කරඬුවේ බර රජකමක් සේ රකින රාජා ගැන නොදත් කතා

ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිතව උපන් පෙරපින් ඇති ඇතකුට පමණී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්තය. ඒ උතුම් කාර්යය ඉටුකරන්නට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා මේ භවයේදී පින් සැපිරූ නැදුන්ගමුවේ රාජා උපන්නේ මෙයට 68 වසරකට පෙර බුදුන් උපන් දේශයේය. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ලක් දෙරණට පා තැබූ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

 

ඉන්දියාවේ සිට නැව් නැඟ මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි. ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යයි. උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.

රාජාගේ ඇත්ගොව්වා ලෙස වසර 21ක් කටයුතු කරන විල්සන් කොඩිතුවක්කු සිළුමිණට අදහස් දක්වමින්

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව අවුරුදු 50 ක් පමණ එක දිගට වැඩමකර වූ දළදා මාලිගාවේ ඇත්පන්තියේ රාජා ඇතා මිය ගියාට පස්සේ එකදිගට කරඬුව වැඩම කරවන්න හොඳ ඇතෙක් හිටියේ නැහැ. ප්‍රදීප් නිලංග දෑලයන් 2005 වසරේදී මුල්වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්වුණාම අපේ ඇතා නුවර පෙරහරට සම්බන්ධ කරන්න කියලා එතුමා ඉල්ලීමක් කළා. අපිට ගම්පහ ඉඳලා නුවරට යන්න දවස් හයක් ගත වුණා. මමත් එදා තාත්තා එක්ක නුවර ගියා. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළට යන්න ඇතා කැමැති වුණේම නැහැ. පුරුදු නැති නිසා බයක් ඇතිවෙන්න ඇති. පස්සේ දළදා වහන්සේට බාර කරලා අටපිරිකරක් පූජා කළා. ඒ කරලා හා යං කිව්වම ගියා. මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තියන්න කලින් හම්වලින් හදපු අඟල් පහක් විතර පළල පටි ඇතාගේ උදරය වටේට දානවා. මාලිගාවේ තිබ්බේ මැරුණු රාජාට දාපු පටි. අපේ ඇතාගේ ඇඟ මහත නිසා ඒපටි එයාට හරිගියේ නැහැ. පෙරහර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබ්බෙත් නැහැ. ඒනිසා 2005 දී පෙරහරට සම්බන්ධ වුණත් අපේ ඇතාට කරඬුව වැඩම කරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. පස්සේ අවුරුද්දේ තාත්තා මිය ගියා. ඒ අවුරුද්දේ අලුතින්ම බඳපටි හදවලා රාජා මතින් කරඬුව වැඩෙමෙව්වා‘

නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය ඇතුගේ පළමු පෙරහර ගමන පිළිබඳ ව සිහිපත් කළේ එසේ ය.

‘ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනකුගේ ඥාතියකුට වැලඳී තිබූ දරුණු මානසික රෝගයක් ප්‍රකට නිලම්මහර වෙදපරපුරේ පිළියන්දල වෙද හාමුදුරුවන් විසින් සුවකර කරනු ලැබීමෙන් පසු සතුටට පත් මහරාජා හාමුදුරුවන්ට ඉන්දියාවට වඩින ලෙස ආරාධනාවක් කරලා තියෙනවා. එහෙට වැඩියට පස්සේ මහරාජා කියලා තිබෙනවා හාමුදුරුවන්ට කැමැති ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. හාමුදුරුවෝ ඇත් පැටවු දෙ‍න්නෙක් ඉල්ලලා. ඒ අනුව මහරාජාගේ ඇත්ගාලෙන් වයස අවුරුදු 05 ක් පමණ වෙන ඇත් පැටවු දෙන්නෙක් පූජා කරලා. රාජාත් එක්ක එදා නැවෙන් ගෙනාපු අනිත් ඇත් පැටියා තමයි නවම්රාජා. ගංගාරාමයේ සිටි නවම්රාජා අවුරුදු කීපයකට කලින් මිය ගියා. හාමුදුරුවෝ ළඟ මේ ඇත් පැටව් දෙන්නා අවුරුදු 15 ක් විතර ඉඳලා තියෙනවා. ඒ දෙන්නව බලා කියා ගන්න කරදර නිසා උන්වහන්සේ එක් පැටියෙක් ඇඹිලිපිටියටත් අනෙක් පැටියා හොරණ උඩුව වලව්වටත් විකුණලා තිබෙනවා. පී. ඩී. පී ධර්මවිජය වෙද රාළහාමි තමයි මගේ තාත්තා.1978 හොරණ වලව්වෙන් තාත්තා රාජාව අරන් තියෙන්නේ රුපියල් 75,000ක මුදලකට. එදා සිට මේ දක්වා කිසිදු අවස්ථාවක ඇතාට අපි ඉංග්‍රීසි බෙහෙත් දීලා නැහැ. පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන නිසා ඇතාට අවශ්‍යය බෙහෙත් අපිම හදලා දෙනවා. ඉඳලා හිටලා බඩේ අමාරුවක් ආවම මම කරන්නේ ඖෂධ කොළ කොටලා කවන එකයි. දැන් අවුරුදු 30 විතර ඉඳලා මෙයාගෙන් කිසිම වැඩක් ගන්නේ නැහැ. කිතුල් කොටයක් කන්න එයාම උස්ස ගත්තොත් මිසක් කිසිම කොටයක් අපි උස්සන්න දෙන්නේ නැහැ‘

රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය ධර්මවිජය පවසන්නේය.

රාජා මහනුවර ඇසළ පෙරහරට මෙවර සම්බන්ධ වෙන්නේ වසර දෙකකට පසුය. දළදා පුදට යන රාජාට වැඳුම් පිදුම් කරමින් පලතුරු වලින් සංග්‍රහ කරන්නට ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි.එහෙත් මෙවර රාජාට ආහාරපාන වලින් සංග්‍රහ කිරීම සඳහා ජනතාවට අවස්ථාවක් නැත. ඒ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි. ගම්පහ වැලිවේරිය සිට මහනුවර බලා එන ගමනේදී රාජාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවක් ලබාදී තිබෙන්නේ මේ ඇත් රජා ජාතික වස්තුවක් මෙන් ආරක්ෂා කළ යුතු බැවිනි.

ඉකුත් සතියේ රාජා, නුවර බලා මහපාරේ ගමන් කරමින්

පෙරහරට එන්න කලින් අපි පිරිත් කියලා ආශීර්වාද කරලා කැවුම් කිරිබත් කවලා සුබ වෙලාවකට තමයි රාජා පාරට ගන්නේ. දැන් පාරවල් උස්කරලා බෝක්කු දාලා හදලා තියෙන නිසා ඇළ මාර්ග වලට බහින්න අමාරුයි. මගදී රාජා නාවන්න ක්‍රමයක් නැති නිසා මම හැමදාම ලොරියක් පිටත් කරනවා වතුර පොම්ප එහෙම දාලා. ඇළකට පොම්පේ දාලා ඒකෙන් වතුර අරන් තමයි අලියා නාවන්නේ.ඇතා ලොරියක යවන්න මම කැමැති නැහැ. මේ ඇතා ගොඩක් ලොකු නිසා ලොරියක යත්දී අනතුරක් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අලියෙක් වාහනයකින් ගෙන යෑම එක් පැත්තකින් අලියට හිරිහැරයක්. අද පාරේ වාහන ගොඩක් තියෙනවා. එක දිගට වාහනයක් පදවගෙන යන්න බැහැ. බ්‍රේක් ගහනවා; එහාට කපනවා මෙහාට කපනවා. මේ හැමදේම අලියට බලපානවා. කැලේ අලියෙක් සාමාන්‍යයෙන් කෑම සොයාගෙන දවසකට කිලෝමීටර 20-30 ක් ඇවිදිනවා. එතකොට සතාගේ අවයව හොඳට වැඩ කරනවා. ඒක සතාගේ නිරෝගීතා‍වටත් බලපානවා. ඒ නිසා මම රාජාව පයින්ම යවනවා‘

හාම්පුතු ධර්මවිජය ප්‍රකාශ කළේය.

බොහෝ පලතුරු රාජාට අගුණ ය. පළතුරු කෑවිට රාජාට උදරයාබාධ වැලදෙන බව රාජාගේ හොඳම මිතුරා වන විල්සන් කොඩිතුවක්කු පවසයි. අවුරුදු 15 සිට ඇත්ගොව්වකු ලෙස කටයුතු කරන කොඩිතුවක්කු රාජා බලන්නට ගෙන දැන් අවුරුදු 20 කට වැඩිය.පෙරහර මංගල්‍යයන්ට සහභාගි වීමට පයින්ම ඇවිද යන විල්සන්; රාජා සමඟ ගෙවා ඇති දුර කිලෝමීටර තිස් හතළිස් දහසකට වැඩිය.

අපි දෙන්නා දැන් අවුරුදු 21 ක් එකටමයි ඉන්නේ. ඒ හින්දම අපි දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි තරම් යාළුයි. රාජා බෙල්ලන්විල, කෝට්ටේ, වාද්දුව, කිරුළපන පෙරහැරවලට සම්බන්ධ වෙනවා. මගේ ගම ගාල්ලේ. නෝනා ටික කාලෙකට කලින් මිය ගියා.දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව බැඳලා; පුතා ඉඳලා හිටලා මාව බලලා යන්න එනවා. මම ඉතින් ගමට යන්නේ මාස හය හතකට පස්සේ තමයි. මම නැවතුණොත් ඇතත් නවතිනවා. නුවර පෙරහැරට පයින් එද්දී නිට්ටඹුව පන්සලේ, දංඕවිට නිවසක, නෙළුම්දෙණියේ මොරවක නිවසක, රංවිල දුනුකොළ වලව්වේ සහ හිඟුල ගනේතැන්න මල්වතු විහාරයේ අපි නවතිනවා. දවසකට ඇවිදින්නේ කිලෝ මීටර 20 ක් විතර වගේ දුරක් තමයි. මේ පාර අපි පෙරහරට දින දෙකක් තියලා 11 වැනිදා වනවිට නුවරට එන්න ගම්පහින් පිටත් වුණේ 02 වැනිදා‘ විල්සන් පවසයි.

මෙයට අවුරුදු 42 කට පමණ පෙර වත්මන් ස්වාමීත්වය යටතට පැමිණීමෙන් පසු ඇත්ගොව්වන් සිවුදෙනකු රාජා බලා කියාගෙන තිබේ. මුලින් සීමන් අයියාත් පසුව සෝමේ අයියාත් අනතුරුව සයිමන් අයියාත් රාජාගේ අලිබාස්වරු ලෙස කටයුතු කර ඇත. මේ අතරින් අද ජීවත්ව සිටිනුයේ සීමන් අයියා පමණි. සයිමන්ගේ මරණයෙන් පසු රාජාව බලා ගැනීමේ වගකීම ධර්මවිජය විසින් විල්සන්ට පවරා තිබේ. ඇතා බලා ගැනීමේදී විල්සන්ගේ සහායට ඉන්නේ පොල්ගහවෙල ඉන්දික ජයසිංහ හා අජිත් කුමාරය. ඉන්දික අවුරුදු 10 ක් තිස්සේත් අජිත් අවුරුදු දෙකක් තිස්සේත් රාජාගේ පමණක් නොව විල්සන්ගේද තනියට සිටිති.

මම මේ රාලහාමිගේ සීතා කියන අලියව මුලින් බැලුවා. තාමත් ගෙදර ඉන්න පුලස්ති අලියව බැලුවෙත් මමයි. දැන් රාජා බලන්න අරන් අවුරුදු 21 ක් විතර වෙනවා. ඉස්සර අලි එක්ක කැලේ කොටන් අදින්න ගියාම අවුරුද්දක් විතරම කැලේ තමයි ඉන්නේ. කොස්ගම ගිංතොට කැලෑවල කපපු ගස් කැලෙන් එළියට ගන්න, වාහන වලට කඳන් පටවන්න අලි අ‍රන් අපි කැලේට යනවා. දැන් ඉස්සර වගේ අලින්ගෙන් වැඩ ගන්නේ නැහැ. පෙරහැරවලට සම්බන්ධ කරගැනීම තමයි කරන එක ම දේ. මේ ඇතා බලන්න ලැබුණේ මගේ පූරුවේ පිනකටයි. අද දළදා පෙරහැරේ කරඬුව ළගින්ම මට යන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඇතා හින්දයි‘

විල්සන් පවසන්නේ ඇතාගේ වාසනාව තමන්ටද පලදී ඇති බව නොකියා කියමිනි.

නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය

හර්ෂ ධර්මවිජය

ඡායාරූප – සමන් විජය බණ්ඩාර

මාවනැල්ල විශේෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top