මෙම උත්සවයට රටේ තරුණ තරුණියෝ හා රටවැසියෝ සෞභාග්‍ය වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරති. කලට වැසි ලැබී හොඳ කාලගුණයකින් සමෘධිමත් රටක් ප්‍රාර්ථනා කරති. මසක් පුරාවට ලද කිරි (ආහාර) සහ කිරි නිෂ්පාදනවලින් සාදන ආහාර ගැනීමෙන් වැළකී සිටිති.
කෘතවේදිත්වය, පිරිසිදුබව, සෞභාග්‍ය, සතුට සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි. තෛපොංගල් උත්සවය දෙමළ හින්දු ජනයා අතර ප්‍රචලිත උත්සවවලින් එකකි. එය දෙමළ හින්දු පුරාවෘත්තවලින් මෙම උත්සවයේ පැරණිකම ගැන සිතා ගත හැකිය.
ඉතිහාසය
මාස්කන්නයේ අස්වැන්න නෙළා ගන්නේ ජනවාරි පෙබරවාරි මාසවලදීය. මෙම නිසා මෙම කාලයේදී පරිසරය අලුත් වී සශ්රිකත්වයෙන් පිබිදේ. ගහකොළ දළු ලියලා මලින් පලින් බරවී ප්‍රබෝධමත් පරිසරයක් නිර්මාණය වේ. මේ නිසාම තෛපොංගල් මේ කාලයේදී උදාවෙන්නට ඇතැයි කිව හැකි වේ. ‘තෛ’ යනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි. සෑම අවුරුද්දකම ‘තෛ’ පළමු වන දිනට මෙම උත්සවය සැමරීම විශේෂත්වයකි.
දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ පුරාණ උත්සවයක් ලෙස මෙය ගැනුනත් දකුණු ඉන්දියානු දෙමළ සාහිත්‍යයේ සංගම් යුගයෙන් ඇරඹි බව එම සාහිත්‍ය සාක්ෂි දරයි. දෙමළ වියතුන්ගේ අදහස වූයේ ද එයයි. සංගම් යුගය ක්‍රිස්තු පූර්ව 200 සිට 300 දක්වා විහිදෙන යුගයකි. මෙම උත්සවය ‘පාවෛයිනෝන්බු’ තෛ නීරාඩල් නමින් හැඳින්වෙන උපවාසයකින් ඇරඹි බව සංගම් සාහිත්‍ය පෙන්වා දෙයි. නමුත් දකුණු ඉන්දියාවේ පල්ලව රජ්ජුරුවන්ගේ කාලයේ එනම් ක්‍රි.ව.4 වන සියවස සහ 8 වන සියවස කාලයේ ප්‍රධාන උත්සවයක් වූයේ මෙම “පාවෛයි නොන්බු” ය. මෙම උත්සවයට රටේ තරුණ තරුණියෝ හා රටවැසියෝ සෞභාග්‍ය වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරති. කලට වැසි ලැබී හොඳ කාලගුණයකින් සමෘධිමත් රටක් ප්‍රාර්ථනා කරති. මසක් පුරාවට ලද කිරි (ආහාර) සහ කිරි නිෂ්පාදනවලින් සාදන ආහාර ගැනීමෙන් වැළකී සිටිති.
මෙසේ පාවෛයි නොම්බුවලින් ඇරඹි තෛපොංගල් දැනුදු දකුණු ඉන්දියානුවෝ පැරණි සිරිත්විරිත් ඒ ආකාරයෙන් සුරැකීමට පුරුදු වී සිටිති. මේ නිසා මෙම උත්සවය සමාජගත වී ඔවුන්ගේ ජනවහර ශක්තිමත් වේ.
සමාජයෙන් මතු වූ ජනවහර
“තෛපිරන්දාල් වලි පිරික්කුම්” මෙය දෙමළ ජනවහරෙහි එන සුප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළකි. සාමාන්‍යයෙන් ප්‍රස්ථාව පිරුළු මතුවන්නේද ජනයා තුළිනි. දෙමළ ජනසමාජය තෛ යනුවෙන් හැඳින් වූයේ දුරුතු මාසයයි. ‘පිරින්දාල්’ යන්න ඉපදීම නොහොත් උදාවීම වේ. මෙහිදී ‘වලි’ යනුවෙන් හැඳින් වූයේ ‘මාවත’ ‘පාර’ යන අර්ථ දේ. ‘පිරක්කුම්’ යනු ඉපදේවී, උදාවේවි, විවරවේවි යනුවෙන් අදහස් කෙරේ. සම්පූර්ණයෙන් මෙසේය. සිංහලයට නැගූ විට අර්ථය වන්නේ මෙසේය. ‘දුරුත්ත ලැබූ විට මාවත විවර වේ’ යනුවෙන් අර්ථවත් වේ. එදා සිට අද දක්වාම මෙම අදහස දෙමළ ජනසමාජයේ කිඳා බැස ඇත.
මෙවැනිම තවත් ප්‍රස්තා පිරුළු නිර්මාණයවීමට තෛපොංගල් උතසවය හේතු වී ඇත. එනම් “උන්ඩ්‍රි කොඩුත්තෝරේ උයිර් කොඩුත්තෝර්” යන්නේ ඒ බව පැහැදිලි වේ. මෙයින් අදහස් වන්නේ ‘යමක් යමෙකුට උපුටා දෙන්නේ නම් ඔවුන් පණ දුන් හා සමාන වන බවය.”
කෘතවේදිත්වය
ඕනෑම අයකුට උපකාරයක් කළ හොත් එය උපකාර ලබන්නා කෘතවේදිත්වය දැක්වීම මනුෂ්‍ය සාර ධර්මයකි.
තෛපොංගල් දිනයේදී එක් පරමාර්ථයක් වනුයේ කෘතවේදිත්වය දැක්වීමය. දෙමළ හින්දු ජනයා මෙසේ කෘතවේදී වන්නේ ස්වභාව ධර්මයට , සූර්යාට සහ ගොවිතැනට උපකාරි වන සතා සිව්පාවන්ටය.
භවබෝගවලින් සියලුම මිනිස් වර්ගයාට ජීවිතය රැක ගැනීමට ආහාර ලැබේ. මෙම ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් හිරු උපකාරි වේ. මේ නිසා සූර්ය දිව්‍යරාජයාණන්ට කිරි උතුරවා පුද පූජා කොට සකල දෙමළ හින්දු ජනතාව කෘතවේදිත්වය පළකර සිටිති. දින හතරකින් යුත් තෛපොංගල්වල ප්‍රථම දිනය වන්නේ පෝගි පංඩිගෛ නමැති උත්සවයයි.
පෝගි පංඩිංගෙ
මෙම උත්සවයේදි පරණ අවුරුද්දේ භාවිත කළ පරණ දෑ සියල්ලම ගිනි තබති. එහි පොල් කොළ තල්කොළවලින් සාදා ගත් පෙට්ටි පැදුරු වට්ටි ඉදල් අතුල්පත් ආදිය මෙසේ පුලුස්සා අලුත් දෑ භාවිත කිරීමට ගනී. තවද නිවසෙහි සෑම තැනක්ම සුද්ධ පවිත්රකොට පිරිසිදු කරති. අනවශ්‍ය ගහ කොළ ද කපා දමති. පරණ ඇඳුම් ආයිත්තම් පුලුස්සා දමති. පැරණි සෙරෙප්පු සපත්තු ද පුලුස්සා දමති. ගේ දොර අලුත්වැඩියා කිරීමද මෙම දිනයේ සිදු කරනු ලබති. මෙම කටයුතු සියල්ල සිදු කර අවුරුද්ද අපේක්ෂාවෙන් පසුවීම දෙමළ හින්දු ජනයාගේ සිරිතය.
ඊළඟ දිනය හැටියට දෙමළ හින්දු ජනයා සලකන්නේ තෛපොංගල් දිනයයි. මෙම දිනයේදී සූර්යදිව්‍ය රාජයාණන්ට කිරි උතුරවා පුද පූජා කොට සකල දෙමළ හින්දු ජනතාව සූර්ය නමස්කාරය කරති.
මේ සඳහා තම නිවසෙහි නැඟෙනහිර පැත්තට වන්නට භූමි භාගයක් තෝරා ගන්නේ හිරු හොඳින් පායා එහි කිරණ එම භාගයට වැටෙන තැනක්ය. එම ස්ථානය ගොම මැටි ගල්වා සතර කොන කෙසෙල් ගස් සිටුවා එම කොන්වල කෝලම් රටා දමා මධ්‍යයෙහි ළිපක් බැඳ අගසස් දානයට සුදුසු හාල්වලින් කිරිබතක් පිස ඊට කැවිලි පෙවිලි එකතුකොට කෙසෙල් කොළ මත වඩයක් දී සූර්ය දෙවියන්ට එම බත පිළිගන්නවා පුද පූජා පවත්වනු ලබති. මේ සඳහා අස්වැන්නේ නැවුම් හාල් භාවිත කරති. මෙසේ හිරුට කෘතවේදිත්වය පළ කරනු ලැබේ. හිරුට කෘතවේදිත්වය පළ කළ පසු ඊළඟ දිනයේදී ගොවිතැනට උදව් උපකාර කළ සියලුම සතා සිව්පාවුන්ට කෘතවේදිත්වය දැක්වීමට පට්ටි පොංගල් නමින් උත්සවයක් පවත් වනු ලබති.
පට්ටිපොංගල්
පට්ටිපොංගල් යනුවෙන් හඳන්වන්නේ ගොවියන්ගේ ගොවිතැනට උදව් උපකාර දෙනුන්ටත් ගොන්නුන්ටත් එළුවන්ටත් කෘතවේදිත්වය දැක්වීමය. මෙහිදී දකුණු ඉන්දියානු සුප්‍රසිද්ධ කවියකු වන කවි ජෙත් කන්නදාසන් එළදෙනකු පිළිබඳ තම කවියට මෙසේ නගයි.
සත්‍යම් නියේ
ධර්ම තායේ
කුලන් දෛ වඩිවේ
දෙයිව මහලේ
මෙහි සිංහල තේරුම මෙසේ වෙයි.
සත්‍යයය නුඹමයි
ධර්මයේ මවමයි
ළදරුවකු විලසින්
දෙව් දුවක් වේ…
මෙම කිවියෙන් ඔහු කියා පෑමට උත්සාහ ගෙන ඇත්තේ එළ හරකුන් සී සෑමට ගොන් නාම්බන් දෙනවා පමණක් නොව සියලුම පස්ගොරසය ලබා දෙන්නේද එළදෙනය. මේ නිසා උන්ට කෘතවේදී වීමට දෙමළ හින්දු ජනයා අමතක නොකරති. මෙම කෘතවේදි පුද පූජාවේදී ඔවුන් මුලින්ම හරක්පට්ටි එළුපට්ටි සුද්ධ පවිත්රකොට එම පට්ටිවල ගොමැටි පිරියම් කොට එමපට්ටිය ඉදිරිපස තැන කෝලම් රටා දමා පට්ටිය වටේට ගොක්කොළවලින් සරසා ඉදිරි පස ළිපක් සාදා එය මොළවා කිරි උතුරවා කිරි බතක් පිස ප්‍රථමයෙන්ම ගණ දෙවියන්ට ඒ කිරිබත කෙසෙල් ගෙඩි සමඟ පුදන්නේය. ඊට පසු තමන්ගෙ ගොවිතැනට උපකාරිවන හරකුන්ට කවා උන්ව සතුටු කරවනු ලැබේ.
මෙම කිරිබත කැවීමට පෙර සියලුම ගවයන් නහවා පිරිසිදු කිරීමද සිදු කරනු ලැබේ. ඊට පසු උන්ගේ අං නොයෙක් වර්ණවලින් ආලේපනය කර අලංකාර කරනු ලැබේ. මෙම දිනය සත්‍ය වශයෙන්ම ගොවිතැනට උදව් උපකාර කරනු ලබන සතුන්ට කෘතවේදී බව පුද කරන දිනය වේ.
කානුමි පණ්ඩිගෛ
දකුණු ඉන්දියානු තොරතුරුවලට සහ සාක්ෂිවලට අනුව කානුමි පණ්ඩිගෛ තෛපොංගල් උත්සවයේ හතරවන දිනය වේ.
මෙම උත්සවය කාන්තාවන් උදෙසා සිදුකරන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ නිසා මෙම අවසාන දිනයේදී සියලුම දෙමළ හින්දු කාන්තාවන් බතක් හත්මාළුවක් එකට මිශ්‍රකර පිස ගත් ආහාරය පිණ්ඩ කර කපුටන් ඉන්නා තැනකට ගෙන ගොස් එම පිණ්ඩ කපුටන්ට දානයක් සේ දෙති. කපුටන්ට මෙම ආහාර පිණ්ඩ දෙනවිට ඔවුන් කරන ප්‍රාර්ථනයක් වේ.
කාක්කා පොඩි වෛත්තේන්
කානුමි පොඩි වෛත්තේන්
උන් කූඩම් තලෛත් දාලුම්
එන් කූඩම් කලෛයාදු
මෙම කවියෙන් කියැවෙන්නේ
කපුටන් හට බත් පිඩක්
හොඳට අනපු බත් පිඩක්
නුෙඹ් කූඩුව විසිර ගියත්
මගේ කූඩුව විසිර නොයයි
මෙය සතුට සමගිය ස්මතු කරන කවියකි.
සතුට සමගිය
මෙම කවිය මගින් දෙමළ හින්දූන් අදහස් කරන අර්ථයක් ඇත. එනම් යම්කිසි ගෘහයක වෙසෙන මිනිසුන් එකට විරසක නොවී සමගියෙන් සිටීමට වාසනාව ලැබේවා යයි කපුටන් හට මේ බත් පිණ්ඩ දමාකරන ප්‍රාර්ථනයක් මේ තුළින් ස්මතු වේ.
කපුටන් කොහේ සිටියත් ගොදුරකට ඒකරාශි වෙති. නමුත් එම ගොදුර අවසන් වූ පසු විසිර යති. ඒ ආකාරයෙන් එසේ නොවිසිරි එම ගෘහයේ වෙසෙන මිනිසුන් සාමයෙන් සමගියෙන් ජීවත් වීමට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා! යයි ඔවුන් ප්‍රාර්ථනා කිරීම තුළින් පෙනී යන්නේ තම පවුලෙන් ඉන් අනතුරුව එය ගමටත් ගමින් නගරයටත් එයින් පසු පළාතටත් රටටත් සමගියේ ප්‍රාර්ථනයක් වීම මෙහි විද්‍යාත්මක පැත්තයි. සැමට සමගියේ තෛපොංගල්යයක් වේවා!
ආචාර්ය දෙමළ පණ්ඩිත්
පන්මොළවිත්තහර්, පන්මොළිපුලවර්
සාහිත්‍යවේදී දෙමළ ජනශ්රැති
පර්යේෂක
මඩුළුගිරියේ විජේරත්න
දිනමිණ