මෙරට පාසැල් ළමුන් ලක්ෂ 40 ක් පමණ සිටිති. ඔවුන් හැරුණු විට කොන්දොස්තරගේ සිට දොස්තර දක්වා වෘත්තීන් බොහොමයක නිරත වන්නෝ පෑන් පාවිච්චි කරති.භාවිතයෙන් පසු දෛනිකව මොවුන් විසින් පරිසරයට එකතු කරන ලක්ෂ ගණනක් වන පෑන් මඟින් සිදුවන පරිසර හානිය සුළුපටු නොවන්නේය.මේ පෑන් වසර සිය ගණනක් යනතුරුත් විනාශ නොවී පරිසරයේ පවතින බව විද්‍යාඥයන් තහවුරු කර තිබෙන පසුබිමක පරිසර හිතකාමී පැළවෙන පෑන පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයකි.
මෙරටින් පළමු කොවිඩ් රෝගියා වාර්තාවීමෙන් අනතුරුව රට වසා දැමීමට රජය තීරණය කිරීමත් සමඟ නිවසට කොටුවී සිටි ක්‍රිස්ටිනාට මේ අපූරු පෑන නිර්මාණය කරන්නට සිත් පහළ වී තිබෙන්නේ රූපවාහිනියේ විකාශනයවූ ප්‍රවෘත්තියකින් අනතුරුවය.
‘අපේ රටේ රජයේ පාසැල් වල 05 පන්තියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් භාවිතයෙන් පසු ඉවත දමන පෑන් සම්බන්ධව තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවුණේ. ළමුන් 320000 ක නියැදියක් අරගෙන සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වෙලා තිබුණා දවසකට පෑන් බට කිලෝ 80 ක් විතර පරිසරයට එකතු වෙනවා කියලා. ඒ කියන්නේ මාසෙකට කිලෝ 2400 ක්. අවුරුද්දකට නම් ඒක කිලෝ 876000 ක්. රාජකාරියේදී පෑන් භාවිත කරන වෘත්තිකයන් කොච්චර නම් තියෙනවාද? මේ ඔක්කොම අය දිනකට ප්ලාස්ටික් පෑන් කොපමණ පරිසරයට එකතු කරනවාද කියන එක හිතා ගන්නත් බැහැ. පෑනේ තීන්ත ඉවර වුණාට පස්සේ තමයි ඒකෙන් පරිසරයට සිදුවන හානිය ආරම්භ වන්නේ. මම හිතුවා අපිට ඇයි මේකට පිළියමක් යොදන්න බැරි කියලා. මම මේ ගැන තාත්තට කිව්වම එයත් මේ ගැන උනන්දු වෙලා අපි පරිසර හිතකාමී පෑනක් හදන්න උත්සාහ කරමු කියලා කිව්වා‘
ක්‍රිස්ටිනා තම නිර්මාණයේ ආරම්භය සම්බන්ධව පැවසුවේ එවන් කතාවකි.
බෙන්තර ඇල්පිටියේ උපන් සුගිර්තන් කුමාරවේල් දැන් පදිංචිව සිටින්නේ මහනුවර වටපුළුවේය. ඔහුගේ එකම දියණිය ක්‍රිස්ටිනා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන්නීය. සෙංකඩගල මහවැලි උයන විරෝදාර විදුහලින් සිප්සතර හදාරා සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ 08 ක් හා එක් බී සමාර්ථයක් සමඟ සමත්ව මහනුවර පුෂ්පදාන විදුහලට 2017 වසරේදී ඇතුළත්ව තිබෙන ඇය උසස් පෙළට පෙනීසිට ඇත්තේ ජෛව පද්ධති තාක්ෂණ අංශයෙනි. වෛද්‍ය ඉදුනිල් පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය සනත් අමරතුංග, ධර්මරාජ විදුහලේ උප විදුහල්පති පුබුදු බණ්ඩාරනායක හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පර්යේෂණ නිලධාරී එරංග ලක්මාල් යන අය මේ පරිසර හිතකාමී පැළ කළ හැකි (Eco Friendly plantable pen) පෑන නිර්මාණය කිරීමටත් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමටත් මඟ පෙන්වීම කළා. ඇත්තටම සාමාන්‍ය කාබන් පෑනක් වෙනුවට මේ පෑනක් භාවිත කරනවා කියන්නේ පරිසරයට දිරාපත් නොවන ප්ලාසිටික් ග්රෑම් 06 ක් එකතු වීම වළක්වනවා කියන එකයි‘ ක්‍රිස්ටිනා පවසයි.
තම සිතේ උපන් සිතිවිල්ල යථාර්ථයක් බවට පත්කර ගන්නට ක්‍රිස්ටිනාට යෝධ ශක්තියක් වූයේ ඇගේ තාත්තා ය. අත්කම් නිර්මාණකරුවකු වන ඔහු පෑන් බටය 96% ක් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කරන්නට සමත්ව ඇත. එය ඇසූ පමණින් මේ පෑන 100% ක් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කළ නොහැකිද යන ප්‍රශ්නය මතු වෙයි. ඒ සම්බන්ධව සුගිර්තන් මෙසේ පැවසුවේය.
‘මොන දේ කළත් ඒක සමාජගත කරන්න යනකොට මිල බලපානවා. පරිසර හිතකාමී වුණත් වැඩි මිලක් දීලා පෑනක් ගන්න ගොඩක් දෙනා කැමැති නැහැ. අද වෙළෙඳ පොළෙන් සාමාන්‍ය පෑනක් රුපියල් 20.00 ක් වගේ මුදලකට ගන්න පුළුවන්. මේ පෑන තුළට අපි එළවළු, කුළුබඩු හා මල් වර්ග වල බීජ දාලා තියෙනවා.100% ක්ම පරිසර හිතකාමී ලෙස පෑන් බටය සකස් කරන්න ගියොත් අපිට පෑනකට රුපියල් 150.00 ක් 200.00 වගේ මිලක් නියම කරන්න වෙනවා. ඒ වගේ ගානක් දීලා පෑනක් ගන්නේ සීමිත පිරිසක්. අපිට දැන් මේ පෑනක් රුපියල් 50.00 ක් වගේ මුදලකට දෙන්න පුළුවන්. අපි කිසිම යන්ත්‍රයක් භාවිත නොකර මිනිස් ශ්‍රමයෙන්ම තමයි පෑන හදන්නේ. පරිසරය රකිනවා කියන සංකල්පය පෑනේ විතරක් තිබිලා වැඩක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලිය තුළත් ඒ සංකල්ප ආරක්ෂා වෙන්න ඕන. පෑන ඉවර වුණාම ඒක පසේ හිටවන්න ඕන. දින 10 ක් විතර යනකොට පැළ එන්න පටන් ගන්නවා. පෑනේ බඳ කොටස මාසයක් වගේ ඇතුළත දිරාපත් වන නිසා පැළ ඒ තුළම වැඩෙන්න හරින්න පුළුවන්. අපි මේ සියල්ල පිළිබඳව පරීක්ෂණ කරලා අවසන් වුණාම තමයි පෑන රටට හඳුන්වා දුන්නේ. මේ වැඩේට දුවගේ යාළුවෝ පිරිසකුත් එකතු වෙලා ඉන්නවා. අපිට දැන් දවසකට පෑන් 400 ක් විතර නිෂ්පාදනය කරන්න හැකියාව තිබෙනවා‘
මෙම පරිසර හිතකාමී පෑන සඳහා පේටන්ට් බලපත්‍රය සුගිර්තන් හා දියණිය ක්‍රිස්ටිනා නමින් ලබාගෙන තිබේ. තවත් නුදුරු දිනකදී මෙම පෑන ඔබට වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට පුළුවන. මෙරට වෙරළ තීරයට එකතුවන දිරාපත් නොවන අපද්‍රව්‍යය වලින් 70 % ක්ම පැමිණෙන්නේ රට අභ්‍යන්තරයේ සිටය. දෛනිකව පරිසරයට අප විසින් දැන හෝ නොදැන කරනු ලබන විනාශයේ තරම ඉන් තේරුම් ගැනීමට පුළුවන. සුගිර්තන් හා ක්‍රිස්ටිනා පරිසරය සුරැකීමේ අරමුණින් කළ නිර්මාණයට වටිනාකමක් ලැබෙන්නේ අප ප්ලාස්ටික් පෑන ඉවත දමා මේ පෑන වැලඳ ගැනීමෙන් පමණි.
අසේල කුරුළුවංශ
සිළුමිණ
ඡායාරූප – නිහාල් ජයවර්ධන (මධ්‍යම පළාත් සමූහ)