වතුර නෑ… ලයිට් නෑ… ඇඳුමක් මාරුකරගන්නවත් තැනක් නෑ… තියෙන උණට මේක අතහරින්නත් බෑ… කොළඹින් පිටත රඟහල් ගැන රත්නා කියූ කතාව

අද රංගවේදිනියක්
කතාබහ- – රත්නා ලාලනී ජයකොඩි

පාසල් කාලය

මම මුලින්ම ගියේ සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට. මට අයියල දෙන්නෙකුයි අක්කල දෙන්නෙකුයි ඉන්නව. අපි හැමෝම පොඩි කාලෙ ඉඳන් කලාවට සම්බන්ධයි. 5 පන්තියෙන් පස්සෙ මට කොලොන්නාව බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් වෙන්න සිද්ධ වුණා. එතනදි පාසලේ පැවැත්වුණ සෑම කලා කටයුත්තකටම මගේ දායකත්වය ලබාදෙන්න පුළුවන් වුණා. ඒ අතරම 1975 වසරේ ළමා නාට්‍ය ශිල්පිණියක් විදිහට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

ප‍්‍රසිද්ධ වේදිකාවට

මම මුල් වරට ප‍්‍රසිද්ධ වේදිකාවට එන්නෙ බන්ධුල විතානගේ මහත්මයාගේ ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයෙන්. මේ අතර යොවුන් නාට්‍ය කණ්ඩායමේ උදිත ශ‍්‍රී ලාල්ගෙ ‘තිරිවානා අතරේ’ නාට්‍යයේ මම කළ ශ්‍යාමලීගේ චරිතයට ඒ අවුරුද්දෙ කුසලතා සහතිකයක් ලැබුණා. එතනදි මගේ අක්කා ගීතා කාන්ති ජයකොඩි, ටෝනි රණසිංහ, ආනන්ද වික‍්‍රමගේ, මානෙල් වානගුරු වගේ ප‍්‍රවීණයන්ගෙ ඇසුර ලබන්නට මට අවස්ථාව ලැබුණා.

සම්මානයට පාත‍්‍ර වෙයි

1982 වසරේ පැවැත් වුණ යොවුන් නාට්‍ය සම්මාන උළලෙදි සුනන්ද සිල්වා මහත්මයාගෙ ‘පාරාජිකා’ නාට්‍යයේ මම කළ චරිතයට හොඳම නිළිය සම්මානය හිමි වුණා. එතැන් පටන් සුගතපාද ද සිල්වා, ඩග්ලස් සිරිවර්ධන, ජයලත් මනෝරත්න, කපිලකුමාර කාලිංග, කේ. බී හේරත් වැනි අධ්‍යක්‍ෂවරුන් ගණනාවක් යටතේ වැඩකරන්න මට අවස්ථාව ලැබුණා.

සරච්චන්ද්‍රයන් මුණගැසෙයි

කේ. බී. හේරත් මහත්මයාගෙ මායා දේවී නාට්‍යයේ මම කළ චරිතයට ‘සාම’ නාට්‍ය උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. ඒක නරඹපු එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා එතුමාගෙ ‘මහාසාර’ නාට්‍යයේ නව නිෂ්පාදනයට මාව තෝරාගන්නවා. ඔය අතර යසෝදරා සරච්චන්ද්‍ර මහත්මිය විදේශගත වෙනව. එතනදි හිස් වුණ මනමේ කුමරියගේ චරිතය සරච්චන්ද්‍ර මහත්මයා මට භාර දෙන්නෙ හත් වන මනමේ කුමරිය විදිහට. ඒ වගේම පෙමතො ජායතී සොකො නාට්‍යයේ ස්වර්ණතිලකා චරිතය නිරූපණය කරන්නත් මට වාසනාව ලැබෙනව. මෙතන තිබුණෙ සුවිශේෂත්වය වෙන්නෙ සරච්චන්ද්‍ර මහත්මයා ජීවත්ව සිටියදීම මේ චරිත මට ලැබීම.

ගුරුහරුකම්

මුලින්ම මගේ අම්මා තාත්තා වගේම සහෝදර සහෝදරියන් මතක්කරන්න ඕන. ඒ වගේම කොලොන්නාව පාසලේ සංගීත ගුරුතුමියත් විශේෂයෙන් මතක්කරන්න ඕන. අද මම යම් තැනක ඉන්නවද ඒ තැනට එන්න එතුමිය තමයි මග පෙන්නුවෙ. මොකද කලාවට යොමුවෙනකොට පාසලේ වැඩකටයුතු අතපසු වෙනව. එතනදි ඇය තමයි මට කියා දුන්නෙ අනාගතය දිනන්න නම් කලාව විතරක් නොවෙයි අධ්‍යාපනයත් හරියාකාරව  ලබාගන්න ඕන කියල. ඒ වගේම ගුවන් විදුලියේ ආනන්ද සිරිසේන, ඇග්නස් සිරිසේන, මහින්ද අල්ගම, පියදාස රත්නසිංහ යන අයත් මගේ ගුරුවරුන් විදිහට ගෞරවයෙන් සිහිපත් කරනව.

වෘත්තියක් නොවුණ වේදිකාව

මම කවදාවත් මගේ වෘත්තිය විදිහට වේදිකාව සැලකුවේ නැහැ. මොකද පුංචි කාලෙ ඉඳන් මට ඕන වුණේ ගුරුවරියක් වෙන්න. ඒ අපේ ගුරුවරු දිහා බලල. අද වෙනකොට ඒ හීනය හැබෑවෙලා තියෙනව.

ගුරු වෘත්තියට

සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලලිතකලාවේදී උපාධිධාරිනියක් විදිහට පිටවුණ මට 1989 වසරේ අගෝස්තු මාසයේ 02 වැනිදා සෞන්දර්ය ගුරුවරියක් විදිහට පත්වීම් ලැබෙනව. අදටත් මම මගේ වෘත්තිය කරගෙන යන්නෙ ගොඩක් සතුටින්. විශ‍්‍රාම යන තුරු මම මගේ උපරිමයෙන් දරුවන් වෙනුවෙන් මගේ දැනුම බෙදා දෙනව.

ගෝලබාලයෝ

මගේ වෘත්තිය ජීවිතය තුළ මගෙන් පසු පරපුරක් වෙනුවෙන් සෑහෙන පිරිසකට මග පෙන්වල තියෙනවා. නළු නිළියො, අධ්‍යක්‍ෂවරු, අංගරචනා ශිල්පීන් ඒ අතර ඉන්නව. පිටරටවල ගියත් ඔවුන් මට මුණගැහෙනව. මේ වන විට තවත් එවැනිම පරපුරකට මග පෙන්වමින් ඉන්නවා.

අභියෝගය

ඇත්තටම අපිට ලැබෙන හැම චරිතයක්ම වගේ අපේ සැබෑ ජීවිතය නෙවෙයිනෙ. මට අභියෝගයකට තිබුණෙ කලින් වෙනත් ශිල්පීන් රඟදැක්වූ චරිත නිරූපණය කිරීමේදී ඒ ශිල්පියාගේ ඉදිරිපත් කිරීමට අසාධාරණයක් නොවෙන විදිහට චරිතය නිරූපණය කිරීම. එතනදි මම ගොඩක් පරිස්සම් වුණා.

අඩුපාඩු

කොළඹින් පිට නාට්‍ය සංවිධානය කිරීමේදි අපිට ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. රඟහල් ඉතා කුඩායි, අපිරිසිදුයි, වතුර නෑ, විදුලිය නෑ, ඇඳුම් මාරුකරගන්නවත් තැනක් නෑ. මේ මොන අඩුපාඩු තිබුණත් අපේ ඇඟ් තියෙන මොකක්දෝ උණක් නිසා මේක අතහරින්නත් බෑ.

ගැටලූවක්

පාසල් දරුවන්ගේ රසවින්දනය ගැන බලනකොට අපිට තියෙන්නෙ ලොකු කනගාටුවක්. දැන් ළමයි වේදිකා නාට්‍ය නොවෙයි ටීවී බලන්නෙත් නෑ. ඒ වෙනුවට ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා. අද දෙමව්පියන් පවා අසරණ වෙලා. අපේ දරුවන්ට නම් ෆෝන් එකක් අල්ලන්නවත් දෙන්නෙ නෑ කියපු දෙමව්පියන්ට මොන්ටිසෝරි දරුවට පවා දුරකතනයක් අරන් දෙන්න සිද්ධවෙලා.

සුරක්‍ෂිත වේදිකාවක්!

වර්තමාන තත්ත්වය ගැන බලද්දි වේදිකාව සුරක්‍ෂිතයි කියල කොහෙත්ම හිතන්න බෑ. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. කිසිම රජයකින් සහයක් නැතිව ශිල්පීන්ගේ සහ සංවිධායකවරුන්ගේ උනන්දුව නිසාම පවතින තැනක් බවට අද වේදිකාව පත්වෙලා.

අලූත් වැඩක්

කේ. බී. හේරත් මහත්මයාගෙ අලූත් නාට්‍යයකට ලෑස්ති වෙලා හිටියා. ඒක ගායනය, රංගනය සහ නර්තනය යන අංශ තුනම තියෙන අමුතු විදිහෙ චරිතයක්. නමුත් රටේ තත්ත්වයත් එක්ක හැමදේම වෙනස් වුණා. ළඟදි දවසක කතාකරල කිව්ව මාර්තු මාසය වෙනකොට ආයෙත් ඒ වැඩකටයුතු පටන්ගමු කියල.

මහේෂ් එදිරිසිංහ

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top