දැන් යූටියුබ් පාත්ති දාලයි තියෙන්නේ ඉන්දියාවේ කසිකබල් ලංකාවේ ගොඩ රුපියලට පෙන්වනවා
ඔහු ගැන කතා කරනවාට වඩා ඔහු ගැන හැඳින්වීමක් ලියන්න ගන්නා ඉඩකඩට වඩා ඔහු අපත් සම`ග කී දෑ ඔබට ලියා තබන එක ඊට වඩා වැදගත් කියලා අපිට හිතුණා. මොකද අපි එහෙම කියන්නේ ඔහු මේක ඇතුළේ ඉන්න වැඞ්ඩෙක් හින්දා මේ නම කියවන කොටම ඔබට හිතේවි මේ කතාව නම් කියවන්නම ඕනෑ කියලා. එහෙනම් කියවලා බලන්නකෝ මහේන්ද්‍ර පෙරේරා රංගධරයා කියන මේ කතාව
* මහේන්ද්‍ර පෙරේරා පසුගිය දවස්වල මුහුදු ගියා කියලා තමයි ආරංචිය?
අම්මෝ ඔව්. කොරෝනාවලින් මිදි ලා දවස් 25 ක් විතර මුහුදු මැද්දට වෙලා හිටියා. මගේ සිනමා ජීවිතයේ ලබපු හිතාගන්නම බැරි අත්දැකීමක් තමයි ඒක. මේක හරිම දුලබ කතාවක්. අරුණ ජයවර්ධන තමයි අධ්‍යක්‍ෂණය කළේ. තවමත් ඒ ගැන මතක් වෙනවා. බහුදින ධීවර යාත‍්‍රාවක තමයි අපි හිටියේ. මුහුද එක එක වෙලාවලට එක එක විදිහට වෙනස් වෙනවා.
* බිහිසුණු අත්දැකීම්වලට එහෙම මුහුණ දුන්නාද?
මුළු වැඬේම බිහිසුණු තමයි. අපිව එක වතාවක් කුණාටුවකට හසුවුණා. දෙයියන්ට කිය කියා හිටියේ. ඒ තරම් බයවුණු දවසක් මගේ ජීවිතයේම නැහැ. බෝට්ටුව සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරුණා. කතාවේ හැටියට මම තමයි බෝට්ටුවේ නායකයා. බෝට්ටුව පදවන්නත් මට ඉගැන්නුවා. ඇත්තම කිව්වොත් ජීවිතය ගැන අමුතුම අත්දැකීමක් ලබාගත්තා. ඔයා දැකලා තියෙනවානේ විදුලි කොටනවා නමුත් විදුලියක් කෙටුවහම මුළු ආකාසය ම කොයිවගේද කියලා දැන ගත්තේ එදා තමයි.
ස්වභාදහම කියන්නේ මහ පුදුමාකාර දෙයක් කියලා තමයි මට හිතුණේ. මට නම් වතුරට බහින දර්ශන තිබුණේ නැහැ. නමුත් හේමාල් දසුන් දර්ශන වගේම අශාන්ට වතුරට බැහැලා රූගත කරන දර්ශන තිබුණා. අපි වටා කිමිදුම්කරුවන් බෝට්ටු දාගෙන තමයි ෂුටින් කළේ. මගේ අම්මේ මුහුද මේ තරම් රුදුරු වෙන්නේ කොහොමද කියලා මාරියා චිත‍්‍රපටයෙන් තමයි දැන ගත්තේ.
* පසුගිය කාලය පුරාවට ම මහේන්ද්‍ර පෙරේරා කියන රංගධරයාව අපිට වැඩිපුර දකින්න ලැබුණේ නැහැ ඇයි ඒ?
චිත‍්‍රපට ගොඩක් කරලා තියෙනවා. දැන් ඉතිං චිත‍්‍රපට රිලීස් වෙන්නේ නැහැනේ පේනවානේ කොරෝනා හින්දා සිනමාවට වෙලා තියෙන දේ්. සිනමාහල් වැහිලා ගිහිල්ලා. මුළු රටේ ම සිනමාහල් 62යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවායිනුත් අපේ චිත‍්‍රපට කවදා කොයි විදිහට පෙන්වයිද දන්නේ නැහැ. ආදායම අතින් සාර්ථක දෙයක් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒක හින්දා සමහර චිත‍්‍රපට පෙන්වන්න පහුකර කර ඉන්නවා පස්සේ කාලයක ප‍්‍රදර්ශනය කරන්න.
* ඔබ පසුගිය කාලයේ වැඩිහරියක් ර`ගපෑවේ චිත‍්‍රපට, ටෙලිනාට්‍ය කළේ හරි අඩුවෙන් ඇයි ඒ? ටෙලිනාට්‍යවලට දායක වෙන්න අකමැත්තක් එහෙම තියෙනවාද?
ටෙලිනාට්‍යවලට දායක වෙන්න අකමැත්තක් නැහැ. මම දැන් මෙගා ර`ගපාන්නේ නෑ. හැබැයි කොටස් පනහේ වගේ ටෙලි නාට්‍යවල ර`ගපානවා. නමුත් මේ ළ`ගකදී රූගත කිරීම් සිදු කළා චරිත් අබේසිංහගේ නම්බර් 9 කියලා ටෙලිනාට්‍යයක්. ධනංජය සිරිවර්ධනගේ තිරපිටපතකට අනුව තමයි මෙය නිර්මාණය වුණේ. ඒ වගේ ටෙලිනාට්‍ය බිහි වෙනවා හරි අඩුයි. හු`ගක් වෙලාවට දැන් වැඩිපුර හැදෙන්නේ කසිකබල් මෙගා ටෙලිනාට්‍යනේ. ඒවාට අපි කොහොමටත් යන්නේ නැහැ. අනික අපිට කතා කරන්නෙත් නැහැ. ටෙලිනාට්‍ය කරපුවත් තියෙනවා. කීපයක්ම ඒවා නුදුරේදීම විකාශනය වෙයි කියලා විශ්වාසය තියෙනවා. නමුත් වැඩිහරියක් යොමු වෙලා හිටියේ සිනමාවට. මොකද මම ආස සිනමා නළුවෙක් වෙන්න.
* කොරෝනා වසංගතයත් සම`ග තවත් සිනමාහල් කිහිපයක් පසුගියදා වැසීගියා. සිනමාවට කැමැති ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
මට විතරක් නෙමෙයි. මේ තත්ත්වය අධ්‍යක්‍ෂකවරුන්ට සිනමා තිරකතා රචකයන්ට චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ට වගේ ඔක්කොටම බලපාන ප‍්‍රශ්නයක්. නමුත් සුබවාදී මතයක ඉන්නවා. කොතැනක හෝ අලූත් විදිහේ ෆ්ලැට්ෆෝම් එකක් හැදේවි කියලා. සිනමාශාලාවලට මේක බලන්න බැරි තත්ත්වයක් උදාවෙයි. දැන් අපි දන්න වානේ නෙට්ෆිලික්ස් සී ෆිලික්ස් වගේ අන්තර් ජාලවල ෆ්ලැට්ෆෝම් තියෙනවා. ඒ වගේ දේවල් ඉදිරියට තව ප‍්‍රගුණවෙලා නිර්මාණයවෙලා ඒවා එහෙම ආවොත් තමයි ඉදිරියේදී සිනමාව රස විඳින්න වෙන්නේ. සිනමාහල් කිහිපයක් රිදී තීරය කියලා ඔහේ තියේවි. පුංචි ළමයින්ට ගිහිල්ලා පෙන්වන්න මෙන්න මේවා තමයි පුතේ අපි ඉස්සර බැලූවේ. පොඩි ඇන්ටික් කමකට පෙන්වන්න හෝල් කිහිපයක් ඉතුරු වේවි එහෙම හරි ඉතුරු වුණොත් හොඳයි. ලෝකය වෙනස් වෙලා තියෙනවා. ලෝකය වෙනස් වෙමින් පවතිනවා. පේනවානේ වෙනස් වෙච්ච වෙනස් විල්ල අපිට ස්වභාදහම බල කරලා තියෙනවා වෙනස් වෙනවා කියලා. ඉතිං ඒක හින්දා මේ හැමදෙයක්ම සුබවාදී විදියට වෙනස් වේවි කියලා හිතනවා.
* මෙගා වැඩභාර නොගැනීමෙන් ඔබට රූපවාහිනියට එන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා නේද ඒකත් ඔබේ ජනප‍්‍රියත්වයට වගේම මිනිස්සු අතරට යන්න තියෙන අවස්ථාව අහිමි වීමක් කියලා හිතෙන්නේ නැත්ද?
නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. මළජරාව දහයක් කරනවාට වැඩිය හොඳ එකක් කළහම ඇති ඒක කාලයක් පවතිනවා. ඒක සෑහෙන කාලයක් රඳාපවතිනවා. අර ජරාව කරගෙන නටාගෙන ඉන්නවාට වැඩිය. මගේ මතය හොඳයි. චිත‍්‍රපටවලදී මට එහෙම අන්තවාදී වෙන්න බැහැ. මම ඔය දෙපැත්තම කරනවා දැන් ටෙලිනාට්‍යවල වුණත් කොමඩි සීරියස් වුණත් භාරගන්නවා. මට ඒක ප‍්‍රශ්නයක් නැහැ. සතියේ දවස් පහම පෙන්වන එක තමයි මට තියෙන අවුල. සතියට දවස් දෙකක් විතරක් පෙන්වනවා නම් ඒක වඩා වටිනා තත්ත්වයකට එනවා. අනෙක් අයටත් අවස්ථාව එනවා විවිධ නිර්මාණ කරන්න. එක්කෙනෙක්ම එකම බෙල්ට් එක අවුරුදු දෙකක් විතර බදාගෙන ඉඳීම මම හිතන්නේ නැහැ සුදුසුයි කියලා වැඩ කරන්න. පුළුවන් මිනිස්සු පැත්තකට වෙලා ඉන්නවා. මොකද ඒ ගොල්ලන්ට බෙල්ට් නැහැ. සිතියේ දවස් පහම තුන් හතර දෙනෙක් බදා ගෙන ටෙලි නාට්‍ය තුන හතරක් අවුරුදු තුන හතරක් තිස්සේ මිනිස්සු එල්ලීගෙන බලාගෙන ඉන්නවා. මේක දැන් අච්චාරුවක් කරලා දාලා තියෙන්නේ. මොකද අනෙක් අයට අවස්ථාවක් දීලා නැහැනේ වැඩ කරන්න. වැඩ කරන්න පුළුවන් පිරිස් පැත්තකට වෙලා ඉන්නවා. මොකද ඔවුන්ට මිලක් නියම කරන්න බැහැ. හොඳ නිර්මාණයක් කරගන්න මහන්සි වෙන්න විදිහක් නැහැ. මේක සතියේ දවස්පහම කට්ටියක් බදාගෙන මේක හින්දා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව විකාරයක් වෙලා තියෙන්නේ. කොරෝනාවලින් ලැබුණ එකම වාසිය තමයි පැරණි ටෙලි නාට්‍ය ටික ආපසු මිනිස්සුන්ට බලන්න ලැබුණා. පැරණි චිත‍්‍රපට බලන්න පුළුවන් වුණා. පැරණි ටෙලිනාට්‍යවල රස වින්දනය කොයිතරම් උසස්ද? දැන් අපේ ඊළ`ග පරම්පරාවට මොකද වෙන්නේ. එකම කලිසමක් ෂර්ට් එකක් ඇඳගෙන හිටියා වගේ අවුරුදු ගණනාවක් අර ම`ගුල් බලාගෙන ඉන්න වෙනවා. පිටරටින් ගෙනැල්ලා අර මඟුල් පෙන්වනවා. උන්ගේ අම්මලා තාත්තලා ඇඳගෙන ඉන්නේ වෙඩින් එකකට යන්න ගිහිල්ලා යන්න බැරි වුණා වගෙයි ගෙදර ඉන්නේ. ඊළ`ග පරපුර හිස් මනෝලෝකවලට ඇඳලා දානඑකයි තමන්ගේ මඩිය තරකර ගන්නඑකයි මේ කෙන්කෙරෙන්නෙ. , ඔතැනයි ප‍්‍රශ්නය තියෙන්නේ. රස වින්දනය දැන් නැත්තට ම නැතිවෙලා යනවා ඒකත් එක්කයි මේ ප‍්‍රශ්නය එන්නේ. රටක රසවින්දනය උසස් තැනකට ගෙනියන්න බැරි වුණොත් ඒ රටේ අධ්‍යාත්මය විනාශ වෙනවා.
* හැබැයි ඔබ ඔය සඳහන් කරන නාට්‍යවලට වෘත්තීය රං`ගන ශිල්පීන් ශිල්පිනියන් හඬ කැවීමෙන් දායක වෙනවා නේද?
ඔව් හඬ කවනවා. කරන්න දෙයක් නැහැ ඒක තමයි මම මේ කියන්නේ. අනාගතයේ අපේ රටේ නළුවෝ නිළියෝ බිහිවෙන එකක් නෑ. පිටපත් රචකයෝ බිහි වෙන එකක් නෑ, අධ්‍යක්‍ෂකවරු බිහිවෙන එකක් නෑ. දෙබස් කවන හඬ කැවීම් ශිල්පීන් ටිකක් බිහි වේවි. බොහෝම අතළොස්සක් තමයි හොඳ නිර්මාණයන් කරන්න ඕනෑ. කියන තැන ඉඳලා මේක කරගෙන යන්නේ. දැන් සියල්ලම පිටරටින්නේ ගේන්නේ. ඒ වගේ මේවත් එන්නේ පිටරටින් තමයි. ඔය කසිකබල් ටෙලිනාට්‍ය මම හිතන්නේ ඉන්දියාවේ කුණුබක්කිවලට විසිකරන ඒවා වෙන්න ඕනෑ. මේ ටෙලි නාට්‍ය ඉන්දියාවෙන් බලන්නේ නැතිද කියලා. ඒ වුණාට ඒවා මෙහෙගෙනැල්ලා දෙබස්කවල ගොඩ, රුපියලට දාලා පෙන්වනවා. මේකෙන් වෙන්නේ අපේ රටේ රසවින්දනය නැතිවෙලා යන එක විතරයි අපේ නිර්මාණ ශිලීත්වයත් විනාශවෙලා යනවා අපේ විශ්වාසය බහිනවා. කලකිරීම් ඇති වෙනවා ඕවා ගෙන්නන්න එපා කියලා කොයි තරම් නම් කෑගහලා තියෙනවාද? කොයි තරම් නම් කියලා තියෙනවාද? හැම රජයක්ම බලන්නම් කිව්වාට කවුද ඒ ගැන බලන්නේ. තවත තවත් ගෙන්වනවා. බල්ලෙකුටවත් කටේ තියන්න බැරි කතා තමයි ගෙනැල්ලා පෙන්වන්නේ.
* වෘත්තීය කලාකරුවාගේ ජීවිතය පිළිබඳව අද වෙනකොට අවිනිශ්චිත තත්ත්වයක් නේද උදාවෙලා තියෙන්නේද?
ඕක අද ඊයේ ඇති වුණ දෙයක් නෙමෙයි. මේ කසිකබල් මෙගා පෙන්වන්න පටන් ගන්න දවසේ ඉඳලා වෘත්තීය කලාකරුවා නැතිවෙලා ගියා. ඊට පස්සේ ඔවුන් ඔක්කොම යූටියුබ් චැනල් කරගෙන ඕවායේ මොනවා හරි විකාර පෙන්වා ගෙන කාවහරි ඉන්ටර්වීව් කරගෙන කීයක් හරි හම්බකරන්න බලනවා. සමහර යූටියුබ් චැනල් බොහොම ගරුගාම්භීර විඳිහට කරනවා. දැන් මම යූටියුබ් චැනල් එකක් දාගෙන මොකක් හරි මඟුලක් පෙන්වලා කීයක් හරි හොයාගන්න ඕනෑ කියන තැන ඉන්නේ. අඩුම තරමේ කෑම වේලක් හරි උයන එකක් පෙන්වලා කීයක් හරි හොයන්න ඕනෑ කියන තැනට පත්වෙලා.
* මේ වෙනකොට කලාකරුවෝ හැමෝම වගේ යූටියුබ් චැනල් පටන් අරගෙන. මේ කරන වැඩවලින් කලාකරුවන්ට තියෙන වටිනාකම බිඳ වැටෙනවා නේද?
කලාකරුවා විතරක් නෙමෙයි දැන් සාමාන්‍ය මිනිසුන් යූටියුබ් චැනල් පටන් අරගෙන තියෙන්නේ. දැන් යූටියුබ් පාත්ති දාලා තියෙන්නේ කලාකරුවෙක් යූටියුබ් එකක් දාගත්තාම කමක් නෑ කලාකරුවන්ට යම්කිසි පණිවුඩයක් රටට දෙන්න ඒ හරහා පුළුවන්. මේක නිකම් කරන්න දෙයක් නැති හින්දා මේක අරගෙන එක එක දේවල් හදවලයි විකුණනවයි එක එක විකාර විගඩම් පටන් අරගෙන තියෙනවා. වීව්ස් වැඩි කරන්න විවිධ විගඩම් පෙන්වනවා. හැබැයි ඒ වැඬේ වුණත් ගරු ගාම්භීරව කරන අයත් ඕනෑ තරම් ඉන්නවා.
දිනේෂ් විතාන –දිවයින