කොක්කු……නයනසේන වන්නිනායක

බටහිර සිට හමා එන මේ සුළඟ බොල්ය. වියළිය. වරෙක මිහිතල ආසන්නයේ සෙමිනුත්, වරෙක උස් අහසේ සිට සාහසික ලෙස කැරලි ගසමිනුත් ඈත විල්පත්තු අභය භූමියේ සිට එන හිතුවක්කාර සුළඟ මේ පර්යන්ත ජනපද ආසන්නයේ කණ්ඩායම් තුනකට බෙදෙයි. උණුසුම දරා ගනු බැරි ලොකුම කණ්ඩායම ගිනියම් වෙන පොළොව ඇසුරින් ඉක්මනින්ම මිදී සීතල මන්නාරම් වෙරළ බලා පියඹා යයි. පවස නිවා ගනු රිසි දෙවෙනි කණ්ඩායම කුඹුක් වැවේ පීනමින්ද දිය කෙළිමින්ද, නිල් දියවර මත හීන් රැලිරටා මවයි.

තෙවැනි කණ්ඩායම වැව් කණ්ඩියේ කුඹුක් ගහේ දැවටෙමින් සමාධිගත තලත්තෑනි අතුවල දැහැන් බිඳ දමයි. වියපත් ගහේ කඳ මෙය උපේක්ෂාවෙන් ඉවසා සිටින මුත් ළා පැහැ තරුණ අතු රිකිලි මේ සුළඟේ වෙළෙමින්ම දඟකාර කම් කරයි.

“අපි අද හදිසියේ රැස්වුණේ උද්ගතවෙලා තියෙන තත්ත්වය සමාලෝචනය කරලා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගන්න”

කුඹුක් ගස උඩ දිරා ඇති ශාඛාවල වසා සිටින තම කොක් රෑන අමතා කතා කළේ තැන්පත් පෙනුමක් ඇති තලත්තෑනි නායක කොකාය. සුදු ඇඳුමින් සැරසුන පක්ෂ-විපක්ෂ සියලුම කොක් සමූහයා උනන්දුවෙන් කොක් නායකයාට සවන් දෙනු පෙනින. මෙතෙක් කලක් තිස්සේ මෙම කොක් සමූහයා මෙම සුවිසල් කුඹුක් ගසේ වසා සිට පහත කුඹුක් වැවේ වෙසෙනා මසුන් එකිනෙකා ඩැහැ ගමින් ගතකළ කම්මැළි සැහැල්ලු ජීවිතයට කණකොකා හඬලන්නට පටන් ගත්තේ වැව් තාවුල්ලේ අභිනවයෙන් ඉදි කල හෝටල් සංකීර්ණය ඉදිකිරීමත් සමඟය. පරිසර හිතවතුන් හා විද්වතුන්ගේ පූර්ව නිර්දේශ නොතකා කළ මේ ඉදිකිරීම් පිටුපස රටේ බලවත් පුද්ගලයින් සිටි අතර වසර කිහිපයක් ගතවෙන්නට පෙර ගහකොළ අතුරුදන් වී වැව් පෝෂක ප්‍රෙද්ශය සම්පූර්ණයෙන්ම නිරුවත් විය. වන්නිය පුරා කන්න ගණනාවක් කලට වැසි නොලැබී යාමෙන් වැවේ දිය මට්ටම ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නට වූ අතර කුඹුරු වගා අතහැර ගිය ගමේ ඇතැම් තරුණයෝ නගර බද කුඩා රැකියාවලට ද තරුණියන් කුවේණියගේ මෙන්ම අම්බපාලිගේ පැරණි වෘත්තියෙන් දිවි රැක ගත්හ. කිහිප දෙනෙක් දොරටුපාල තනතුර සඳහා හෝටල් ප්‍රසාදයේ සේවයට තෝරාගත් අතර කිහිප දෙනෙක් විල්පත්තුවට මායිම්වූ පුරාණයේ කුවේණිය ගේ අණසක යටතේ පැවති මෙම අඩවියේ රහසිගත මූකලාං වල හොර අරක්කු ව්‍යාපෘතීන් වල යෙදුනහ.

ගැමි කෘෂි ආර්ථිකය හා ජන ජීවිතය විනාශ වෙමින් තියෙන බව වටහා ගෙන එයට එරෙහිව හඬක් නැඟු වමේ මුදියන්සේ මාමා අලුත් හෝටලේම සිකුරිටි තනතුරකට ගිය ඔහුගේ පුත්‍ර රත්නය, සරණපාල පොසොන් වන්දනාවේදී මිහින්තලය නගිද්දී හමු වූ අඩු කුලේ යයි සම්මත කුලයක තරුණියක වූ රෝහිණී සමඟ හෝටලයේ කොන්ත්‍රාත් කළ සමාගමේ ගඩොල් කැපීමට පිට ගමකින් ආ බන්දුසේන සමඟ රහසේම ගමෙන් පැන යාම නිසාද සියලු සමාජ දේශපාලන කටයුතුවලින් වැළකී කලක් ලජ්ජාවෙන් හා සිත් තැවුල්ලෙන් සිට අරක්කු බීමට ඇබ්බැහි වී අකාලේ මිය පරලොව ගියේය. කවදත් ගමේ පොදු වැඩවලට මුල් තැන ගත් හා හා අසාධාරණයට එරෙහිවූ කවුරාල අයියාද බලාගෙන ඉද්දී ඔත්පොළ වී පණ අදින තම බන්ඩි ගොයමට වතුර ලබා ගැනීම සඳහා වේල්ලේ ඉබි යතුර බලෙන් කැඩූ වරදට හිර බාරයට ගැනිණ. තව දුරටත් ඔහු ත්‍රස්තවාදියෙකු අපරාධ කාරයෙකු මිසක් පන්සලේ හාමුදුරුවන්ම මීට පෙර කළ හඳුන්වා දුන් පරිදි ‘ගමේ මිණි පහන’ක් නොවීය.

උක්ත කී මහා කොක් සමුළුව මෙලෙසින් කැඳවන ලද්දේ දිනෙන් දින වතුර මට්ටම අඩුවී වැවේ මාළුන් අඩුවන්නට පටන් ගතහොත් තමනට වෙන බලවත් ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහාය.

“අපි ඉස්සර අර බකජාතක කතාව වගේ ප්‍රයෝගයෙන් වෙන ජලාශයක් පෙන්නන සම්යයක් කොක් මුවාවෙන් ඉතිරිවෙන මාළුන් එක එක උස්සගෙන ඈතට ගෙන ගිහින් මරාගෙන කමු”. මේ එක් උපායමාර්ගික කොකෙකුගේ යෝජනාවකි.

“ඕක හරියන්නේ නැහැ. දැන් මාළු දන්නවා කොක්කු මොක්කුද කියල. උන් මිනිසුන්ගේ බිලී කොක්කට අහුවුණාට අපි වගේ කොක්කුන්ට අහුවෙන ජාතියක් නෙවි. උන් අපටත් කොකා පෙන්නන්න ඉඩ තියෙනවා ” වැඩිහිටිම එකා කීවේය.

කෙසේ වෙතත් වැව් ජලය බලා ඉඳිද්දී සිඳී යන්නට පටන් ගත් අතර හෝටලයේ ළැඟුම් ගත් සංචාරකයෝ තන මත්තක් දිය රෙදි පටලා, පිපී එන නෙළුම් කැකුළු මැද්දේ කෙළිදෙළෙන් නාන මංකඩේ ගැමි කැකුලියන් හට උසුළු විසුළු කරමින් විනෝද වෙනු දකින්නට ලැබිණ. ඇතැමෙකු හවස් ජාමයේ රළපනාවේ සිට බීර හා සිගරට් බිබී බිලී බෑමෙන් විනෝද වනු ඇරඹිණි. ඉන්පසු කාලෙක හෝටලයට අයත් ‘රෙඩ් ලෝටස්’ මෝටර් බෝට්ටුව හඳුන්වා දුන් නිසා දිය මතු පිට තැන තැන තෛලමය රටා මැවෙනු දක්නට ලැබිණි. ගමේ යෞවනියන් කුඹුක් සෙවණේ සිට ඇඳුම් මාරු කරනු හා රන්වන් සිරුරු විදහා දිය රෙදි ලිහිල් කොට එකිනෙකාගේ පිට අතුල්ලන දසුන් අතු අතර සැඟවී හොරෙන් නරඹමින් සිටි තරුණ කොකුන්ද විස්සෝප වන්නට සිදුවූයේ ගමට ආ අමුත්තන් නිසා වැවට දිය නෑමට එන යුවතියන් ටිකින් ටික අඩුවුණ නිසාය.

“අපට කොකුන් හැටියට තීරණයක් ගන්න බැහැ. ගත්තත් ක්‍රියාත්මක කිරීමට බැහැ. අපි බලාන ඉමු මිනිස්සු මොකද කරන්නේ කියා. බැරිම උනොත් වතුර තියෙන ඉසව්වකට පියඹලා යමු.”

අවසාන තීරණයට අකමැත්තෙන් බොහෝ දෙනාට කොක් හිස නමන්නට සිදුවිය.

ෙමේ අතර ගමට නායකයින් තෝරන චන්ද සැණකෙළිය උදාවිය. නානාප්‍රකාර කිරි කොකුන් වගේ ඇඳ ගත් විවිධ වර්ණ කොඩි ගසා ගත් වාහන පේළි වෑකන්ද උඩින් දූලි පටල වාතයට මුසු කරමින් ඇදෙන්නට පටන් ගත් අතර යකඩ කටවල් ගහක් ගහක් ගානේ බැඳ රැස්වීම් පටන් ගති. කුඹුක් ගහ යට පැවතී වේදිකාවේ ඉතා වේගවත් වාග් ප්‍රහාරයක් එල්ල කළ විපක්ෂ කථිකයාගේ කතාවට බොහෝ වයසක අම්මලාගේ ඇස් තෙත් විය.

”ආදරණීය අම්මේ, තාත්තේ, බාප්පේ, පුංචි අම්මේ, දුවා දරුවාට අද බොන්ඩ නාන්ඩ වතුර ටික නැහැ. මේ පාලකයෝ කොමිස් වලට කරපු ඊනියා සංවර්ධනය නිසා ගමට කණකොකා හඬලලා. අපි අනිවාර්යයෙන්ම බලයට පත්වෙච්ච ගමන් මාස තුනක් යන්ඩ කලින් විශාල ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. අපි සැලසුම් කරලා තියෙනවා මල්වතු ඔය හරහා විශාල බැම්මක් බැඳලා ඒ වතුර මෙම පළාතේ ගම් හතළිස් පහක් සංවර්ධය කරන්න. එතකොට පුළුවන් කන්න දෙකම නෙවි කන්න තුනක්ම තමුන්නසේලාගේ කුඹුරුවල කරල පැහිල අතමිට සරු වෙනවා බලන්න. මේ තරුණ ගෑනු ළමයින්ගේ කරට මාල පොටක් වැටෙනවට, ගමේ කොල්ලෝ මෝටර් සයිකල් පැද පැද හක්කොලන් කරන කොට, වැවේ වතුර පිරිලා වේලි දිගේ ගලනකොට ..” ඔහු තව මොනවාදෝ කියන්නට හැදුවත් වහා ලේන්සුවක් අරන් උරහිස පිහිදා ගන්නට සිදුවුයේ රැඩිකල් කොකෙකුගේ හදිසි වර්චස් පිඩක් හේතුවෙනි. මේ අතර රැඩිකල් කොකා දුක් වූයේ වෙනදා අසුරු සැණින් දිය යට ඉන්න මාළු නාම්බෙක් ගොදුරු කරගන්න තම තියුණු කුරුමානම අද වැරදුන නිසාවෙනි. ඔහුගේ ඉල්ලක්කය වූයේ මායිම් කෙස්ගස් වලින් වටවී දිලිසෙන තට්ටයය.

“මේ අධිරාජ්යවාදී, ධනපති ක්‍රමන්ත්‍රණ වලට රැවටෙන්න එපා. තමුන්නාන්සේලාට ජයවේවා” කියා ඔහු ඊළඟ කථිකයාට ඉඩ දී ගහ උඩ බලා රවමින් ඉඳ ගත්තේය.

පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ප්‍රශ්නය වූයේ විහාරස්ථානයට වාහනයක් ගැනීමට නිසි පාරක් නොමැති කමය. ඇත්තෙන්ම ගම්මුන්ද හිස සලා සාසනාලයෙන් යුතුව එය අනුමත කළෝය.

පැවති චන්දෙන් විපක්ෂයේ අපේක්ෂක කරුණාසේකර මැති තුමා යාන්තමින් ජයගත් අතර ඔහු ගමේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් දීමට උත්සාහ කරනු බැව් පෙනින. මල්වතු ඔය ව්‍යාපෘතිය දිනෙන් දිනම කල්දාන්නට සිදුවුයේ ඔයේ ගලන වතුර ප්‍රමාණය යෝජිත වැව් පහක් පුරවන්නට හා ඉඩම් අක්කර තුන් දහස් පන්සියයකට බෙදන්නට ප්‍රමාණවත් නොවන්නේයැයි ඉංජිනේරුවන් විසින් රපෝර්තු කිරීමත්, පරිසර ඇගැයීම් වාර්තා අනුමත නොවීමත් හා මූල්‍ය පහසුකම් පිළිබඳ ගැටලුත් නිසාය. කෙසේවෙතත් හෝටල් හිමියා ඇතුළු දානපතියන්ගේ පරිත්යානග හා බලවතාගේ මෙයෙයවීමෙන් පන්සලට යන පාර ඉදිවෙන්නට පටන් ගති..

මේ සමඟ පන්සලට කොන්ක්‍රීට් පියගැට පෙලක් ඉදි කිරීම සඳහා ආධාර වශයෙන් දායක භවතුන්ගේ සහභාගීත්වය අනුව වෙසක් පෝය අල්ලා පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් සල්පිලක් හා ධර්ම දේශනා මාලාවක් පුරා දින දහයක් තිස්සේ සංවිධානය කෙරිණ.

සෑම රැයකම ධර්ම දේශනය ඉතා කෙටි එකක් වූ අතර ඒ අවසානයේ පුල පුලා බලා සිටි පැරණි චිත්‍රපට සංදර්ශන මාලාවකි. නිතරම සට සට ගා කැඩෙන රීල් සහිත ප්‍රොජේක්ටරය මඟින් ගාමිණි, විජය, මාලිනි, ජෝ, ෆ්‍රෙඩී, ඇන්තනි සී ගමේ හැමෝටම රස ගුලාවක් මැවූහ.

පුංචි උන්ට නම් ‘එදත් සූරයා අදත් සූරයා’ චිත්‍රපටයේ මුලදී රුවැති නිලියක් හා අවසානයේ ඇටකටු ගොඩක් සමඟ නටන ඇලෙක්සැන්ඩර් ප්‍රනානාන්දුගේ “ඩිෂුම්.. ඩිෂුම්.. ෆයිට්” ඉස්කෝලේ සහ දෙවට පාරේ රසබර ‘ඇක්ෂන් පැක්’ කතාවලට අගනා මාතෘකාවක් විය. පොසොන් සමයේ හේන් වලින් හමන හීන් තල මල් වල සුවඳ හා ඇසළ මල් සුවඳ යල් සුළඟට එක්වෙන්නේ රජරට සියලු වැස්සාට මිහින්තලේ වන්දනාවට ඇරයුම් කරමිනි.

රිදී තිරයේ බැබලුණ ගාමිණී – මාලිනි ආදර වෘතාන්තයට සමාන්තරව සරණපාල ගේ වැන්දඹු බිරිය රෝහිණී හා අලුතින් ඉදිකෙරෙන පාරේ ඩෝසරේ වැඩට ටවුමෙන් ආ ඇන්ටන් අයියා අතර ඇති මූකලාන් සම්බන්ධය ගමේ තවදුරටත් රහසක් නොවුයේ මුලදී මුලදී වැවෙන් බිලී බාගෙන හීනි කූරටියා කෝටුවක ඇමිණු මාළු කූරියන් හෝ ගල් ඉබ්බෙක් එල්ලාගෙන හවස් යාමේ සරණපාලගේ ගේ හේලංකඩට ඇවිත් ඇරඹුණ ඔවුන්ගේ දෙබස් දුර දිග ගිය නිසාය.

‘’අනේ නංගියේ මේක ලුණු මිරිස් ටිකක් දාල හදල දීපං. මං නාගෙන හවස් ජාමේ එන්නම්”

“චී..යා.. අයියා… මට බෑ ඔය ඉබ්බන් තටු ගහන පව්කාර වැඩේ”

එසේ කියා ඇය දැක්වූ මූලික විරෝධය හේතුවෙන් ඉබ්බා ගේ කට්ට ගැලවීම ඇන්ටන් ගේ අතින්ම කරන්නට සිදුවිය. මුලදී ‘චී..යා’ කී මුත් හැන්දෙන් අල්ලට ගෙන අප්පිරියාවෙන් දිව ගා රස බැලු ඉබිමස් ව්‍යංජනය පසුව රෝහිණීට රස නහර පිනවන භෝජනයක් සේ දැනුණි. ඇන්ටන් අයියාගේ හැඩි දැඩි බාහු මෙලෙස සවිමත් වුණේ ඉබිමස් කෑම නිසා දැයි රෑ ගොම්මන් යාමේ ආපසු ගෙයින් පිටව යන ඔහු දෙස බලමින් නොයෙක් වර ඈ සිතුවාය. ඈ අසා ඇති අන්දමට ඉබි මස් කෑ අයගේ අතට ඉස්පිරිතාලේ ගහන ඉන්ජෙක්ෂන් කටු ද කැඩී යයි.

සරණපාලට මේ ද්විපාර්ශික මාංශ භක්ෂක ගනුදෙනුව ගැන නරක ආරංචි ලැබී කිහිප දිනක් කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයට පහර දුන් මුත් ඇන්ටන් ගේ කෑම වේල් වෙනුවෙන් දිනපතා අතට ලැබුණ මුදල හා ඉඳහිට ඔහුත් සමඟ අනුරාධපුර ටවුමෙන් ගෙනා අරක්කු බෝතලයත්, සරණපාල ගේ කොලුවා ට ඩ්‍රයිවින් පුරුදු කොට ටවුමේ රස්සාවකට දමා දීමට ඇන්ටන් දුන් පොරොන්දුත් ඉදිරියේ ඔහු අසරණ විය.

කෙතරම් සැමියාගේ ගුටිබැට කෑවත් රෝහිණීත් ඇන්ටන් අයියාගේ මුවේ එන අරක්කු ගඳ ඉවසා සිටියේ ඇන්ටන්ගේ රෝම පිරි පපුවේ ගාමිණී ෆොන්සේකාගේ මනස්කාන්ත රුව ඇඳී තිබීම නිසාය. ඇයට එය මාලිනි රඟ පෑ ජවනිකාවල සේ ‘කස්තුරි සුවඳක්’ ම විය.

බටහිර සිට හමා එන වියළි බොල් සුළඟ මෙවර මඳක් වයඹ දෙසට හැරී අනුකම්පා විරහිතව ගමේ ගස්වල කොළ බිමට උදුරා දැමීය. වරෙක මිහිතල ආසන්නයේ සෙමිනුත්, වරෙක උස් අහසේ සිටත් පාත් වී වඩවඩාත් වැව් ජලය උණුසුම් කර බොන්නට ඇබ්බැහි විය. නියන් කාලය කන්න කිහිපයක්ම ඇදී ගියේය. සියාතු ආතා පොළොව දිහා බලනවාට වඩා අහස දිහා බලන වාර ගණන වැඩි විය. වෙනදා වැව් මාළුවලට අමතරව කුඹුරුවල පණුවන්, ඇට වර්ග, කක්කුට්ටං පහසුවෙන් අතුරු පස කරගත් කොක්කුන්ට හිඳෙන වැවේ අනාරක්ෂිත මසුන් ගෙන් පමණක් සෑහීමට පත් වන්නට සිදුවිය.

සරණපාල ගෙදර ඒම ටිකෙන් ටිකම අඩුවුණ අතර බොහෝ දිනවල බීමතින් වැටී සිටි ඔහු ගෙදර ඔසවා ඇවිත් පිලේ බාවා තැබීමට ගමේ මහතුන් හා සිරිවර්ධනලාට සිදුවිය.

මුලින්ම කී කොක් සමුළුවෙන් මාස කිහිපයකට පසු ජීප් රථයකින් අනුරාධපුරේ සිට පැමිණි නිලධාරින් පිරිසක් වෑ කන්ද මත්තේ තෙපා උපකරණයක් අටවා රූස්ස ගස් කිහිපයක රතු පාට තීන්තෙන් ඉංග්‍රීසි “E” අක්ෂරය ලකුණු කළහ. මේ විදියට කොක්කුන්ගේ වාසස්ථානය වූ කුඹුක් ගසද තවත් කුඹුක් ගස් පහක් හා ලුණුවරණ ගස් දෙකක්, වල් අඹ ගහක් මේ විදියට හණ කෙටීම තවත් ඛේදවාචකයක ආරම්භය බවත්, ගමට හා පන්සලට යෝජිත විදුලිය ලබා ගැනීමට නම් ඉදි කෙරෙන නව මාර්ගය අයිනේ විදුලි රැහැන් වලට බාධාවෙන සියලු ගස් කපා දැමීමට “E” අකුර සහිත සංකේත මරණ වරෙන්තුව ක්‍රියාත්මක වෙන බව කොක්කුන්ට තේරුම් ගන්නට වැඩි දවසක් ගියේ නැත. සියාතු ආතා කිව්වේ ඔවුන් ‘සර්වේ ජනෙල් කන්තෝරුවේ මහත්තැන්’ කියාය. වැවට වතුර ඉල්ලා පුදපූජා රාජකාරි ඉටු කළ තමන්ට සෙවණ දුන් දැවැන්ත නුග රුක පවා බේරා ගැනීමටවත් අයියනායක දෙවියන්ට නොහැකි විය.

නැවත එන්නට පොරොන්දු වූ කරුණාසේකර මැතිතුමා ගමට එම ක්‍රම ක්‍රමයෙන් අඩුවීම ගැන ගම්මු නිහඬව සිටියත් රෝහිණී අකාලයේ වැහැරෙන්නට පටන් ගත්තේ තම උපදින්නට සිටින දරුවා වෙනුවෙන් වත් ඇයව බලන්නට ඇන්ටන් අයියා යළි නොපැමිණීම ගැනය.

කුඹුක් ගස උඩ පැවති අවසාන කොක් සමුළුව පැවතුණේ ඉතාම අඩු සාමාජික සංඛ්‍යාවක කොක් සහභාගීවත්වය යටතේය. ඒ පවතින හදිසි තත්ත්වය තුළ වතුර ඇති තැනකට හැකි ඉක්මනින්ම පිටත් විය යුතු බව කොක් නායක තෙමේගේ නිවේදනය කියෙවීමට පමණි. ඒ වන විටත් කොකුන් වරින් වර බසවක්කුලම, තිසාවැව, නාච්චාදුව වැනි වැව් කරා පියඹා ගොස් සිටියහ .

බටහිර විල්පත්තු කැලයේ සිට ආ යල් හුළඟ අවසාන වතාවටත් කුඹුක් ගහේ අතු රිකිලි වලට වද දෙමින් කරටිය අඹරවමින් තිබුණි.

 

සිළුමිණ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top