දෑස් පෑදුවා. ඇස්දෙක වාගෙ බාලාගන්නවා. ඇහේ බබා වාගෙ රැක ගන්නවා. ඉන් ඇඟවෙන්නෙ සිරුරේ ඇති වටිනාම ඉන්ද්රිය ඇස බවයි. මෙලොව එළිය දුටුවා. ඒ අනුව දිවිය පටන් ගැනීම සනිටුහන් වන්නේ ඇස් දෙකෙන් ය. අවසානයේ ඇහැ පියා ගත්තා. ඉන් කියවෙන්නේ දිවිය කෙළවර වීම සනිටුහන් වන්නේද දෙඇස් පියවීමෙන් බවයි. එහෙත් එය එසේද? ඇහැ පියවීමෙන් හෝ දෘෂ්‍ය සංඥා ලබා ගැනීම නිමාවීමෙන් පසු කෙනෙකුගේ දිවිය කෙළවර වන බව බාහිර පුද්ගලයින් විසින් නිර්ණය කළද, විනිශ්චය කළද, එය එසේමද? එය එසේ බව කියන්නේ එලොව ගොස් ඒ අත්දැකීම ලබා ගත් අය නොව මෙලොව ඒ වනවිට සිටින අය ය. අප නින්ද අපේක්ෂාවෙන් සයනයක දෑස් පියාගෙන කෙතරම් සිටියද එය නින්දක් නොවේ. විවරව ඇති සවන් තුළින් අප වෙතට ගලා එන අවසාන සංඥාව දක්වා අප සිටින්නේ නොනින්දේය. මෙලොවින් එලොව වෙත ගමන් කිරීමේ තීරණාත්මක අවසරය වන නිහඬතාවේ අවසන් සංඥාව කෙනෙකුන් වෙත ලබා දෙන්නේ දෙසවනයි. එමෙන්ම ගැඹුරු නින්දේ සිටින කෙනෙකුගේ දෑස් වෙන අයෙක් සීරුවෙන් විවර කළද නින්දෙන් අවදි නොවේ. එහෙත් ශබ්ද කොට අවදිකළ හැක. එසේ නම් දෙසවන කෙතරම් ප්‍රබල සහ තීරණාත්මක භූමිකාවක් බාරව සිටිනවාද?
දෘෂ්‍ය මාධ්‍යයන් කොතෙකුත් වර්ණවත්ව හැඩ වී රසික සිත් ආක්‍රමණය කරන්නට තැත් කළද, එය ශ්‍රව්‍ය මාධ්‍යයට හිමි වපසරිය අතික්‍රමණය කරන්නට අසමත් ය. ශ්‍රව්‍ය මාධ්‍යයන් මගින් ශ්‍රාවක රසිකයින් තුළ මැවීමට සමත් චිත්තරූපයන්ගේ භාවමය පරාසය හමුවේ දෘෂ්‍ය මාධ්‍ය ප්‍රාථමිකය. දෘෂ්‍ය මාධ්‍යයන් තාක්ෂණය ඔස්සේ කෙතරම් දුරක් ගමන් කොට, කෙතරම් ඉන්ද්‍රජාල මවා පෑවත් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් රසිකයෙකුගේ මනස් තුළ සිදුකරන පරිකල්පනීය විෂ්මය වෙත ළඟා විය නොහැකි වී තිබේ. එනිසාම ගුවන්විදුලිය හෙවත් රේඩියෝව ඒ දෙසවන හරහා මානවයින්ට විවරවන සමාන්තර විශ්වයක් ලෙස හැඳින්විය හැක. වෑර්ලසය හෙවත් රේඩියෝව, කෙටි තරංග, මධ්‍යම තරංග, FM තරංග හරහා අද වන විට අන්තර්ජාලය දක්වා ඒ විෂ්මයජනක ශ්‍රව්‍ය මාධ්‍ය පරිනාමය වෙමින් පවතී.
ඒ පූර්විකාවත් සමග ඒ ගුවන්විදුලි ක්ෂේත්රය තුළ තමන්ටම අනන්‍ය වූ ස්ථාවරත්වයක් ක්‍රමානුකූලව ගොඩනගාගෙන, සීරුවෙන් සහ මනා සංයමයෙන් ලොව පුරා පැතිර සිටින ශ්‍රාවක මනස සහ හදවත තීව්ර ලෙස ආමන්ත්‍රණය කරමින් මෙම ඔක්තෝම්බර් මස 18 වන දින සිය අටවන සංවත්සරය ස්මරණය කරන “සියහඬ රේඩියෝවේ” එදා මෙදා තුර ගමන් මග ගැනයි මේ සටහන.
මුහුණු පොතේ (facebook) සඳැස් කවියේ මහ ගෙදර වූ “සඳස කවි පිටුව” නිර්මාතෘ හේමදාස ලියනගේ මහත්මාගේ අදහසකට අනුව අනුෂා නිලන්තිකා මහත්මියගේ සභාපතිත්වයෙන් කවිය සහ කවියා වෙනුවෙන් වෙන් වුනු “සඳැස රේඩියෝව” ඇරඹෙනවා. ඉන් තෙමසකට පමණ පසු “සවන” ලෙසද ඉන් පසු අද ශ්රාවකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත් වී තිබෙන “සියහඬ” ලෙසද ලෙන්ගතු ගුවන්විදුලි මාධ්‍යයක් ලෙස රූපාන්ත්රනයට පත්වෙනවා.
ගොඩනැගුණු විවිධ බාධක මතින් විවිධ පැතිකඩ ආවාරණය කරමින් ඉදිරියට පැමිණි “සියහඬ රේඩියෝව” අද වනවිට තමාටම ආවේනික වන ස්වාධීන ගමන් මගක් සකසාගෙන ස්ථාවර වී තිබෙනවා. තම අභිමානවත් අටවන සංවත්සරයේදී මෙතෙක් ඒ ආ ගමන් මග පුරාවට සියහඩ හා එක්වුනු සහ විවිධ අයුරින් සහය වුනු ඒ අතීත සහෘද සම්පත්දායක දායිකාවන් සියහඬ සභාපතිනිය වන අනූෂා නිලන්තිකා මහත්මිය විසින් සිය සෙනෙහසත්, ගෞරවයත් පෙරදැරිව කෘතවේදීව සිහි කරනු ලබනවා.
මේ වන විට ඒ වැඩ සටහන් බොහෝ ප්‍රමාණයක් සියහඬ යූ ටියුබ් චැනලයේ (Siyahanda Radio Youtube Channel) ඒ ආ ගමන් මග රැඳි සොඳුරු මතක ලෙසින් සටහන්ව තිබෙනවා.
සියහඬ විධායක නිළධාරි සුදේශ් කරුණාතිලක මහත්මා විසින් ඉදිරිපත් කළ “සිහින තටාකය” ඒ අතරින් වැඩිම අසන්නන් පිරිසක් ශ්‍රවණය කළ වැඩ සටහනක් ලෙස වාර්තාගත වී තිබෙනවා.
බණ්ඩාර රාජපක්ෂ මහත්මා විසින් ඉදිරිපත් කරනු ලබන, “කවි සිතක් අද්දර” දැනට වැඩිම කොටස් ප්‍රමාණයක් දක්වා ගලා ගිය වැඩ සටහන ලෙස වාර්තාගතයි.
දවසේ සිතුවිල්ල, අහස් ගව්ව, කැටපත් පවුර, සියහඩ ටොප් ටෙන් සියහඩ ආ ගමන් මග වර්ණවත් කළ වැඩ සටහන් අතර සනිටුහන් වෙනවා.
සියහඬ වර්තමාන වැඩ සටහන් අධ්‍යක්ෂිකාව ජානි වසන්ති මෙනවියගේ සම්ප්රාප්තියද සමඟින් තාරුණයේ රිද්මයද කැටි කර ගෙන නවමු මානයන් වෙත ප්රවේශයන් ලබා ගනිමින් අභියෝගාත්මක ඉසව් ඉව කරමින් සියහඬ අතු ඉති නවමු තලයන් වෙත ලියලමින් තිබෙනවා. වසරක කාල සීමාව තුළ බොහෝ සම්පත්දායක දායිකාවන් පිරිසක් ඒකරාශි කරගෙන, එකමුතුව ඉතාම සංවිධානාත්මකව වැඩ සටහන් ගණනාවක ඒ අතු ඉති දළු ලන අයුරු ආදරය, සෙනෙහස, සතුට පිරි ගෞරවයෙන් සියහඬ සිහිපත් කරන බව සභාපතිනිය පවසන්නේ සිය ප්‍රණාමයද පුද කරමින් ය.
සියහඬ රඟමඬල, මධුර ගී නිම්නය, සුදු පරෙවි රෑණ, දැයට පිපෙන මල්, දයාවේ සිහිලස, පොතක් ගැන වතක්, කවිකාර සිත් අහස, අරුම උරුම, අත්වැල, හදවතේ රිද්මය, සඳස, සුන්දර ගම අන්දර, ආදරණිය බොලිවුඩ්, නූර්ති ගීතා, මියැසි අසපුව, හදසක්මන, සිතක රැඳි මතක පද, ලිහිනි කොදෙව්ව, සඳහම් මණ්ඩපය, කතන්දර පිටුව, රන් දිය දහරා, පද්ම ප්‍රභා, ජපන් බස උගනිමු, පින්න මතක අඩවිය, වර්තමානයේ විකාශනය වන වැඩසටහන් වේ.
නවමු අත් හදා බැලීම් ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය කලාවටද සියහඬ අතතබා තිබෙනවා. ඉශූ එස් වීරවර්ණ ලේඛිකාව විසින් රචිත “පිච්චමලී” නවකතාවද, දිස්නා සේනානායක ලේඛිකාව විසින් රචිත “නුඹ මගේමයි” නවකතාවද,මේ දිනවල විකාශනය වන සුජීව ක්‍රිෂන්ත ගමගේ විසින් රචනා කරන ජානි වසන්ති අධ්‍යක්ෂණය කරන සදාහරිත ඉඩෝර සිහිනය – ”සත්තසත්” ශ්‍රව්‍ය නාට්‍යයන් සියහඬේ පර්යේෂණාත්මක නිෂ්පාදනය ය. මෙතෙක් පැවති ගුවන් විදුලි නාට්‍ය කලාව “සයිබර් නාට්‍ය” ලෙසින් නව මානයක් වෙත අනුවර්තන වීමේ පර්යේෂණාත්මක ව්‍යායාමයක් ඒ තුළින් සිදුවුණා. ඒ හරහා නවක ශිල්පීන් ගණනාවක් හඬ රංගන ක්ෂේත්රයට හඳුන්වා දීමට සමත් වූ බව සියහඬ සිහිපත් කරන්නේ ඉමහත් තෘප්තියෙනි.
මෙලෙසින් මාධ්‍ය ක්ෂේත්රයේ අත්පොත් තබන නවකයින් හට මෙන්ම ප්රවීනයින් හට කණ්ඩායමක් ලෙස එක්ව විවිධ වූ අභ්‍යාසයන්හි නිරත වෙමින් විවිධ පර්යේෂණයන්හි ප්‍රායෝගිකව නියැලී මාධ්‍ය කෙතේ සරු බීජ වපුරා, එහි රස ගුණ පිරි අස්වනු ලොවපුරා පැතිර ඇති සහෘද ශ්‍රාවක සමූහයට සෙනෙනසින් පිරිනමන්නට ඇවසි නිදහස, ඉඩකඩ සහ පහසුකම් සපයන සරසවියක් වූ අන්තර්ජාලයේ සොඳුරු නිවහන, ලෙන්ගතු සියහඬට අභියෝගාත්මක නවමු සාර ඉසව් සොයාගෙන නොනවතින, අභිමානවත්, ජයග්‍රාහී ඉදිරි මාධ්‍ය චාරිකාවකට ලියම්කරු ආසිරි පතනවා!
සුජීව ක්‍රිෂන්ත ගමගේ