සංඛනාද වෙදගෙවත්ත
පූජ්‍ය ආනන්ද මෛත්රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජ භූමිය කොට ගත්තේ බළංගොඩ ප්රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප්රදේශයව පවතී. පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්රය නායක හාමුදුරුවන් විසින් එක්රැස් කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප්රකාශිතව සුරක්ෂිතව පවතී.
ආනන්ද මෛත්රය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් අද අපේ අවධානයට ලක්වන්නේ කැස්ස හෙවත් කාස රෝග සඳහා යොදා ගන්නා ලද බෙහෙත් වර්ගයන් ය.
1. කැස්සට බෙහෙත්
සිරිතේක්කු, කටුවැල්බටු මුල්, නවනෑඹිලියා මුල්, තිප්පිලි, මිරිස්, සිද්ධිඟුරු යන මේවා කකාරා කසාය බීමට දෙන්න. සියලූ කාස රෝග සුව වේ.
වැල් තිබ්බටු මුල්, මිරිස් මෙයින් කකාරා කසාය බොන්න දෙන්න. සියලූ කැසි රෝගවලට ගුණ දෙයි.
ත්රිසුගන්ධ, තිපල්, තිප්පිලි, සිද්ධිඟුරු, මිරිස් යන මේවා සොළොස් කලඳක් ගෙන කසාය කකාරා පෙරා මී පැණි මිශ්‍රකොට දෙන්න.
කටුවැල්බටු මුල්, අරළු, අතිඋඩයන්, මිරිස්, සිද්ධිඟුරු, තිප්පිලි යන මේවා කසාය කකාරා මී පැණි මිශ්‍ර කොට බීමට දෙන්න. ශ්ලේෂ්මා ප්රසේක හෙවත් කටට කෙල ඉනීම ද අග්නිමන්ද, කැසි, මුස, ප්‍රතිශ්‍යා, උගුරෙහි රෝග යන රෝග හා ව්‍යාධි ගුණ වේ.
2. ලය තැලූණු කාසයට
රසඳුන් කැට, සීන් මැඩහඟු මුල්, රත්නිටුල් මුල්, වැල්මදට, දියමිත්ත මුල්, තිප්පිලි, වේලිකසා මෙකී දෑ සමව ගෙන චූර්ණ කොට මී පැණි වැඩියෙන් ගෙන එම චූර්ණ තුන් කළඳක් දමා හොඳින් පදම් වන තුරු අනා ආහාරයට ගන්න. ලය තැලී සෑදුනු හා ඇඟ වැහැරී සෑදුනු කැස්ස සුව වේ.
3. කාසශ්වාසයට
අරළු, කලාඳුරු අල, සිද්ධිඟුරු මේවා සමභාග ගෙන අඹරා සීනි එක් කොට අනා ගුලි කොට කටේ රඳවා ගන්න. කාසශ්වාසයට ගුණ දේ.
4. චූර්ණය
කර්කටකශෘංගී, මිරිස්, තිප්පිලි, සිද්ධිඟුරු, තිපල්, සිරිතේක්කු, කටුවැල්බටු, නෙළුම් අල, ජටාමාංස, සවින්දව ලූණු සම සමව ගෙන චූ ර්ණ කොට ව්යාධියෙහිද ආතුරයාගේ බල දැන තුන් කලඳකින් මෙපිට උණු දියෙන් දෙන්න. ඉක්කාව, ශ්වාස, කැසි, අරුචි, පීනස, ඌර්ධවාත යන මෙකී රෝග ගුණ වේ.
5. කාසශ්වාසයට
වම්මුතු, අරළු, සිද්ධිඟුරු යන මේවා සම සමව ගෙන චූර්ණ කොට උක් හකුරෙන් අනා ගුලි කොට මුඛයේ තබාගන්න. දරුණු වූ ශ්වාසය ද, වර්ධනය වූ කාසශ්වාසය ද ගුණ වේ.
6. කාසයට (කැස්සට) කැවුමක්
නව නෑඹිලිය කොළ හෝ අට්ටික්කා කොළ හෝ ගෙන එපමණට හීනටි සහල් ගෙන මිරිස් ස්වල්පයක් සමඟ අඹරා තල තෙලෙන් කැවුම් පිස දෙන්න. අසාධ්‍ය වූ සියලූ කාස රෝග ගුණ වේ.
7. කාසයට දුමක්
තිප්පිලි, ඉරමුසු මුල්, හිරියල් යන මේ දෑ අඹරා පාන්වැටි තනා දුම් බීමට දෙන්න.
8. කැස්සට
කටුවැල්බටු සොරස නැලියක් ගෙන එළඟිතෙල් සතර පලමක් එක් කොට එම කල්කයට සාරණ මුල් කලං හයහමාරක් ගෙන අඹරා කල්ක කොට, තෙලෙහි කලතා මඳ ගින්නේ කකාරා සම පාකයට බා පෙරා වළඳනු. සියලූ කැස්ස රෝග සුව වේ.
9. කැස්ස මුස ගුල්මාදියට
සිරිල මුල් සැට සතර පලමක් ගෙන කුඩා කොට පොළු ගසා හැළියක දා වතුර දහසය නැළියක් වත්කොට සත්දවසක් මද
ගින්නේ කකාරා පතකට සිඳුවා බා පෙරා එළඟිතෙල් නැලියකුත් වත්කොට මිට කල්ක සිද්දිගුරු, සිවිය මුල්. රත්නිටුල් මුල්, තිප්පිලි, යවකාර ලූණු, සවින්දව ලූණු මේවා පලම බැගින් ගෙන අඹරා කල්ක කර තෙලෙහි කලතා දින පහක් මද ගින්නේ කකාරා බා පෙරා තබා වළඳනු. ගුල්ම, පාණ්ඩු රෝග, ග්‍රහණි රෝග, උදාවත_, ජවර ප්‍රතිශ්‍යා, අර්ශස්, කැසිමුස යන රෝග සුව වේ.
10. තුන් දොසින් උපන් කැසි මුසට
ඉරමුසු මුලේ පොතු, වරා මුලේ පොතු මෙකී දෑ සමභාගව ගෙන අඹරා උණු පැණින් කලතා වළඳනු. තුන් දොසින් උපන් කැසි මුස ගුණ වේ.
11. පංච කාසාදියට
අසමෝදගන්, රසකිඳ, තිකුළු, රත්නිටුල්, රැත්ත, පැපිලිය, වම්මුතු, දළුව මුල් යන මෙයින් සය කලඳ
බැගින් ගෙන උක් සකුරු විසිපලමක් දියේ පදමට කකාරා පදම ආ විට චූර්ණය එහි බහා හැඳිගා බා තබා මාත්‍රා දැන දෙන්න. පංච කාස, හෘද රෝග ද ක්ෂය, ශ්වාස, විසම ජ්වර, අරිසස්, ග්‍රහණි, හික්කා, භගන්දර, උදර, පාණ්ඩු, ගුල්ම, රක්ත දොස ආදී මේ හැම
රෝගයක්ම සුව වේ.
දිවයින