කලා­ක­රු­ව­කුට ප්‍රේමය යනු පටු සහ කොටු කළ හැඟී­මක් නොවේ- රවී සිරි­ව­ර්ධන

යමකු මහා කලාකරුවකු වන්නට නම්:  ඔහු තුළ පෞද්ගලික ලාභ අපේක්ෂාවලට එහා ගිය, නිර්මාණකරණය හා බැඳුණු උත්තුංග ගතිගුණ තිබිය යුතුයි.
ගැඹුරු භාවාත්මක,  අතහැරීම පුහුණු කළ  මනෝභාව සහිත  කලාකරුවන් සැබෑ ලෝකය තුළ දකින්නට කොතරම් අපහසු දැයි මට සිතෙනවා

නිර්මාණයක් විඳින්න සහ දැනෙන්නට හැකි ආකාර විවිධ පරාසවල විහිදී පවතී. විවිධාකාර පුද්ගල මනෝභාව අනුව එක් එක් පුද්ගලයන් නිර්මාණ විඳින ආකාර එකිනෙකට වෙනස්ය. බොහෝ දෙනා විවිධ අර්ථකථන දෙමින් විවිධ අයුරින් වින්දනය කළ ගීතයක් සමඟ අද ‘හද බැඳි ගීයෙන්‘ එක්වන්නෙ ගී පද රචක රවී සිරිවර්ධනයි.

 

“කලාවට ආදරය කරන කලාව සහ බැඳුණු පුද්ගලයෙක් වශයෙන් කලාකාරයා පිළිබඳ මගේ පෞද්ගලික අදහස වන්නේ “ඔහු අත්හැර දැමීම පුහුණු කළ පුද්ගලයකු” ලෙසයි. කලාකරුවා සැම විටම මමංකාරයෙන් තොර ආත්මාර්ථය ඉස්මතු කරගත් සිතුවිලි පරාසයකින් තොර පුද්ගලයකු ලෙස දකින්නට මම උත්සාහ කරනවා.

මේ තරම් සියුමැලිද කළු ගල්

හිතන්නට වත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා

ගීත රචකයා ඒ ගීතය ඔස්සේ සොයාගෙන යන කලාකරුවා අතිශයින්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතයේ ඔහු සාක්ෂාත් කරගත් ලෞකික සැප සම්පත් රාශියක් නැහැ. නමුත් ඔහු අතිශයින්ම විශ්මිත නිර්මාණයක් කර තිබෙනවා.

ගත කළ ජීවිත කාලයේ බොහෝ අවස්ථාවල දේශපාලන සම්බන්ධතා ඇති කරගත් කලාකරුවන් සමඟ කටයුතු කරන්නට මටත් අවස්ථාව ලැබී තිබෙනවා. තම අරමුණු පොදු ඒවා බවට පසක් කරමින් දේශපාලන අරමුණු මුදුන්පත් කරන්න එක්රොක් වන බොහෝ කලාකරුවෝ පසුකාලීනව තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට දේශපාලනය හරහා උත්සාහ දරන අයුරු ඕනෑතරම් දැක ගන්න ලැබෙනවා. ඒ සෑම අවස්ථාවකම ඔවුන් අභිබවා ඔවුන්ගෙන් විනිර්මුක්තව මම දකින්නට වෑයම් කරන්නේ මේ ගීතයේ කියැවෙන කලාකරුවාවයි. ඒ කලා කරුවා මා තුළ ඇති කරන්නේ පැහැදුණු හැඟීමක්.

තමන්ට යම් යම් වරප්‍රසාද ලබා ගැනීමට ඉතා දැඩි ආශා දක්වන පුද්ගල ස්වභාව දකින විට ඉතා අල්පේච්ඡ ජීවිත ගත කළ විශිෂ්ට කලාකරුවන් පිළිබඳ ඇති වන්නේ අතිමහත් ගෞරවාදරයක්.

රජී වසන්ත වෙල්ගම; මේ ගීතයෙහි ගීත රචකයා අප ඉදිරියට රැගෙන එන්නේ මහා කලාකාරයෙක්. මහා කලානිර්මාණයක් කරන්නට හැකි මහා කලාකාරයකුට පමණයි. ඔහු මහා කලාකරුවෙක් වන්නට නම් ඔහු තුළ පෞද්ගලික ලාභ අපේක්ෂාවන්ට එහා ගිය නිර්මාණකරණය හා බැඳුණු උත්තුංග ගතිගුණ තිබිය යුතුයි.

ඇත්තටම අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරියට ගිය විට අපට ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇස් ඉදිරියෙහි දකින ආකාරයේ යම්කිසි නිවුණු හැඟීමක් භාවනායෝගී හැඟීමක් ඇතුළාන්තයෙන්ම දැනෙනවා. එබඳු නිර්මාණයක් කළ පුද්ගලයා අති විශිෂ්ට කලාකරුවකු විය යුතුයි. වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ බුද්ධ ප්‍රතිමාවල ඇත්තේ බුදුරජාණන් වහන්සේ සතුව තිබූ ඒ මහා පුරුෂ ලක්ෂණවලින් මුළුමනින්ම පාහේ වෙනස් වූ ශරීර ලක්ෂණ. එබඳු නිර්මාණ අතරේ අවුකන ප්‍රතිමාව බඳු විශිෂ්ට නිර්මාණයක් කළ කලාකාරයා සුවිශේෂයි. වර්තමානයේ මෙබඳු නිර්මාණයක් යම් කිසිවකු විසින් සිදු කළා නම් ඔහු නිහඬ නිසංසල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙන්නට ඇති ඉඩ ඉතාම අවමයි. ගීතයට අනුව එදා ඒ නිර්මාණය සිදු කළ මහා කලාකරුවා ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් එළා අසුන්ගෙන සංසාරයේ ඇති බියකරු බව මෙනෙහි කරනවා. ඔහු රාජ රාජ මහාමාත්‍යාදීන් පසුපස යමින් ඒ නිර්මාණය වෙනුවෙන් ඔහුට මහා ගෞරවයක් අත් විය යුතු බව අමුතුවෙන් මතක් කරමින් වරප්‍රසාද අයැදිමින් ගොස් නැහැ. එබඳු නිර්මාණයක් වත්මනෙහි කළා නම් ඒ කලාකරුවා ඉන් අනතුරුව කලාවට යම්කිසි සේවයක් කරනවාට වඩා රාජ්‍ය අනුග්‍රහය ඇතිව තම පෞද්ගලික ජීවිතයේ අරමුණු මුඳුන් පමුණුවා ගැනීමට උත්සහ දරන්නට ඇති ප්‍රවණතාව ඉහළ යි.

ගීතයේ තවත් තැනක ඉසුරුමුණිය නිර්මාණය කළ කලාකරුවාගෙන් විමසන්නේ ඔහුගේ පෙම්වතිය පිළිබඳයි. එහි කියැවෙන අයුරින් ඔහු තවදුරටත් තනිකඩයි. ඒ කලාකරුවා ආදරය ප්‍රේමය පිළිබඳ වූ විශිෂ්ටතම නිර්මාණයක් සිදුකර තිබෙනවා. නමුත් ඔහු ආදරය ප්‍රේමය විඳිමින් සිටින බවක් සඳහන් වන්නේ නැහැ. කලාකරුවකුට ආදරය සහ ප්‍රේමය පටු සහ කොටු කළ හැඟීමක් නොවේ. ඔහු ලෝකය වෙත ප්‍රේමය නිරාවරණය කරමින් අතහැරීම පුහුණු කළ පුද්ගලයෙක්.

මේ ගීතය අහන දකින සෑම මොහොතකම ගීතය තුළ සිටින කලාකරුවා සහ සැබෑ ලෝකය තුළ සිටින කලාකරුවන් දෙස සංසන්දනාත්මකව බලන්නට මම පෙලඹෙනවා. ගීතයේ කියැවෙන ගැඹුරු භාවාත්මක, අතහැරීම පුහුණු කළ මනෝභාව සහිත කලාකරුවන් සැබෑ ලෝකය තුළ දකින්නට කොතරම් අපහසු දැයි මට සිතෙනවා.

සැබෑ කලාකරුවන් සහ කලාකරුවන් යැයි කියා ගන්නා බොල් චරිත අතර ඇති වෙනස මේ ගීතයෙහි වචන අතර ගැබ්වී තිබෙනවා. ඒ වෙනස නැවත නැවතත් අත් දකිමින් අදත් මම මේ ගීතය මට දැනෙන තැනක හිඳ විඳිනවා.”

දිල්රූ ජයසේකර
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top