බිරියගෙන් ලැබෙන විසල් සහයෝගය ඔහු සිහි කළේ දයාර්ද්‍ර සිතිනි.
“ඇයගෙන් ලැබෙන සහයෝගය විශිෂ්ටයි. විශ්වවිද්‍යාල කටයුතු සහ බාහිර වැඩකටයුතු නිසා නිවෙසේ රැඳෙන අවස්ථාව ඉතා සීමිතයි. නමුත් ඇය ඒ සියල්ල දරාගෙන පවුල වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරනවා. අප අතර තිබෙන අවබෝධය, තේරුම් ගැනීම මට විශාල ශක්තියක්”
අභියෝගවලට මුහුණ දීමට පුද්ගලයකුට තම ක්ෂේත්‍රය තුළ ඇති දැනුමට අමතරව පැහැදිලි දැක්මක් තිබිය යුතු බව ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ අදහසයි.
“මගේ ජීවිතය ශක්තිමත් කළ ප්‍රබල බලවේගය ලෙස මම විශ්වාස කරන්නේ මගේ දැක්මයි. සමාජ ක්‍රියාවලිය, අන්තර් සබඳතා මනාව තේරුම් ගැනීමට දැනුම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් අවශ්‍යයයි. එවැනි දැක්මක් තුළ තමාටම තමා පිළිබඳ විශ්වාසයක් ඇතිවනවා. එවැනි දැක්මක් සහිතව ගොඩනැඟුණු පුද්ගලයකු පහසුවෙන් කිසිවකුට කඩාබිඳ දැමිය නොහැකියි. ඒ වගේම ස්වාධීන ලෙස කටයුතු කිරීමට පවුල තුළ නිදහසක් තිබුණා. ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය නොවුණත් මගේ මවුපියන් කිසිම දේකට දරුවන්ට බලපෑම් කළේ නැහැ. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ලොකු මැදිහත්වීමකින් තොරව කටයුතු කරන්න අපට පවුල තුළ නිදහස තිබුණා.
කුඩා කාලයේ පාසල් යන්න අකමැති වුණු මම වගේ කෙනකුට අධ්‍යාපනය තුළින්ම ජීවිතය ජය ගැනීමේ පසුබිම සැකසුණේ නිදහස් දැක්ම තුළ පෝෂණය වූ නිසයි. ආචාර්යවරයෙක් විදිහට මගේ අත්දැකීම් අනුව අද අපේ බොහෝ දරුවන්ට නැතිවෙලා තියෙන්නෙත් ඒ නිදහස් දැක්මයි. ඒ තුළ ඔවුන් විශාල පීඩනයකට ලක්වී තිබෙනවා. මම හිතන්නේ පුද්ගලයකුගේ සාර්ථකත්වයට වගේම ආයතනවලත් රටේත් සාර්ථකත්වය තීරණය වන්නේ නිවැරදි දැක්ම තුළයි. මට හැඟෙන ආකාරයට වත්මන් සමාජයේ විශාලම ගැටලුව මිනිසා තුළ නිදහස් දැක්ම බිඳවැටී තිබීමයි ”
බොහෝ ඇසූපිරූ තැන් ඇති ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගේ ඒ කතාබහ අරුත්බරය; රසවත්ය. කාලය අපගේ කතාබහට හරස් වද්දී අවසන් පැනය ඔහු ඉදිරියේ තැබුවෙමි. ඔබ ජීවිතය පිළිබඳ තෘප්තිමත්ද ?
“ඇත්තෙන්ම මම තෘප්තිමත්. මේ ලෝකය තුළ තමන්ගේ පැවැත්මට තමන්ම තර්ජනයක් වී තිබෙන එකම සත්ත්වයා මිනිසා. පාරිභෝජනයවාදයට දැඩිව නතුවෙමින් තිබෙන මිනිසා තමාට පමණක් නොව සොබාදහමටත් තර්ජනයක්. මේ කොවිඩ් වසංගතයත් එහි එක් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මිනිසකු ජීවත් විය යුත්තේ තවත් අයකු සංසන්දනය කරමින්, එකිනෙකා පරයා යෑමට තරග කරමින් නොවේයි. ඒ තුළ සමාජ වටිනාකම් ගිලිහුණු, කිසිදු රසවින්දනයක්, විඳීමක් නැති යන්ත්‍ර බවට මිනිසුන් පත්වී තිබෙනවා. පෞද්ගලිකව මම ඒ යථාර්ථය තේරුම් ගෙන ජීවිත තරගය කරා සිහිසුන්ව දිව යන ගමනින් මිදී නිදහස අත්විඳිනවා. ඒ නිසාම තෘප්තිමත් මිනිසකු ලෙස ජීවිතය විඳින්න මට හැකියාව ලැබී තිබෙනවා.”
සාකච්ඡා කලේ..සුරේකා නිල්මිණි ඉලංගකෝන්
ඡායාරූප…සුලෝචන ගමගේ
සිළුමිණ