දඹාන ආදිවාසිනායක වන්නිලැත්න්ගේ සදාදරණීය බිරිය වූ ඌරුවරිගේ හීන් මැණිකා පසුගියදා තම දිවිසැරිය නිමා කළාය. ඒ කලක් තිස්සේ පැවැති රෝගාබාධයන් හා හදිසියේම කොරෝනා වසංගතයට ද මුහුණ පෑමෙනි. ආගමට දහමට ලැදිව කටයුතු කළ, සතා සිවුපාවාට ආදරය කළ මස් මාළු කෑමෙන් ද වැළකී දැහැමි දිවියක් ගත කළ හීන්මැණිකා මාතාව රැහේ කාටත් ආදරය කරුණාව පෑවාය. දරුවන් අට දෙනෙකුගේ මාතාවක වූ ඇය දිවිගමන නිමා කරන විට හැට හතර වියෙහි පසුවිය. ඔහුට පමණක් පෙම් කළ ඔහුගේ දිවි මගෙහි සෙවණැල්ල වූ වන්නිලැත්තන්ට රැජනක් ම වූ ඈ යන්නම යන්න ගියාය.
දිනය හෝ අවුරුද්ද හරියටම මතක නැත. ඒ මා දඹාන ආදිවාසී ගම්මානයට ගිය තෙවන වතාවය. වැදිනායක දඹානේ වන්නිලැත්තන් එදින එහි නොසිටියේය. ආදිවාසි නායක ඇත්තන්ගේ බිරිය දැකීම සඳහා ගෙතුළට පිවිසියෙමි. ඇය සිටියේ යම් කාර්යයකය.
“කොහොමද අම්මේ? “
ඇය බොහෝ ළෙන්ගතුව හිනැහුණේ බොහෝ කාලයක් දන්නා හඳුනන අයුරුනි. ඇය බොහෝ නිහඬය. ඒ ගමනින් කාලයකට පසු 2018 වසරේ අප යළිත් ආදිවාසීනායක වන්නිලැත්තෝ හමුවන්නට දඹානට ගියෙමු. කලක් දඹාන පාසලේ සේවය කළ ආරියපාල රත්නායක සොයුරාද, අප ඡායාරූප ශිල්පි තුෂාර ප්‍රනාන්දු ද එක්විය. එදින ආදිවාසි නායක ඇත්තන් එහි සිටියේය. නමුදු ඔහුගේ බිරිඳ නොසිටියාය.
“ පහුගිය ටිකේ ඇය අසනීපෙන් හිටියේ. ඇත්ති දරුවකුගෙ ගෙදර ගිහින්. අද එයිද කියන්නත් බැහැ.“
නායක ඇත්තන් අපට දුන්නේ එවැනි උත්තරයකි. (ඇය කොයි මොහොතේ හෝ එහි පැමිණේ යැයි බලාපොරොත්තුව සිත යට සැඟ වී තිබිණි. ඒ බලාපොරොත්තුව ඇතිව අප වන්නිලැත්තන් සමඟ කතාබහ කළෙමු.
“කොහොම ද හීන් මැණිකෙ ව හමුවුණේ“
මා එසේ ඇසු විට වන්නිලැත්තන් මඳක් නිහඬ වුයේය.
මෙච්චර කාලෙකට කවුරුවත් මගෙන් ඔය ගැන අහලා නෑ. මං මේ පළවෙනි වතාවට තමයි මාධ්‍යයට ඇය ගැන කියන්නේ. “ ඔහු පැවැසුවේ මඳ සිනහවෙනි. ඔහු එදින අප හා බොහෝ තොරතුරු පැවැසීය. ඒ තමන්ගේ හා ඇගේ ජීවිත කතාව පිළිබඳය.
ඉකුත්දා කොරෝනා වයිරසයට ගොදුරුව මිය ගිය ඌරුවරිගේ හින්නිහාමි මාතාව (අවුරුදු 64) පිළිබඳ යළිත් මතකය අලුත් විය. ආදිවාසී නායක වන්නිලැත්තන් මෙන් නොව ඇය කවදත් බොහෝ නිහඬ, තැනැත්තියකි. නමුදු තම පරපුරේ නම්බූව ගෞරවය රැකීමට නිරතුරුවම කටයුතු කළ තැනැත්තියකි. මාස අටකට වැඩි කලක් තිස්සේ දැඩිසේ රෝගාතුරව සිටි හීන්මැණිකේ මාතාවට සැබැවින්ම සිදුවුයේ කුමක්දැයි කියා අප සැප්තැම්බර් 09 දින ආදිවාසි නායකඇත්තන්ගෙන් විමසූවෙමු.
“අම්මිලැත්තන් නැති වෙලා සිකුරාදා (08) දාට හත්දවස පිරෙනවා. ඇය වෙනුවෙන් කරන්න තියෙන පින්කම් අපි කරනවා. කාලයක් තිස්සේ අම්මිලැත්ති රෝගාතුර වෙලා සිටියේ. වකුගඩුවක් බද්ධ කළේ අවුරුදු දොළහකට විතර ඉස්සර. ඒ බද්ධ කළෙත් දුවගෙ වකුගඩුවක්. කොහොම වුණත් පහුගිය කාලයේ මයෙ නෑනී බොහෝ රෝගාතුර වුණා. මාස අටක් තිස්සේ ඇය එක්තැන් වෙලා හිටියේ. ඇයට රෝග ගොඩක් තිබුණා. පේරාදෙනිය රෝහලේ වෛද්‍ය ඇත්තෝ මට කිව්වා අම්මිලැත්තන්ගේ මොලේ වම් පැත්තේ ලේ කැටියක් සිරවෙලා කියලා. ඇයට අංශභාගය රෝගය වැලදී තිබුණා. මට දැනුණා මේවර නම් ඒ ඇත්තිට බේරුමක් නැති වෙන බව. කොරෝනා වයිරසයත් ඇයට වැලදී ඇති බව වෛද්‍යවරු කිව්වා. කොහොම වුණත් අවසානයේ ඇය අපට නැති වුණා. අපේ ඇත්තෝ බොහොමයක් නිරෝධායනය වෙලා හිටියේ. ඊයෙන් (බදාදා) නිරෝධායන කාලය ඉවරයි. කොරෝනා වයිරස තත්ත්වය නිසා ඇගේ අවසන් කටයුතු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කරන්නට සිදු වුණේ. මේ වෙලාවේ අපට ඒ ගැන හිතන්න සිදුවෙනවා. අපෙ දරුවෝ , ඒ ඇත්තිගෙ නංගි මේ හැමෝම ඒ ඇත්ති වෙනුවෙන් බොහෝ මහන්සි වුණා. දැන් සියල්ල සිදු වී ඉවරයි. මම මේ රටේ හැමෝටම කියන්නේ මේ වයිරසයෙන් අපි කවුරුත් පරිස්සම් විය යුතුයි කියලා. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා.“
වන්නිලැත්තන් පවසන්නට වූයේ බොහෝ කනගාටුවෙනි.
වන්නියලැත්තන් මෙළොව එළිය දුටුවේ එක්දහස් නවසිය හතළිස් හතේ ජුලි 14 වැනිදාය. නව දෙනෙකුගේන් යුතු පවුලේ ඔහු වැඩිමලාය. එකල රැහේ නායකයා වූ තම පියා එනම් තිසාහාමි හා මව වු ඌරු වරිගේ හිනි සමඟ කැලේ ගාටමින් ගෙවූ ජීවිතය ඔහුට කවදත් මිහිරක් විය. වයස අවුරුදු දහයක් තරමි වියේදි දඹාන පාසලට ඇතුළත් වුවද පාසල් යනවාට වඩා කැලේ යාමට උනන්දු වූ වන්නිලැත්තන් දවස් දෙක තුනකින් පාසල් ගමන අතහැර දැම්මේය.
“පොතින් පතින් ඉගෙන ගෙන ආචාර්ය මහාචාර්ය වුණාම එය එක තැනකට සීමා වෙනවා. මම පාසල් ගියේ නැහැ, ඉගෙන ගත්තේ නැහැ කියලා මට කවදාවත් දුකක් කනගාටුවක් තිබුණේ නැහැ. මම දැනුම ලබා ගත්තේ මහ කැලෑවෙන්. හීන් මැණිකා හමු වුණේ මට අවුරුදු තිහක් විතර කාලේ. ඒ කාලේ මම කැකුළියෝ එක්ක කතා කරන්න ලැජ්ජයි. මම දුංකොළ වවන වේළන තැනක වැඩ කළා. හීන් මැණිකෙත් එතැන වැඩ කළා. හීන් මැණිකෙගෙ අයියත් කැකුළියක් එක්ක යාළුවෙලා හිටියේ ඔය කාලේ. මම අයියාගේ උදව්වට යනවා ඒකාලේ. මම ඒ කාලේ හීන් මැණිකෙ එක්ක යාළුවෙලා හිටියේ නැහැ. අවුරුද්දකට විතර පස්සේ මම මගෙ හිතේ තියෙන දේ ගැන එයැයිට කිව්වා. එදා මට තේරුණා එයා මට කැමති බව. කොහොමෙන් හරි මාස හතරකට විතර පස්සේ මයෙ අප්පිලැත්තෝ මේ බව දැන ගෙන මට දොස් කිව්වා. අප්පිලැත්තෝ මගෙන් ඇහුවේ තමන්ට රස්සාවක් ගෙයක් තියෙනවද කියලා. මට හොඳටම බැන්නා. එදා මම ගෙදරින් ගියා. ඒ කාලේ තිබුණා ගොවි හමුදාව කියලා එකක්. මම එතැන වැඩට ගියා. මට තිබුණේ වැසිකිලි හදන්න වළවල් කපන්න. ඒ කාලේ එක වළක් කපනවට රුපියල් විසිපහක් ගෙවනවා. මම නතර වෙලා හිටියේ මගෙ බැණා කෙනෙක්ගේ සහෝදරියකගෙ ගෙදර. දවසක් බෑණා මට ඇවිත් කියනවා “මාමා ගෙදර යමු , නැත්නම් අප්පිලැත්තෝ මාව මරයි“ කියලා.
බෑණාට කරදරයක් වෙයි කියලා හිතලා එදා මම ගෙදර ගියා. මම ගෙදර ගියේ රෑ වෙලා. අම්මිලැත්තෝ දන්නවා මම ආව බව. පහුවදා උදේ අප්පිලැත්තෝ මට කතා කළා. “කැකුළි කැමති නම් අද දවස ඇතුළත එක්ක එන්න. මම කන්න අඳින්න දෙන්නම්“ අප්පිලැත්තෝ මට කිව්වා. ඒක මට ලොකු අභියෝගයක් වුණා. මම කල්පනා කර කර පාරේ යනකොට හීන් මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක එනවා. මම නැවතිලා එයාට අප්පිලැත්තන්ගේ කතාව කිව්වා. හීන් මැණිකේ එවලෙම මා එක්ක ආවා. අපි ගෙදර එනකොට අම්මිලැත්තෝ උයනවා. අපි දවල්ට කෑවා. අප්පිලැතතෝ හිතුවේ නෑ එයාගේ අභියෝගය මම බාරගනී කියලා.
කොහොම වුණත් එදා රෑ හීන් මැණිකෙගෙ අයියා පොල්ලකුත් අරගෙන අපේ ගෙදර ආවා මට ගහන්න . අම්මිලැත්තෝ එයාට කතා කරලා කන්න දුන්නා. ඉන් පස්සෙ අයියලැත්තෝ යන්න ගියේ අපට දැනමුතුකම් දීලා. මම පහුවදා ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න ගත්තා. මේ සියලු කටයුතු වලට හීන් මැණිකේ මට උදව් කළා. අපි බොහෝම හොඳින් ජිවත් වුණා. අප්පිලැත්තන්ගේ මරණයෙන් පස්සේ රැහේ නායකකම මට ලැබුණා.“
සතුටෙන් සැනසුමින් ගෙන ආ ඔවුන්ගේ ගමන පසුගියදා හීන්මැණිගේ අභාවයත් සමඟ නතර විණි. ඔහුට එය දරා ගත නොහැකි දුකකි.
“ඇය බොහෝම හොඳ කෙනෙක්. කවුරු මා ගැන මොනවා කිව්වත් එයාට මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය එක්ක තමයි ඇය මිය යනතුරුම ජීවත් වුණේ. ඇය කතා බහ කරන්නේ අඩුවෙන්. ඇය අකුරු සාත්තරේ දන්නේ නැහැ. සමාජයේ ඇවිදලා කරලා නැහැ. නමුත් ඇයට මා ගැන හොඳ අවබෝධයක් තිබුණා. යමක් කරන්න පෙර ඇය ඒ ගැන මා සමඟ කතා කරනවා.
මම යම් දෙයක් කරන්න පෙර ඇය සමඟ ඒ ගැන කියනවා. ඇතැම් දේ එයා එපා කියද්දි මම කරලා මට වැරදිලත් තියෙනවා. කාලෙකට පෙර ඇය විටින් විට අසනීප වුණා. ඇයට අපේ දුවගෙ වකුගඩුවක් තමයි බද්ධ කළේ. අපට දරුවෝ නව දෙනයි. එක දරුවෙක් නැති වුණා. මේ හැමෝම ඒගොල්ලන්ගේ අම්මිලැතිව හොඳින් බලා ගත්තා. ඒ ඇත්ති කිසිම කලබලයක් නැති කිසිවකුට වරදක් නොකළ කෙනෙක්.
අපි බොහොම සතුටින් හිටියා. ඒ සතුට මට තියෙනවා. ඇයට කොරෝනා වයිරසය වැලඳුනා තමයි. නමුත් ඇය මිය ගියේ ඒ වයිරසයෙන් නෙමෙයි; ඇයට තිබුණ වෙනත් අසනීප නිසා කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් අපි මේ සමාජ නීතින් වලට පිටින් යන්න ගියේ නෑ. ඇගේ අවසන් කටයුතු සිදු කළ යුතු හොඳම විදිහට කෙරුණා. “
වන්නිලැත්තන් පවසන්නේ දුක්බර හඬිනි.
“අපි බොහෝම විශ්වාසයෙන් ජීවත් වුණා. ඇගෙන් මට කවදාවත් හිත් රිදුමක් වෙලා නැහැ“
තමන් සමඟ ජීවිත බෙදාගත්, තම දරුවන්ගේ මව පිළිබද ආදිවාසි නායක වනස්පතී වන්නියලැත්තන් පවසන්නට වූයේ තමන් හා ජීවිතය බෙදා ගත් ඈ ගැන උපන් ආදරය කරුණාව, මෙන් අද දවසේදී සිතට දැනෙන දුක පෙරදැරිවය.
ඉනෝකා සමරවික්‍රම -සිළුමිණ