විශිෂ්ට කලාකරුවකු වන මහගම සේකරයන්ගේ 45 වැනි ගුණානුස්මරණය අදට (14) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි…
1976 ජනවාරි 14 දාට පසුව දැන් ජනේරු 45 ක් ගෙවී ගොසිනි. රත්න ශ්‍රී විජේසිංහයන් කියු සේම ‘‘ඒ නිවාත ගුණයෙන් පිරි කලාකරුවාගේ වියොවෙන් කලා ලෝකය තවමත් සිහි එලවාගෙන නැතිවා’’ සේය. මේ කුඩා සටහන ඒ මහගම සේකරයන්ගේ තුංමංහන්දිය නම් විශිෂ්ට චිත්‍රපටය පිළිබඳ චිත්‍රපට විචාරයක් හෝ චිත්‍රපට කියවීමක් නොවන වෙනත් මානයක ඇගයුමක් උදෙසා වන ප්‍රයත්නයකි.
චිත්‍රපටය යනු දෘශ්‍යාත්මක මානව විද්‍යාව (Visual Anthropology) යටතේ ලා සැලකිය හැකි කිසියම් සමාජයක ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂ්‍ය ලේඛනයකි. සිනමාවේ ඇති එක් වටිනාකමක නම් එලෙස තද් දේශයේ හා තද් මනුෂ්‍ය ප්‍රජාවගේ ජීවන ශෛලිය පිළිබඳ චන චිත්‍රය නොහොත් සජීවී ලෙස තොරතුරු සංග්‍රහ කිරීමයි. ආහාර පාන, ඇඳුම්, ගෘහ භාණ්ඩ, නිවාස, කලාව භාෂාව යාන වාහන සමාජීය ප්‍රවණතා, දේශපාලනික චර්යා ඇතුළු මානව සබඳතා ඓතිහාසික ලෙස සෙලියුලොයිඩ් පටයක ජීවමාන ලෙස ගැබ් කිරීම සිනමාවේ අමිල මෙහෙයකි.
ඉතා ක්ෂුද්‍ර අවකාශයක රචනා වන මේ ලේඛනයේදී දීර්ඝ න්‍යායික හැඳින්වීම්වලට අවකාශ නැත. එබැවින් තුංමංහන්දිය සිනමා කෘතිය පිළිබඳ දෘශ්‍යාත්මක මානව විද්‍යා ඇසක් සහිතව විමසීමට අපි ප්‍රයත්න දරමු. මෙම උත්සාහය ද පුරෝගාමී ප්‍රාථමික යත්නයක් විය හැකිය.
චිත්‍රපටයේ අනාවරණ රූපරාමුව එදා රදාවාන නම් ගම් පියසෙහි ස්වරූපය හෙළි කරයි. සේකර මේ නවකතාව 1967දී පළ කළ අතර චිත්‍රපටය 1970 අධ්‍යක්ෂණය කර ඇත. 1950 – 60 වැනි කාලයක තොරතුරු චිත්‍රපටයේ ගැබ් වන බව පෙනී යයි. මහපාර, පොල්අතු සෙවිලි කළ කඩ දෙක තුන, හංදියේ අන්දර ගස ප්‍රාථමික
ස්වරූපයක් දරන මෝටර් රථ වලට පසු සී / රදාවාන ආණ්ඩුවේ කනිටු විදුහල දැකිය හැකිය. සිංහල උළු සෙවිලි කළ, භාග බිත්ති, කුලුනු කුරුපා සහිත පාසල එක යුගයක සාක්ෂි සම්භාරයකි. ළමුන්ගේ ඇඳුම් අතර සරම බැනියම මෙන්ම කොට කලිසම ද ඇත.
අබිලිං සිංඤෝ නම් සිරිසේනගේ ලොකු මාමා ගමේ සිටින සංකීර්ණ චරිතයකි. විටෙක ඔහු කලාකරුවෙකි. ලංකාවේ ගැමිගෙවල තිබු පිරිත් මඩු, මඟුල් මඩු, එවායේ කැටයම් මෙහි දැකිය හැකිය. කලාකරුවා සිය සේවය සැපයුවේ මුදලට නොවේ. එය ජීවන අවස්ථාවකි. ’’ඔන්න අප්පුහාමි අපේ යුතුකං ඉවරයි. අපි ගිහිල්ලා එන්නම්.’’ මේ අබිලිංගේ වදන්ය.
තුංමංහන්දිය තුළ විසිවැනි සියවසේ මැද භාගයේ ගමක විශ්වාසනීය මානව වාංශික තොරතුරු මනාව සංග්‍රහ වී ඇත. සිරිසේනගේ නිවසේ පිළ දැකිය හැකිය. ඒ මත ගල්ලැහැ පැදුර එලා ඇත. පැඳුර එලූ ලණු ඇඳ හෙවත් වැල් ඇඳ ඇත්තේ ද විවෘත ආලින්දයේය.
කරත්ත මඩුව යනු තවත් සමාජීය අවස්ථාවකි. කරත්ත බක්කියේ චිත්‍ර ඇඳ ඇත. කරත්තය විකුණා කාර් කටුවක් ගන්න සිතා සිටින්නේ රාලහාමිය. සේතං මුදලාලි තරමක් දියුණු වන විට ලොරි භාගයක් මිලදී ගනියි. ගම්වල ආර්ථිකය සහ සමාජ මට්ටම අනුව යාන වාහන තීරණය විය.’
ගමේ කඩපිල සමග දාං ලෑල්ල, ණය තුරුස් අපේක්ෂාවෙන් සිටින අය, පුවත් පත බලන අය සිටිති. දරුවාගේ අසනීපයට ජේමිස්ට දෙන මුදල අබිලිං නැවත අපේක්ෂා නොකරයි. එහෙත් අබිලිංට හිඟපාඩු වු දිනෙක ජේමිස් අහක බලයි. මෙබඳු චර්යාමය තත්ත්වයන් මේ නිර්මාණය පුරා විසිරි ඇත.
දවසේ වහෙස පමණක් නොව පෙම්වතිය පිටගම් ගිය දා විරහව ද ගැමියා තුනි කර ගන්නට රැයෙහි රා බී ‘‘පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම’’ වැනි සී පදයක් කියමින් සඳපහන යටින් මඳ අඳුරේ ගමන් කරයි. ආදරය, වෛරය ආදි මිනිස් හැඟීම් පරිසරය සමගම ඔවුහු පාලනය කර ගත්හ.
ඇතැම් විට මහගෙදර කොස් ගහකට සොයුරු සොයුරියන් කලහ කරන අතර ඊළඟ ජීවන අවස්ථාවෙහි ‘මල්ලියේ’ වැනි ළෙන්ගතු ඇමතුමකට මාරු වෙයි. අබිලිං සේතං සහ සොයුරිය මෙන්ම අම්මා සම්බන්ධ චර්යා යනු අපේ සාම්ප්‍රදායික ගමක නිසැක පුරුෂාර්ථ අනාවරණයකි.
මඟුල් ගෙදර යාම පිණිස දුප්පත් දරුවෝ සපත්තු අතමාරුවට ඉල්ලා ගනිති. රෙදි පාංකඩ දමා ප්‍රමාණය සකසා ගනිති. කකුල් කැපෙන බැවින් කොර ගසති. රාත්‍රියේ ආපසු එන විට සපත්තු අතේ එල්ලාගෙන එති. සිරිසේන සුදු මැණිකගේ විවාහයට යන්නේ එසේය. අබිලිංගේ පැරණි ගොක් කොළ ඩිමයි සැරසිලි වෙනුවට Welcome කියා ගැසු නූතන තොරණ එක් සංක්‍රාන්තික අවස්ථාවකි. කුඩා ළමයකුට පවා උත්සවයේ දී වැඳ ආධාර කර බුලත් සංග්‍රහ කිරීම ආදි චාරිත්‍ර වාරිත්‍ර ගැබ්වීම තුංමං හංදිය තුළ දැකිය හැකිය. බුලත් හෙප්පුව සරුසාරය. හතර පංගුව හිඟ නැත. යමක් කමක් ඇති ගෙවල බුලත් හෙප්පුව තුළ සුරුට්ටු පෙට්ටියක් ද ඇත.
ටීටර් බැලීම පිණිස මීගමු යාම හා ගමේ ටීටර් බඩු සැකසීම තවත් එම යුගයට අයත් තොරතුරකි. ප්‍රචාරණ කරත්තය ටීටර් මඩුව රසික ප්‍රතිචාර ටීටර් බැලීම පිණිස ගමේ තරුණන් කෙසෙල් කැන්, කළටි වලු ආදිය හොරෙන් කැපීම ආදි චර්යා රැසක් එම ජවනිකා මගින් හෙළි කරයි. මේ සියල්ල සිරිලක මානව වාංශික තොරතුරුය. එසේම ආකර්ෂණීය ටීටර්වලින් පසු දරුවන් කොස්කොළ ඔටුන්න සහිතව ඒ ජවනිකා අනුකරණයට ගන්නා වෑයම ද සත්‍ය ජීවන සංස්කෘතික අංගයකි.
ඇතැම් තරුණයන්ගේ අත්වල පච්ච කොටා ඇත. අබිලිං, බේබි කැපීමට හෙවත් සුදුවට ගොස් ජය ලැබූ විට සැමට තෑගි ගෙන එයි. බූරුවෝ කුට්ටම සඟවා තබන්නේ පැඳුරු ආණ තුළය.
හෙළුවෙන් ගඟට පැන නාන කොලු නඩය මේ ගම්වල අනිවාර්ය දසුනකි. තාත්තා දඬු වැට බැඳීම, බෝලත්ත බැඳීම බඳු වැඩ කරන අතරතුර අම්මා පැඳුරු වියයි. නිවසේ සුහද කතා සිදු වන්නේ බොහෝ විට රාත්‍රී ආහාරයෙන් පසු එළඹෙන හෝරාවේ බව පෙනී යයි. ඒ අතරතුර තාත්තා පුවකයක් කපයි. මේ සියල්ල චිත්‍රපටය තුළ දෘශ්‍ය සාක්ෂය ලෙස සංගෘහිතය.
ජයසිංහ නම් ගුරු මහතා සමග එක් වී ළමෝ ජාතික ඇඳුම් අඳිති. මස් මාළුවලින් යුතු ආහාරයෙන් වැළකෙයි. මෙමගින් ද කුමාරතුංග, අදිකාරම් ප්‍රතිපත්ති වැනි යුගකාරක ප්‍රවණතා නියෝජනය වේ. පාසල් දිවා ආහාරය ද මෙහි අඩංගු වේ. කෑම ගැනීමට සූදානම් වූ ළමුන්ට විදුහල්පති වේවැල් පහර දෙයි. ’‘කෑම කන්න හදන කොට ගහපු එක වැරයි.’’ තාත්තා කියයි.
‘‘බත්කන කොට අපි නං බල්ලෙක්ටවත් ගහන්නේ නෑ.’’ අම්මා ද එක්වෙයි. මෙවා සිරිලක මානව චර්යා හා පුරුෂාර්ථ නොවේ ද?
අබිලිං සිංඤෝ අල්ගම වත්තට රැකියාවට යන්නට පෙර සිය වටිනාම ශිල්පය සහිත කැටයම් ආයුධ පෙට්ටිය සිරිසේනට බාර දෙයි. පැරණි ශිල්පය පැවරුවේ සිය විශ්වාසී දරුවාටය. ගෝලයාටයි.
සිරිසේන කොළඹ එයි. තුංමංහංදිය කෙරෙන් සිරිලක සමාජ යථාර්ථය මාවත් තුනක් අඟවයි. රදාවාන ගමේ කෘෂි දිවිය, ගම්පහ ලෝරන්ස් කොලිජියේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ හේවුඩ් කලායතනයේ චිත්‍ර ශිල්පය යනු ඒ ජීවන මාර්ග තුනයි. එය බරපතළ සමාජ දේශපාලනික ප්‍රතිරූපනයකි. සිරිසේන කොළඹ පැමිණ කලාකරුවකු වෙයි.
කලායතනයේ ආපනශාලාව තුළ අගනුවර තරුණ චර්යා ගැබ් වෙයි. යොවුන් තරුණයන්ගේ නව දිවිය සමග සිරිසේන කෙසෙල් කොළයේ එතු බත් කයි. එදෙස අන් අය බලන බැල්ම තුළ සමාජ විවේචනය ගැබ් වී ඇත.
සිරිසේනගේ චිත්‍රය ජයග්‍රහණය කිරීම ජාතික පුවත් පතක පළ වේ. පුවත්පත සතු සමාජ බලය හා ඈත ගම් දනව් කරා විරල සංදේශ ප්‍රවාහනය කරන එකම මාධ්‍යය වීම ද එය අඟවයි. අබිලිං රෝහල් ගත වී මිය ය යි. එම දශකයේ රෝහල පිළිබඳ සාක්ෂ්‍ය ද තුංමංහංදිය තුළ දැකිය හැකිය. වෙද නලාව, සේලයින් බෝතලය පවා අඟවන්නේ එම යුගයේ සත්‍ය පිටපතයි. මේ අනුව තුංමංහංදිය අග්‍රගණ්‍ය සිනමා කෘතියක් ලෙස සිනමාරූපීව දරන අගය මේ දෘශ්‍යාත්මක මානව විද්‍යා සාක්ෂ්‍ය මගින් සුපෝෂිත වන බව කිව යුතුය.
(*** මහාචාර්ය – හිනිදුම සුනිල් සෙනෙවි)
ලංකාදීප