ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික ශක්තීන් දියුණු කරන යෝගී දර්ශනය

යෝගීවරුන්, යෝගී ව්‍යායාම, යෝගී අභ්‍යාස, යෝගී දර්ශනය ආදිය පිළිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. සැබැවින්ම යෝග යනු කුමක්ද? අපි ගවේෂණය කළයුතු දෙයකි.

යෝග යන්නට පාලි හා සංස්කෘත භාෂාවල නොයෙක් අර්ථයන් ප‍්‍රකාශිතය. යෝග යන්නට භාවනාව යන අර්ථයද ගෙනදේ. උපනිෂද් යුගයේ බ‍්‍රහ්මත්වය හා ඒකාත්මිකවීමේ අර්ථය පැවසීමට යෝග ශබ්දය ව්‍යවහාර වූ බව පෙනෙයි. මීට අමතරව යෝගියා ලෙස තාපසතුමා, උග‍්‍ර භාවනා කරන්නා යන අර්ථයද යෝගීශ්වර ලෙසින් බුදුරජාණන් වහන්සේව හැඳින්වීමටද භාවිත කොට ඇත. එමෙන්ම යෝග යන්න අභ්‍යාස ක‍්‍රමයක් ලෙසද සැලකේ. නූතන සමාජයේ එය ව්‍යායාම ක‍්‍රමයක් ලෙස හැඳින්වූවද සැබැවින්ම එය විශිෂ්ට අභ්‍යාස ක‍්‍රමයකි. ශාරීරික, මානසික, ආධ්‍යාත්මික ශක්තීන් දියුණු කිරීමට හැකි යාහැකි කි‍්‍රයාදාමයකි.

අතිලෝකෝත්තර ධර්මයක් දේශනා කළ බුදුපියාණන් වහන්සේද ආරෝග්‍යා පරමාලාභා හෙවත් නීරෝගී කම උතුම්ලාභයක් ලෙස සලකා උන්වහන්සේද වජ‍්‍රාසන ආදියේ යෙදුණු සේක. නිදිනැත්තාට නින්දද පියකරු නැත්තාට පියකරුභාවයද දුර්වලයාට ශක්තියද ගෙන දෙන අභ්‍යාස ක‍්‍රමයකි මෙය. ඈත අතීතයේ සිට එන ගැඹුරු ධර්මතාවයක්ද එහි පවතී. යෝගවල ආසනයන් පැවැතියද යෝග යනු ආසනම නොවේ.

ව්‍යායාමයකින් යෝග අභ්‍යාස වෙනස්වනුයේ, ව්‍යායාමයක් අපට ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයෙන් එය කළ හැකි නිසාවෙනි. පන්තියකට ගොස් භෞතචිකිත්සක ක‍්‍රම පිසිකල් ටේ‍්‍රනින් උගත හැකිය. ව්‍යායාමයක් යුරෝපීය විදියට හැදිච්ච ක‍්‍රමවේදයක්. යෝග විද්‍යාව නැතිනම් යෝග අභ්‍යාස වෙන්කරලා ගත්විට එය බොහොම අභ්‍යන්තරික ප‍්‍රඥාවට යන පංචකෝෂමය ක‍්‍රමවේද ගණනාවක් එහි අන්තර්ගතය. ආහාරමය කෝෂ, ප‍්‍රාණකෝෂ, විඤ්ඤාණකෝෂ, මනෝකෝෂ ආදිය එහි පවතී. මූලාධාර චක‍්‍රය, මනිපුරී චක‍්‍රය ආදී චක‍්‍රස්ද එහි පවතී. කුණ්ඩලිණී ශක්තිය, යන්ත‍්‍ර, මන්ත‍්‍ර තන්ත‍්‍ර ආදී වශයෙන් ව්‍යායාම පද්ධතියකින් බැහැරවගත් කල පුළුල්වූත් පෘථුලවුත් පරාසයක් යෝග අභ්‍යාසවල පවතී. සද්ධර්මයක් එහි පවතී. ඒ ධර්මය තුළ මහා දර්ශනයක් යෝග විද්‍යාවක් යෝග තුළ පවතී. යෝග ආහාර, අන්තෝශුද්ධි, මනෝශුද්ධි, කායෝශුද්ධි ආදී විවිධ නම් වලින් එන පෙරදිග මහා විශාල චින්තනයක් එහි පවතී. මහා භාරතයේ හිමාලයේ හිත දියුණු කරපු අධිගමයන් ලබපු ලෝකෝත්තර තත්ත්වයට පත්වෙච්ච අය අදටත් සිටිති.

යෝග දර්ශනයේ ඉගැන්වෙන මුඛ්‍ය සිද්ධාන්තය ලෙස සැලකෙන්නේ කෛවල්‍ය හෙවත් මෝක්ෂයයි. ඒ සඳහා යෝග දර්ශනයෙහි විමසා බැලිය යුතු කරුණු සතරක් විද්‍යාමානයි. ඒ දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන සතරයි. හුදෙක් මේ කරුණු සතර බුදුසමයෙහි ඉගැන්වෙන චතුර්ආර්යසත්‍යය සිද්ධාන්තයට සමාන බව පෙනේ. යෝග දර්ශනයෙහි දැක්වෙන සිද්ධාන්ත සතරින් දුක යන්නට හේය, යයිද දුක ඇතිවීමේ හේතුව හේය හේතුව යයිද, දුක නැති කිරීම හානි යයිද දුක නැති කිරීමේ මාර්ගයට හානෝපාය යයිද සඳහන් වේ.

මේ යෝග දර්ශනයෙහි ධ්‍යාන, සමාපත්ති, අභිඥා, වසීනා යන කරුණු කිහිපයක් පිළිබඳවද සඳහන් වෙයි. බුදුසමයෙහිද එම කරුණු පිළිබඳව නිරවුල් ඉගැන්වීමක් කරනු ඇත.

මීළඟට අපි යෝග දර්ශනයෙහි ඉගැන්වෙන සංසාර චක‍්‍රය පිළිබඳ සලකා බලමු. එය කරුණු සයකින් සමන්විතය. ඒ ධර්ම, අධර්ම, සුඛ, දුක්ඛ, රාග, ද්වේෂ යන සයයි. සැපදුක් හේතුකොට ගෙන රාග, ද්වේශ දෙක ඇති වෙයි. රාග ද්වේෂ දෙක හේතු කොටගෙන නැවත ධර්ම අධර්ම දෙක ඇති වෙයි. එයින් මෙම අර සය එක් විටෙක හේතුව වෙමින්ද තවත් විටෙක ඵල වෙමින්ද මෙලෙස සත්වයා සසරෙහි උපදවන බව යෝග දර්ශනයෙහි උගන්වන සංසාරයයි. තවද බෞද්ධ දර්ශනයේ එන අභිඥාවන්ට සමපාතවන්නාවූ අභිඥාවන් කිහිපයක්ද යෝග දර්ශනයේ දැක්වේ. බෞද්ධ දර්ශනයෙහි අභිඥා යන්නෙන් හඳුන්වන්නේ ධ්‍යානයෙන් ලැබිය හැකි බල විශේෂයකි. ධ්‍යාන ලද පමණින් අභිඥා ලද නොහැකිය. ඒ සඳහා ධ්‍යාන බලයද උපයෝගී කොට ප‍්‍රයත්න කළ යුතුය. එසේ ප‍්‍රයත්න කිරීමෙන් ලැබිය හැකි ලෞකික අභිඥා පසකි. සෘද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේනිවාසානුස්සති සහ දිබ්බ චක්ඛු එම අභිඥා පසයි. යෝග දර්ශනයේදී මීට සමාන අභිඥා පහක් දක්වන අතර ඒවා හඳුන්වනුයේ සෘද්ධි නාමයෙනි. එසේම එය විභූති නාමයෙන්ද හඳුන්වනු ලබයි. දිබ්බ සෝත සිද්ධිය, පරචිත්ත සිද්ධිය, පුබ්බේ නිවාසානුස්මෘත සිද්ධිය, දිව්‍ය චක්‍ෂුරභිඥ සිද්ධිය ලෙසින් එය හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් මෙම සිද්ධීන් පිළිබඳ යෝග දර්ශනයෙහි සඳහන් වන්නේ ජන්මයෙන් බවත් ඖෂධයෙන් තපසින් සහ සමාධියෙන් මෙය ලැබිය හැකි බවයි.

මීට අමතරව යෝගාචාරි දර්ශනය නමින් වෙනම දර්ශනයක්ද පැවැතුණි. යෝගයත් ආචාරයත් කේන්ද්‍රස්ථ කරගෙන පහළ වූ මේ දර්ශනය යෝගාවචාරී දර්ශනය නමින් හැඳින්වේ. මෙහි ‘‘යෝග’’ යන්නෙන් අදහස් කෙරෙන්නේ සම්‍යක් මනසිකාරයෙන් යුතුව සත්‍ය සෙවීමයි. ආචාරය යන්නෙන් අදහස් කෙරෙනුයේ ගුරුවරුන් වෙතින් උගත් දෑ වෙනස් නොකොට ඒ ආකාරයෙන්ම පිළිගැනීමයි. එබැවින් මේ සංකල්පයන් දෙක පිළිගත්තෝ යෝගාවචාරීහු නමින් ප‍්‍රචලිත වූහ. ආචාර්ය අසංග පාදයන් මේ දර්ශනයෙහි කතෘවරයාණන් ලෙස සැලකේ. මෙතුමා මෛත‍්‍රීනාථ නම් ප‍්‍රකට පඬිවරයෙකුගේ ශිෂ්‍යයෙකුව සිටි බැව් සඳහන් වේ. හුදෙක් පරම විඤ්ඤාණවාදීන් වූ යෝගාවචාරීහු විඤ්ඤාණයෙහි විiමානත්වය ති‍්‍රවිධ වූ විඤ්ඤාණයකින් උගන්වයි.

ප‍්‍රවෘත්ති විඤ්ඤාණය

මනන විඤ්ඤාණය

ආලය විඤ්ඤාණය යනු එම තුනයි.

යෝගයනු ආසනම නොවේ. ආසන යනු යෝගවල එක කොටසක් බැව් උක්ත කරුණු වලින් සනාථ වනු ඇත. පද්මාසන, විරාසන, සදාසන, වජ‍්‍රාසන, ධනුරාසන, මයුරාසන ආදී ආසනවිධි ගණනාවක්ද යෝග අභ්‍යාසවල ප‍්‍රචලිතය. හින්දු ප‍්‍රතිමාකරණයේද ආසන 11 ක් පිළිබඳ සඳහන් වේ.

පද්මාසනය

පද්මාසන යන්නෙහි අදහස පද්මයක් හෙවත් නෙළුමක් ආධාරයෙන් හිඳගෙන සිටීමයි. මෙය ධ්‍යාන ආසන, කමලාසන නමින් ද හඳුන්වයි. දණහිස් නමා පතුල් උඩු අතට සිටින සේ දකුණු පාදය වම් කලවා උඩිනුත් වම්පාදය දකුණු කලවා උඩිනුත් සිටින අයුරින් හිඳීම පද්මාසනය ලෙසින් හඳුන්වයි. මෙය බුද්ධ ප‍්‍රතිමාවල මෙන්ම තීර්ථාකර (ජෛන) හා හින්දු දේව ප‍්‍රතිමාවල ද ජනපි‍්‍රය ආසනයකි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය වැඩ සිටින ආකාරය දැක්වීමට කලාකරුවා මෙය උචිත ලෙස සලකන්නකි. ලක්දිව මෙම ප‍්‍රතිමා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සියම/ඉන්දුනීසියාව/ චීන ටිබෙට් රටවල මෙය බෙහෙවින් ජනපි‍්‍රය වේ.

විරාසනය

විරාසනයේ ලක්ෂණය වන්නේ දණහිසින් නැමූ පාවල කලවා එකට තැබූ විට වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු පාදය වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිඳ ගැනීම විරාසන ක‍්‍රමයයි.

ආචාර්ය ගොපිනාත් රාවෝ මහතා පවසන්නේ ආසනයක හිඳගෙන දකුණු පාදය ආසනයෙන් පහළටත් වම් පාදය නවා කලවා සම්බන්ධ වනසේ හරහට නමා සිටීම විරාසන ක‍්‍රමය බවයි.

මෙය සුඛාසනය ලෙසත් හැඳින්වේ. ලක්දිව ප‍්‍රතිමාකරණයේදී කලාකරුවන් අතර ජනපි‍්‍රය වී ඇත්තේ ද මේ ක‍්‍රමයයි.

අනුරාධපුර, පොළොන්නරුව, ගල්විහාරය, තොළුවිල ආදී හිඳි ප‍්‍රතිමා නෙළා ඇත්තේ විරාසන ක‍්‍රමයටයි.

භද්‍රාසන

භද්‍රාසන යන්නේ අදහස සුබ ආසනය යන්නයි. තරමක් උසට තනන ලද ආසනයක වාඩි වී කලවා දෙපසට විහිඳුවා ආසනයෙන් පහතට වැටෙන පාදෙක පීටයක් මත සිටින අයුරින් තිබීම භද්‍රාසනයයි.

මෙය යුරෝපීය ක‍්‍රමයට හිඳ ගැනීම කියා නූතන විචාරකයන් හඳුන්වයි. මෙහි පැරණිතම ප‍්‍රතිමාවක් භාරතයේ දක්නට ලැබෙන්නේ කි‍්‍ර.ව. 5 වන සියවසට පමණ අයත් අජන්තා චෛත්‍ය ගෘහයේදීය.

වජ‍්‍රාසනය

වජ‍්‍රයනු දියමන්තියයි. එය දීප්තියේද සංකේතයි. වෛදික යුගයේ වජ‍්‍රය ඉන්ද්‍රගේ සංකේතයයි. වජ‍්‍රාසනය බුද්ධ ප‍්‍රතිමාවලට ද සම්බන්ධ වී ඇත්තේ මහායානයේ බලපෑම නිසාය.

දණහිස නමා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙඅත්ල තබා සිටීම මෙහිදී සිදු කරයි. මෙය බෙහෙවින් පද්මාසනයට සමානය. දැඩි අධිෂ්ඨානය සත්‍යාවබෝධය බෝමැඩට පිටදී සිටින ආකාරය බුද්ධ ප‍්‍රතිමාවලින් ප‍්‍රදර්ශනය කෙරේ.

මෙකී ආසනවලට අමතර තවත් ආසන ගණනාවක් යෝග අභ්‍යාසවලට පවතී. පසුකාලීනව යුරෝපයට ගිය මේ යෝග විද්‍යාව විවිධ නම්වලින් වැඩි දියුණු විය. මෙම යෝගී අභ්‍යාස ක‍්‍රමයන්ට නිසි ඇඳුමක් පැවති අතර එකී අභ්‍යාස කරනවුන් ගන්නා ආහාරයන් ද පැවතුනි. ඔවුන් නිර්මාංශික වේ. පාපයෙන් මිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සොබාදහමට සමීප ජීවිතයක් ගත කළ අයයි ඔවුන්. බොහොම පිරිසිදුවට සිටි සොබා සෙ ෟන්දර්යෙන් පිරි පරිසරයක පූජනීය ලෙස සිදුකරන කි‍්‍රයාදාමයකි යෝග අභ්‍යාසයන්.

භක්තියෝග/කර්මයෝග ආදී ලෙස යෝග උපායන් මෙන්ම විඤ්ඤාණ බහිරවී සූත‍්‍රය ආදී සූත‍්‍රයන්ද එහි පවතී. එලෙස ආධ්‍යාත්මික අභ්‍යාස කළ පෙරදිග චින්තනයක් දර්ශනයක් එහි අන්තර්ගතය. සාම්ප‍්‍රදායිකව පැවැති එම ක‍්‍රමවේදයේ මූලධර්මයන්ට අනුව කටයුතු කිරීමෙන් අවශ්‍ය ප‍්‍රතිඵල අත්කරගත හැක. ඉහතින් දැක්වූ පරිදි

යෝගීවරයෙකු යනු ඉතා සුපසන් ජීවිතයක් ගත කරන උතුමෙකි. නිරෝගීකම, නම්‍යශීලීත්වය, චිත්ත ඒකාග‍්‍රතාවය ආදී ප‍්‍රතිඵලයන් ගණනාවක් මෙමඟින් ලද හැකියි. යෝග විද්‍යාවේ සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු පවතී. එලෙසම යෝග වගේම ආයෝග්‍යයන්ද පවතී. සංයෝග සුසංයෝග වගේම යෝග විද්‍යාවේ අභ්‍යාස කළ යුතු විශාල ධර්මතාවයක් පවතී. එමෙන්ම සෘග්වේද, යජුර්වේද, සාමන්වේද, අතර්වන්වේද, ආයුර්වේද ආදියද පෙරදිග චින්තනයන් යෝග විද්‍යාව මෙන් අන්තඃඥාණයට සම්බන්ධ විශ්වයේ තිබෙන විශාල රහස් සොයා ගත්තු අයවලූන් ලෙස යෝගිවරුන් හඳුන්වයි. මෙම අභ්‍යාස ක‍්‍රමයන් පුරුදු පුහුණු කිරීමට ශිෂ්‍යයෙක් තුළ මූලික වශයෙන් දැඩි උවමනාව හෙවත් භක්තිය භක්තියෝගය පැවැතිය යුතුය. එමෙන්ම ගුරුවරුන්ද මේ පළමු මූලාධාරයන් පිළිබඳ යම් දැනුමක් පැවැතිය යුතුය. එම ශික්‍ෂාව දෙන්න තමන් සුදුස්සෙකු විය යුතු අතර නැවත නැවත අභ්‍යාසයන් ප‍්‍රගුණ කළ යුතුය. අනුගමනය කළ යුතුය. සැම විටම සැමදාම ඔහු ගුරුවරයකු එමෙන්ම ශිෂ්‍යයකු විය යුතුය. ඔහු ප‍්‍රායෝගිකව මේ අභ්‍යාසයන් ප‍්‍රගුණ කළ සත් ගුරුවරයකු විය යුතුය. නියම අභ්‍යාස ක‍්‍රමයකට යම්කිසි ශිෂ්‍යයකු ලක්වූ විට ඔහු මෙය භක්තියෙන් වැළඳ ගනී. මේ තුළ පවතින මහා ප‍්‍රඥාව ඔහු විසින් දැන ගනී. විශ්වයේ තිබෙන අභිරහස් ඔහු විසින් අත්දකී. ඒ අනුව යෝග යනු වඩා පෘථුල මාතෘකාවකි. එහි මෙතෙකැයි කියා නිම කළ නොහැකි ගැඹුරක් දර්ශනයක් ඥානයක් ඒ තුළ පවතී.

krida123

මහාචාර්ය සාගර ගුණතිලක මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින්

සකස් කළේ රවිශාන් කුමාර

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top