ලෝකය තනි යායක් කළ ගුරු තරුව – ප්‍රවීණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ දෙවන ගුණ සැමරුම නිමිත්තෙනි

‘පාසලේ නමින් ශිෂ්‍යයකු බැබළිය යුතු නැත. ශිෂ්‍යයකු විසින් පාසල බැබළවිය යුතු ය ලෙස පවසා තිබුණේ මෙරට කෘතහස්ත දේශපාලඥයකු වූූ ආචාර්ය සී. ඩබ්ලිවි. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතා‌ණෝ ය. මෙම සැමරුම් ලිපියට ප්‍රස්තුත කර ගනු ලැබූ ප්‍රවීණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ද තම උගත් පාසලේ නාමයෙන් බැබළුණේ නැත. ඔහු පාසල බැබළවීමට බොහෝ දේ ඉටු කළේය. ඒ කලා ලෝකය ද බබළවමිනි. “කන්ද උඩරට පුංචි සරසවිය” ලෙස ප්‍රකට පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය මනෝරත්නයන්ගේ කලා ලෝකයේ මුල්ම සරසවියයි. ඒ නිසා ඔහු බොහෝ අවස්ථාවල සිය පාසල් මාතාව අභිමානයෙන් සිහිපත් කිරීමට තරම් කෘතවේදී වූ කලාකරුවකු ද වේ.

 

පාසල් දිවියේ දී වේදිකා භූමිය කෙළිමඬලක් කරගනු ලැබූ මනෝරත්නයන් මුලින්ම නිර්මාණයකට දායකත්වය සැපයූවේ “අස්පගුඩුං” වේදිකා නාට්‍යයෙනි. ඒ නාට්‍ය තම පාසලේ ගුරුවරයකු වූ සුනිල් ශ්‍රියානන්දගේ නිෂ්පාදනයක් විය. “අස්පගුඩුං” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මනෝරත්නයන්ට එවක සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේදී හොඳම නළුවා වීමේ භාග්‍ය ද උදා විය. මනෝරත්නයන්ගේ ඊළඟ රඟමඩල වූයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. වර්ෂ 1966 වර්ෂයේ දී පේරාදෙණිය සරසවියට ඇතුළත් වූ ඔහුගේ භූමිකාව වඩාත් සුපුෂ්පිත වූයේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුරත් සමඟ නිර්මාණකරණයේ නියැළීමට ලැබීමෙනි. සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතී සෝකො, මනමේ, සිංහබාහු, මහාසාර, වෙස්සන්තර, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍ය තුළින් මනෝරත්නයන් වේදිකාවේ ඉහළටම පැමිණියේ ය..

විශ්වවිද්‍යාල ජීවිතය සම්පූර්ණ කළ මනෝරත්නයන් පසුව ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගේ දුන්න දුනු ගමුවේ, ආචාර්ය හෙන්රි ජයසේනගේ මකරා, තවත් උදෑසනක්, අහස් මාලිගා, ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල, මේඝ, අංගාරා ගඟ ගලා බසී, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පොකුරු වැස්ස, සොක්‍රටීස්, ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත්ගේ මායාදේවි, නාග ගුරුලා, ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිළෙති, රතු හැට්ටකාරි, නාට්‍ය නිෂ්පාදක කපිල කුමාර කාලිංගගේ නෙළුම් පොකුණ, රයිනෝසිරස්, ප්‍රවීණ සිනමාවේදියකු වූ ප්‍රසන්න විතානගේ ගේ ද්විත්ව වැනි වේදිකා නාට්‍යවල රංගනයේ යෙදී තිබේ.

වේදිකා නාට්‍ය රංගනයට පමණක් තම දක්ෂතා ලඝු කිරීමට නොසිතූ මනෝරත්නයන් නාට්‍ය නිෂ්පාදනයට ද උනන්දුව වී ඇත. සමාජ හා සංස්කෘතික දෙදරීම මෙන්ම එහි සොදාපාළුව පිළිබඳව එකිනෙකට වෙනස් සංකල්පනා ඔස්සේ ඔහු වේදිකා නාට්‍ය තනන්නට විය. ඔහු සෑම විටම සිතුවේ උසස් නිෂ්පාදනයකට උසස් සාහිත්‍ය පිටපතක් ද අවශ්‍ය වන බවයි. එමෙන්ම ඔහුගේ සෑම නිර්මාණයක්ම සංකීර්ණ නොවූ සරල තේමා බවට පත් වී තිබුණි. වර්ෂ 1993 දී නිර්මාණය කළ “අන්දරේලා” වේදිකා නාට්‍යය පිටපත වෙනුවෙන් වර්ෂ 1995 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. ඔහුගේ සෑම වේදිකා නාට්‍යකම නාටකීය ගුණයත් සමඟ සාහිත්‍යමය ලක්ෂණත් පැවතුණි. තල මල පිපිලා , ගුරු තරුව , සඳගිර, කනේරු මල් , ලෝකය තනි යායක් , පුත්‍ර සමාගම, මකරා , සුදුරෙදි හොරු , සෙල්ලම් නිරිඳු එවැනි නාට්‍ය නිර්මාණ කිහිපයකි.

මනෝරත්නයන්ගේ රිදී තිරයේ රංගනයට ද ඇත්තේ දිගු ඉතිහාසයකි. රිදී තිරයේ ඔහුගේ රංගන ශෛලිය සරල ස්වරූපයක් ගනු ලැබී ය. සෞම්‍ය විය. බැරෑරුම් නොවී ය. චරිත සඳහා ඔහුගේ මැදිහත් වීම් අපූර්වත්වයෙන් යුක්ත විය. වර්ෂ 1976 දී තිරගත වූ තිලක සහ තිලකා ඔහු මුලින්ම රංගනයෙන් දායක වූ චිත්‍රපටයයි. පසුව හඳයා, සිරිබෝ අයියා, මංගල තෑග්ග, උමයංගනා, සිසිල ගිනි ගනී, පුංචි සුරංගනාවී, සුදු කළුවර, හේරුණ්ඩ පක්ෂියා, සිරි රජසිරි, සූරිය අරණ, බඹර වළල්ල, හෝ ගානා පොකුණ සහ ගෝල් වැනි චිත්‍රපටි ගණනාවක එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින්, ඔහු දක්ෂ ලෙස රිදී තිරයේ ද රංගන කාර්යයයේ නිරත විය. ඊට අමතරව ඔහු පුංචි තිරයේ ඇබැද්දිය, බුමුතුරුණු, ගම්පෙරළිය, අරුංගල්, පස්සේ ගෙනා මනමාලි, සකිසඳ එළියස්, ඉරට හඬන මල්, ගජමන් නෝනා, සඳ අමාවකයි, රම්‍ය සුරම්‍ය සහ වලාකුළු වැනි ටෙලි නාට්‍ය ගණනාවකටද හේ රංගනයෙන් දායත්වය සපයා තිබේ.

පුරා දශක පහකට අධික කාලයක් ජයලත් මනෝරත්නයන් තම හැකියාවෙන් අපේ රටේ ප්‍රසාංගිත කලා සංස්කෘතියට ප්‍රදානය කළ දායත්වය අතිමහත් ය. එලෙසින්ම ඔහු ප්‍රසාංගික කලා සංස්කෘතිය පෝෂණය කළ සම්මානනීය සොඳුරු කලාකරුවෙක් ද වේ. එය ඔහුට ජීවිතයේ එක් වරක් පිරිනැමෙන නාට්‍ය කිර්ති සම්මානයත් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයත් හිමි කර ගැනීමට ද ප්‍රධන සාධකයක් විය.

අනුෂාද් වෙදගේ
සිළුමිණ – රසඳුන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top