ග්‍රීසියේ ඔලිම්පියාහිදී ආරම්භ වූ, ක්‍රි. පූ. 776 දක්වා ඈත ඉතිහාසයකට දිවෙන ඓතිහාසික ක්‍රීඩා සැණකෙලිය, වර්තමානයෙහි අප දකිනා ඔලිම්පික් උළෙල බවට පරිවර්තනය වන්නේ ක්‍රි. ව. 1896 දී වන අතර මෙවර ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන්නේ 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.
ඔලිම්පික් ඉතිහාසයේ මින් පෙර තෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම අත් හිටුවා ඇති අතර,
ප්‍රේක්ෂකයන් තිස් දහසකට අසුන් ගත හැකි ක්‍රීඩාගාරයක් පවා ඉදි කර තිබියදී 1916 දී ජර්මනියේ බර්ලින්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල නොපවත්වන්නේ පලමු වන ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙන්.
ඉන් පසුව 1920 සහ 1924 දී පිලිවෙලින් බෙල්ජියම සහ ප්‍රංශය සත්කාරකත්වය ඉසිලූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ජාර්මානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීම එම රටවල් මඟින් අත් හිටවූයේ, පලමුවන ලෝක යුද්ධය සඳහා මූලික වීමේ චෝදනාව ජර්මනියට එල්ල කරමින්.
ප්‍රථම වරට බටහිර රටක් නොවන සත්කාරක රට බවට පත් වෙමින් 1940 වර්ෂයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය උසුලන්නට ජපානයට අවස්ථාව ලැබුණත්, 1937 දී චීනය සමඟ යුධ ප්‍රකාශ කිරීම හේතුවෙන් සත්කාරකත්වයෙන් ජපානය ඉවත් කොට ෆින්ලන්තයේ හෙල්සිංකි නගරයට එය ලබා දුන් අතර, හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම හේතුවෙන් එම ඔලිම්පික් උළෙලත්, ජර්මනියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලත් නොපවත්වන්නට තීරණය කෙරුනා.
1944 දී එක්සත් රාජධානියෙහි ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මෙන්ම, ඉතාලියේදී පැවැත්වීමට නියමිත වූ ශීත සෘතු ඔලිම්පික් උළෙලද දෙවන ලෝක යුද්ධය හේතුවෙන්ම අත් හිටුවා දමන්නට සංවිධායකයින්ට සිදු වුණා.
මෙම අවස්ථා තුන හැරුණු කොට ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ වෙනත් කිසිඳු අවස්ථාවක් අත් හිටුවා නොමැති අතර,
2019 වසරේ දෙසැම්බර් සිට මේ දක්වාම ලොව පුරා COVID-19 වසංගතය පැතිරෙමින් තිබියදීත්, 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2020 වසරේ ජූලි 24 සිට එම වසරේ අගෝස්තු 9 වනදා දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් තීරණය කොට තිබුණත්, ක්‍රීඩා උළෙල කල් නොදමන්නේනම් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සහභාගී කරවීමෙන් වැලකී සිටින බවට 2020 මාර්තු මස 23 වෙනිදා කැනඩාව සහ ඕස්ට්‍රේලියාව විසින් නිවේදනය කිරීමත් සමඟම, එය කල් දැමීමට තරඟ සංවිධායකයන්ට සිදු වුණා.
එලෙස කල් දැමුණු 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල, නොහොත් TOKYO 2020 අති උත්කර්ෂවත් ඔලිම්පික් උළෙල, 2021 වසරේ ජූලි මස 23 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන්නේ ටෝකියෝ 2020 ලෙසින්මයි.
ප්‍රධාන ක්‍රීඩාංගණ ක්‍රීඩාංගණ හයක් සහ තවත් අති නවීන ක්‍රීඩාංගන රැසකදී ක්‍රීඩා 33 ක ඉසව් 339 ක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු බොහොමයක් මේ වන විට අවසන්ව ඇති අතර, ඉවත ලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරමින් මෙම ඉසව් සඳහා තරඟ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් නිපදවීම විශේෂත්වයක්. දීප ව්‍යාප්ත තරඟයකින් තෝරා ගනු ලැබූ නිර්මාණ යොදාගෙන මෙම පදක්කම් වල සැලසුම සකස් කරනු ලැබ ඇත්තේ Junichi Kawanishi විසින්. විශිෂ්ටත්වය කරා ලඟා වීමටනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය අරමුණු කොටගෙන දිනපතා උත්සාහවන්තව කටයුතු කල යුතු බව මෙම පදක්කම් වල මූලික සංකල්පය වී තිබෙනවා.
බලාපොරොත්තුව, අපගේ මඟ එලිය කරයි ( Hope Lights Our Way ) යන තේමාව ඔස්සේ මේ වන විට ඔලිම්පික් පන්දම මෙවර සැරි සරන්නේ ග්‍රීසිය සහ ජපානය තුල පමණයි.
රටවල් 189 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් මේ වන විට TOKYO 2020 සඳහා සුදුසුකම් සපුරාගෙන ඇති අතර, සුදුසුකම් සපුරා නොගත්තද රටවල් 206 කට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ඔලිම්පික් උළෙල සඳහා ඉදිරිපත් කිරීමට අවකාශ හිමි වෙනවා.
TOKYO 2020 සමඟින් ජපානය, දෙවරක් ඔලිම්පික් සත්කාරකත්වය ඉසිලූ පලමු ආසියාතික රට බවටද, ටෝකියෝ නගරය දෙවරක් ඔලිම්පික් සත්කාරකත්වය ඉසිලූ පලමු ආසියාතික නගරය බවටද ඉතිහාසගත වනවා.
සියලුම බාධක මධ්‍යයෙහි, ඉතා සාර්ථකව ඉතිහාසගත 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ටෝකියෝ නගරය මේ වන විට සූදානමින් සිටින අතරම, ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සහ ක්‍රීඩාලෝලීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම අත් දැකීම විඳ ගනු වස් නොඉවසිලිමත්ව බලා සිටිනවා.
තුසිත වීරසිංහ