ගඟක් වුව නිසසලව තාලෙන් නංවමින් මුදු සුමුදු සරැලිති
ඔහේ හෙමිහිට ගලා යනකොට සොඳුරු බව හෙමි හෙමින් වියැකෙති
ජීවිතය ගඟකට සමානය කම්කටොලු එහි ගල් බොරලු වෙති
හැපෙන පෙරළෙන රිදෙන තරමට පෙරට යන්නට සවි ලැබෙයි නිති
තවත් ගන්නට යමක් නැත්නම් රැඳුණු තැන ඇති දැනුම අතරේ
පිපාසය දැනි දැනිම සොයමින් නොයා යුතු ඇයි රසය වතුරේ
නැවතුණා නම් මුලින් හමු වූ දහම් පහදන ගුරුන් ඇසුරේ
නිවන සොයමින් බෝසතාණන් තවත් ඇවිදියි සසර කතරේ
පිරුණු කළයක නොසෙල්වෙයි දිය, නිශ්චලව ඇති විටෙක මුව විට
අඩු කළේ දිය සැලී සැලී මඩ කරයි කිලුටෙහි දමා වට පිට
පොත පත ද මතු නොවේ ලෝකෙන් ජීවිතය හැක ඉගෙන ගැනුමට
පිරුණු මිනිසුන් කිසි විටෙක බැහැ තළා පොඩිකර අහක දමනට
පලක් නැති කල ඉවත දැමු දඬු වටොත් සරු බිම් කඩක් මත්තේ
නොයයි වියැළී වැඩෙයි දලුලා දිනෙක මල් පල දරනු ඇත්තේ
කොතෙක් බිඳුණත් තිබෙයි නම් ශක්තියක් කාගෙත් ඇතුළු චිත්තේ
පෙරට යන්නට නඟිනු කිම වෙන කාගෙවත් උරහිසක් මත්තේ
දුවන ගමනකි කවුරු කවුරුත් ජීවිතේ මත එකට හැපි හැපි
නතර වන තැන කවුරු දන්නෙ ද මාරයාගෙන් ලැබුණු පසු ලිපි
පැහැය සුවඳද ඉතිරි නොමවෙයි පරව යද්දි කුසුම් මත පිපි
මැරෙන මොහොතක සිහි කරන්නට මිනිස්කම් රැක ගත යුතුය අපි
ලියන කියවන ඕනැ පොතකට තබන්නට පුළුවනි තිතක්
අකුරුවල විතරක්ම රඳවා පලක් හිමි වේවිද නෙතක්
දැනුම් සයුරක ගිලී කිමිදී පිහින යා යුතු වෙයි සිතක්
සමාජය කියවන්න හැකි නම් එය නිමා නොවෙනා පොතක්
කුර රකින්නට අසුන් හට පාවහන් පල නැත, මිසෙක ලාඩම්
දරා ගත යුතු බොහෝ තැන්වල දැමිය යුතු වෙයි මුඛයෙ වාඩම්
සිනා සෙන්නට මහා සවියක් අවැසි වෙයි දුක ළඟත් නාඬම්
සියල්ලම එක තැනට ගත් කල මේ තමයි ජීවිතේ පාඩම්
දිල්රූ ජයසේකර