මේ යුරෝ­පය නෙවෙයි බෝපත්තලාවයි

ක්ෂිතිජ මායිමෙන් මෙපිටට වූ උස් බිම් කඩවල් රේඛාවකින් සලකුණු කලාක් මෙන් පෙනේ. නිල්වන් අහස් කුස පුරවාගත් සුදෝ සුදු වලාකැටි පාවෙමින් විත් ඒ කඳු මුඳුන් මතින් උස්ම කඳු මුඳුන සළුවකින් වසා ගන්නා බඳු දර්ශනය මන්මත් කරවයි. මා ඒ දෙස ගිජු දෑසින් බලා සිටියේ දෙපසින් වූ වන ලැහැබින් ගලා එන සීත සුළං ගත වෙළෙමින් තිබූ මොහොතකය…

 

වෙනදා මෙන් කලබලකාරී පරිසරයක් නැත. පෙර නොවූ විරූ අපූර්වතම දිනයක් උදා වෙමින් තිබුණි. පෙර දින රාත්‍රියේ පූර්ණ චන්ද්‍රාලෝකයේ නැහැවෙමින් ඉන් උපන් ශාන්තිය සහිතව නින්දට වන් අප ප්‍රමුදිත සිතින් ඇහැරෙන විට අරුණ නැඟීමට ආසන්න වෙමින් තිබුණි. ගවරවිල තැන්නේ තනි නොතනියට ගලන ජල කඳ ඉහළ ගාට්මෝර් ලෙසින් නම් දරන්නට තතනනු පෙනේ.

ගවරවිල තැන්නේ ඔබමොබ ඇවිදිමින්ද ඉහළ ගාට්මෝර් ඇල්ල නිර්මාණය කරන පරිසරයට පැමිණියෙමු. කාලය යනු නොදැනේ. පැයක පමණ කාලයක් පරිසරයේ රිසිසේ විඳිමින් ගත කරන්නට ඇතැයි සිතේ. තවත් කඳවුරු රාත්‍රියක් ගත කිරීමට සැලසුම් කර තිබුණු හෙයින් උදෑසන හතේ කණිසම පසුවන විටම තැන්නෙන් පිටවීමට වග බලා ගත්තෙමු. එකිනෙකට වෙනස් නමුදු එකම පරිසරයක දෙයාආකාරයක රසාලිප්ත බව රාත්‍රී සංචාරයකින් මෙන්ම දහවලේ සංචාරයකින් ලද හැකි බව දැනේ. වනයෙන් එළියට බට අපි තේ වතු හරහා පෙර දිනට වඩා වැඩි වේගයකින් ගාට්මෝර් වෙත ගමන් කරන්නට වීමු. එහි වූ කුඩා දිය ඇල්ලක් අසල අපේ දිවා ආහාරය සකස් වූයේය.

ඒ අතර අසලින් ගලා බසිනා දිය දහරේ ගිලී යන්නට වෙලාව සොයා ගත හැකිය. එය සිරුරට පිදෙනා දිව්‍යමය සත්කාරයක් වැන්න. දිය දහරෙහි ගිලී දිවා ආහාරය ද ගත් පසු ලින්ස්ටඩ් කොටස මැදින් වැටුණු මාර්ගයට අප පිවිසුණේ හරිත කන්ද බලා ගමන් කිරීමටය.

පෙරදින මහා වර්ෂාවක් ඇදහැලී ඇත. ගල් පර්වත මත අධික තෙතමනයකි. කන්දේ පළමු කොටසේ රාත්‍රී කඳවුරු සකස් කරගත් අයවලුන්ට කුඩාරම තුළ නොනිදා රැය පහන් කිරීමට සිදුවූ බව ඇසූ අපිට පෙරදින රාත්‍රිය අප මොන තරම් පහසුකම් සහිතව ගත කළේ දැයි සිතුණි.

අතරින් පතර තේ ගස් අතරින් උසින් වැඩුණු විශාල ශාකය. ඒ මත කොක්කු රංචුවකි. අනෙක් සංචාරයන් හා සැසඳීමේදී මේ පරිසරයට ඒ කොක් ගහනයේ දැකුම නුහුරුය. නුපුරුදුය. මේ දැකුම් පසුකරමින් අපි ගමන කරමින් සිටියෙමු.

සුපුරුදු බෝපත්තලාව සංචාරකයන් අතර හරිත කන්ද යැයි ප්‍රකටවන තරම් වූ පරිසරය පළමුව දක්නට හැක්කේ මෙතැනදීය. කොළ පැහැ විල්ලුද ඇතිරූ පලසක් බිම එළුවාක් මෙන් ඉහළට නැඟි යන කඳු යුරෝපීය රටවල කඳුමුදුන් සිහි ගන්වයි. අඩි පාර කඳු මුඳුනට වැටී තිබේ. තෘණ වසාගත් භූමිය මත වූ අඩි පාර දඟකාර දරුවකු කෝටුවක් වැලි සහිත බිමක ඇදගෙන යාමෙන් වැලි දෙපසට වී තිබීම සිහි ගන්වයි.

අඩි පාර සහිත මාර්ගයේ අප ඉහළට ඇදුණෙමු. පාවහන් ගලවා තෘණ භූමිය මත මඳක් සිට ගත්තෙමි. නිරුවත් දෙපතුල් තෘණ භූමියෙහි ගිලෙන අයුරකි. සියොලඟම වෙළා ගන්නා ඒ මුදු පහස අපූරු සුවයක් ගතට ගෙන දේ.

ඉහළින් වූ කේතුකාකාර කඳු මුදුන දාගැබක් මුඳුනේ වූ කොතක් සිහි ගන්වයි. මුළුමනින්ම තෘණ භූමියක් වුවද සොබා දහමේ අපූර්වත්වය කැටි කොටගත් ගල් තලා ද අතරින් පතර මතුව ඇත. තෙතමනය රැඳි ගල් තලාව මත අපගේ ගමන සීරුවෙන් ය.

ගල් තලාව මතින් ගොඩ වෙමින් කඳු මුඳුනට පැමිණෙන විට පැයක පමණ කාලයක් මිඩංගු කර තිබුණි. දින දෙකක් පුරාවට අප නෙත ගැටුණු සමනොළ කන්ද නිසොල්මනේ සිටී. වෙනසකට තිබුණේ අපගේ දර්ශන කෝණ වෙනස්වීම පමණකි. ඊට අමතරව පිදුරුතලාගල, කිකිළියාමාන, සිංගල් ට්‍රී හා කිරිගල්පොත්ත ආදී උස් කඳු මුඳුන් කිහිපයක්ම පෙනේ. මේ දැකුම් දකිමින් පහළට ඒමට සිත් නොදේ. නමුත් අප මේ පරිසරයේ කොටස් නොවේ. ආපසු පහළට බැසීමට කාලය එළඹ ඇත. මම ගල් තලාව මත වාඩිගෙන සමනොළ සිරස සිතින් වැන්දෙමි.

ගයාන් තුදුස්ක
සිළුමිණ

ඡායාරූප – නිරෝෂන් එදිරිසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top