රාවණා උමගින් නිල් දිය පොකුණට

ඌව ඉතිහාසය මහා රහස් ප්‍රමාණයක් සඟවා ගත් ප්‍රදේශයකි. එම රහස් සදාකාලික ලෙසම වැළලී යාමට ඉඩ නොතබා සොබා දහම විසින්ම වරින් වර නිරාවරණය කරයි.සතර අතට විහිදී පැතිරෙමින් බිමකින් බිමක් සම්බන්ධ කළ ඌවේ භූ ගත උමං පද්ධතිය එවැන්නකි. මේ උමං පද්ධතිය පිළිබඳව විවිධාකාර මත පවතී. ප්‍රභූවරුන් වෙනුවෙන් අන්තඃපුර පවත්වාගෙන යනවිට ඔවුන් සඳහා අවශ්‍ය රහස් ප්‍රවේශයන් නිර්මාණය කර ගැනීම, ධනය සඟවා තැබීම, වූ සමාජයෙන් වහන් වී රහස් පණිවුඩ ගෙනයාම මෙන්ම සතුරන්ගෙන් බේරීමේ උපක්‍රම ලෙස උමං සාදන ලද බවට ප්‍රවාද පැනේ.

ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කරඳගොල්ලේ නිල් දිය පොකුණ පිහිටි උමගය. රාවණා ප්‍රවාදය මේ පෙදෙස හා බැඳී පවතී. එබැවින් මේ උමග ද රාවණා රජු විසින් කරන ලද්දක් බව ගම්මු විශ්වාස කරති.

නිල්දිය පොකුණ පිහිටි උමගට ප්‍රවේශ වීමේ අරමුණින් පුරා දිනක් නිදි වර්ජිතව ගමන් කරමින් සිටියෙමු. උමං පිවිසුම ඇත්තේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල කනිටු විදුහල අසලින් දිවෙන අඹදණ්ඩේගම පාර ඔස්සේ ආ විටය. කිලෝමීටර කිහිපයක ගමනකින් පසු ඒ උමං මඟ දැකිය හැකිය. එය පිහිටන්නේ පෞද්ගලික ඉඩමකය.

ඒ දැකුම මොහොතක් විඩාව නිවා දමයි. කණ්ඩායමේ සාමාජිකයෝ අමන්දානන්දයට පත්ව සිටිති. මේ ගමනේ දුෂ්කර බව අසා ඇත්තෙමි. එබැවින් මා නම් චකිතයෙනි. කෙසේ නමුදු වසර ගණනාවක බලාපොරොත්තුව මුඳුන් පමුණුවා ගැනීමෙ අරමුණින් පැමිණි ගමන අත් හළ හැකි නොවේ. මොහොතක් දෙනෙත් පියා ගතිමි. ළය පුරා ගත් සුසුමකින් අශුභවාදී හැඟීම් දුරු වී යනු දැනේ. උපදිනා විශ්වාසය පෙරදැරිව අපි ගමන ආරම්භ කළෙමු.

ඉදිරියෙන් ඇත්තේ වරකට එක් අයකු පමණක් බැසිය හැකි කුඩා විවරයකි. ඉන් එකා පසු පස එකා ලෙසින් බැසිය යුත්තේ සීරුවෙනි. උමගට බසින්නට ආධාරකයක් වූයේ ගසක මුලකට ගැට ගසන ලද කඹයකි. ඉඩමේ හිමිකරු මෙත්තානන්දය. ඔහු අපට මාර්ගෝපදේශකත්වය සපයයි. හිසේ රඳවාගත් විදුලි පන්දම් එළියෙන් අපි ඉදිරියට ගමන් කළෙමු. ගමනේ මුල් කොටස කුඩා බෑවුම් සහිත ප්‍රදේශයකි.

එබැවින් අපගේ ගමන සිදුවූයේ සීරුවෙනි. ඇතැම් ස්ථානවල දැඩි අඳුරකි. උමං මඟ තුළ සිසිලසක් දැනේ. ගමන අසීරු වුවද තෙහෙට්ටුවක් නොදැනෙන්නේ ඒ නිසා විය යුතුය. තරමක දුරක් පැමිණි සිටිමු. දැන් අප ඉදිරියේ ඇත්තේ ගල් දෙබොක්කාවකි. ඒ පටු විවරයෙන් ඇතුළු වීමට සිදුවන්නේ දිගෑදීය. විවරයෙන් ඇතුළු වූ අප ඉදිරියේ වන්නේ පැතිරුණු ඉඩ කඩකි. ඒ වපසරිය මවිත කරවන සුලුය. විසල් ශාලාවක් බඳු ඒ අවකාශය දෙස තිගැස්සුණු නෙතින් බලා හිඳිමි. ඒ දැකුම එතරම්ම මවිත කරවන සුලුය.

“මේක නම් අරුම පුදුම ගුහාවක්” අයෙක් පවසනු ඇසේ. වවුලන්, ලිහිණින් වැනි පක්ෂීන්ගේ වසුරු බිම පුරා විසිරී ඇත. ඒ බිම බෙ‍ෙහවින්ම ලිස්සන සුලුය.

උමං පියස්ස පහළට විහිදුණු විවිධ ප්‍රමාණයේ හිරි ලඹ වලින් යුතුය. එය කදිම දැකුමකි. ඒවා ඡායාරූප ගතනොකර ඉදිරියට යාමට මට සිත් නොදේ. ඒ නිමේෂයට කණ්ඩායම මා පසු කර ගොසිනි. ඔවුන්ගේ හිසේ රඳවාගෙන තිබූ විදුලි පන්දම් වල ආලෝකය ඈතින් පේළියට පෙනෙන්නේ කණා මැදිරි එළි ලෙසිනි. මඳකුදු පමා නොකොට ඉදිරියට ඇදුනෙමි.

මේ භූගත මඟේ හෝරා දෙකකට ආසන්න කාලයක් ගමන් කරමින් සිටියෙමු. ඒ කාලය තුළ කිලෝමීටර දෙකකට ආසන්න දුරක්ගෙවා දමන්නට ඇතැයි සිතේ. මේ මඟ කෙළවර ඒ චමත්කාරය හමුවනු ඇත. නිල් දිය පිරුණු මනරම් ජල තටාකය.. නිල් දිය පොකුණ… ඒ සුනිල දිය දහර අබියස අපි මොහොතක් ගොළු වී සිටියෙමු.

නිලට නිලේ දිලෙන ජල දහර ඒ පැහැය ලැබෙන්නේ පවිත්‍රත්වය නිසාය යැයි අසා තිබුණෙමි. අඬ අඳුරේ දකින මේ පැහැය පාෂාණවල ස්වභාවය හේතුවෙන් ඉපදුණ බවට වූ අදහසක් ද අපේම අයෙකුගෙන් මතු විය. පොකුණේ ජලය තරමක් ශීතලය. මම දිය දෝතක් ගෙන ඒ දෙස මොහොතක් බලා සිටියෙමි. වරෙක ඇසිපිය නොහෙළා නිල් දියෙන් පිරුණු පොකුණ අබියස දැහැන්ගත වූයෙමි. මේ සොබා දහමේ විශ්මය ලියා තැබිය හැකි නොවේ. මිනිසා සෑදූ සෑම මෙවලමක්ම මෙන් භාෂාව ද සොබා දහමේ යථාර්ථයට රූපණය කිරීමට තරම් පොහොසත් නොවන බැවිනි.

නිල් දිය පොකුණ අබියස හිඳ මඳ අඳුර මැද හාත් පස බලමි. හිත කඩා වැටෙන සෙයකි. මා දකින්නේ පොකුණට ආසන්නයේ විසිරුණු සබන් දවටන කිහිපයකි. තැනෙක සුළං විසිරී ගිය ටියුබයකි. මොවුන් මොන මිනිසුන් දැයි නොදනිමි. මෙතරම් නොදැමුණු කමක් කළ හැක්කන් ජීවිතය විඳින්නේ කෙසේ දැයි නොදැන විපිළිසරව සිටියෙමි.

ගොරහැඩි බිමෙහි පැමිණ අපවිත්‍ර සිරුරු සබන් ඇතුළු දූෂිත විෂ ගල්වා මේ දිය පැහැරීමට හැකි නොදැමුණු අර්ධ මිනිසුන්ට තවත් නොකළ හැක්කක් නොවන බව පමණක් ලියා තැබිය යුතුය. සමහර විට යුගාන්තරයක් මිනිස් පහසින් අපවිත්‍ර නොවූ නොයිඳුල් පරිසරයක් මොවුන් විසින් වනසමින් ඇති අයුරු එළඹි සිහියෙන් විඳ ගත හැකි නොවේ.

“සමාවෙන්න…“මම මටම මුමුණා ගතිමි.

ගයාන් තුදුස්ක
ඡායාරූප….විජයරත්නම් ගනේෂ් කුමාර්
සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top