අද ඇඳුම් නිර්මාණ ශිල්පිණියක්
කතාබහ- – කමල් කාන්ති බෝගොඩ
පිටකොටුවේ, පමුණුවේ පාරවල් ගානෙකකුල් ගෙවෙන තුරු ඇවිද්දා
මට තිබුණ හයිය මගේ මහත්තයා
හැකියාවන් හඳුනා ගැනීම
මාව, මගේ හැකියාවන් මුලින්ම හඳුනාගත්නෙ ලලිතා සරච්චන්ද්‍ර මැතිණිය. ඇය තමයි මාව දිරිගැන්වුවෙ. ඒ වගේම ඇය සතු දැනුම නිර්ලෝභීව මට බෙදා දුන්නා. දවසක් එතුමිය මට සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ඇඳුම මහන්න භාර දෙනව. එදා මම කළ ඒ නිර්මාණය ගැන එතුමිය බොහොම සතුටට පත්වෙනව. ඇත්තම කිව්වොත් මේ ක්ෂේත්රයේ ‘අ’ යන්න මම ඉගෙන ගත්තෙ ඇයගෙන්. අද මම යම් තැනක ඉන්නවද, ඒ ගමනෙ සියලූම ගෞරවයන් ඇයට හිමිවිය යුතුයි.
ගමනක ඇරඹුම
1980 වසරේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ ‘වෙස්සන්තර’ නාට්‍යයෙන් තමයි මගේ ගමන පටන් ගන්නෙ. එදා සිට අද දක්වා එතුමාගේ සියලූම නාට්‍යවල රංග වස්ත්‍ර නිර්මාණය සිදු වුණේ මගේ අතින්.
සහජ හැකියාව
පාසල් කාලයෙන් පස්සෙ සාමාන්‍ය මැහුම් පාඨමාලාවක් හැදෑරුවාට රංග වස්ත්‍ර නිර්මාණය ගැන කවදාවත් මම පාඨමාලාවන් හදාරලා නෑ. ඒක පුළුල් විෂයයක්. මේ හැකියාව මට ආවෙ කොහොමද කියල මටම පුදුමයි.
හැකියාවට තැන
මගේ හැකියාවන් එක්ක වැඩත් වැඩියෙන් ලැබෙන්න ගත්තා. කේ. බී. හේරත්ගෙ, ජයලත් මනෝරත්නගෙ, විජය නන්දසිරිගෙ නාට්‍ය හතරක වගේම පරාක්‍රම නිරිඇල්ලගෙ, බිංදුහේවාගේ,
ප්‍රියන්ත රංජන්ගෙ, සුනිල් බන්දුසිරිගෙ සියලූම නාට්‍යවලත්, මිහිර සිරිතිලකගෙ ‘කෝ කුක්කෝ’, ලයනල් ගුණතිලකගෙ ‘චෙරි උයන’, කපිල කු-මාරගෙ ‘බැංකු වීරයා’, මංගලගෙ ‘ජූලියස් සීසර්’, යසෝධරා සරච්චන්ද්‍රගෙ ‘දඟයා’, රොඞ්නි වර්ණකුලගෙ ‘සාරංගා නැවෙන් ඇවිත්’ වගේ නාට්‍ය රාශියක රංග වස්ත්‍ර නිර්මාණය වුණේ මගේ අතින්.
සූදානම
ඇඳුමක් නිර්මාණය කරද්දි අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව. වේදිකාවේ පසුපසම ඉන්න කෙනාටත් වර්ණයන් පැහැදිලිව දකින්න තියෙන්න ඕන. සමහර ඇඳුම් වේදිකාවේදීම ක්ෂණිකව මාරුකරන්න වෙනව. ඒවාට පහසු ක්‍රම අනුගමනය කරන්න ඕන. නැත්නම් රංගන ශිල්පියා ලොක-ු අපහසුතාවකට පත්වෙනව.
ගමනේ සහකරුවා… මගේ සැමියා ධනපාල
බෝගොඩ රැුකියාව කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ. ඔහු දක්ෂ වේදිකා පරිපාලන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්. ඒ වගේම රංගවස්ත්‍ර ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. හොඳම වේදිකා පරිපාලන ශිල්පියා විදිහට ‘රත්නාවලී’ නාට්‍යයට රාජ්‍ය සම්මාන පවා හිමිවුණා. ඒ නිසා ඔහුගෙන් ලැබුණ සහයෝගය මගේ වැඩවලට ලොකු පහසුවක් වුණා.
අමුද්‍රව්‍ය සොයා
ඇඳුම් නිර්මාණය කරන්න අමුද්‍රව්‍ය ගන්න ඒ දවස්වල අද වගේ පහසුකම් නෑ. පිටකොටුවෙ, පමුණුවේ පාරවල් ගානෙ කකුල් ගෙවෙනතුරු ඇවිදල ඇති.
තත්ත්වය
විශේෂයෙන්ම කියන්න ඕන, මම රෙදි තෝරා ගන්නෙ එයින් මසන ඇඳුම බොහෝ කාලයක් පාවිච්චි කරන්න ඔන කියන පදනමින්. ඒකට හොඳම උදාහරණය තමයි එදා මහපු සිංහයාගෙ ඇඳුම අදටත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන එක. ඒ වගේම සමහර ඇඳුම් මහල ඉවර වුණාම ඒක ගැළපෙන්නෙ නෑ කියල හිතුන අවස්ථා
තියෙනව. ලාභ වුණත් පාඩු වුණත් මෙතනදි අපි අපේ නිර්මාණයේ තත්ත්වය උසස් මට්ටමක තියාගන්නයි උත්සාහ කරන්න ඕන.
නොපැතූ වියෝගය
ඉස්සර මට පුදුම විදියට වැඩ කරන්න පුළුවන්. අලසකමක් ගෑවිලාවත් තිබුණෙ නෑ. නමුත් මීට අවුරුදු තුනකට කලින් මගේ මහත්තයා අප අතරින් වියෝ වුණා. එදා මට දැණුන තනිකම මේ සියලූ දේවල් වලින් මාව ඈත් කළා. තවත් මේ වෘත්තිය කරන්න බෑ කියන තැනට ආවා. ? තිස්සෙ මම ගමන්බිමන් ගියේ තනිවම නෙවෙයි. මට තිබුණ හයිය එයා. ඒ හයිය නැති වුණාට පස්සෙ මම තනිවුණ බව විතරයි මට දැණුනෙ.
නැවත ඇරඹුම
මෑතකදි ගොඩක් දෙනෙක් දොස් කියල තිබුණ හැකියාව තිබියදීත් මේ වැඩවලින් ඈත්වෙලා ඉන්න තීරණය කළ එකට. ඇත්තටම ඒ දේවල්වලින් ඉවත්වෙලා ඉන්නකොට මටත් පාළුව කාංසිය දැනෙනව වැඩියි. මේ හැමදේම ගැන හිතල මම තීරණය කළා නැවතත් වැඩ පටන් ගන්න.
නොපෙනෙන මෙහෙය
නාට්‍යයක් සාර්ථක වෙන්නෙ නළු නිළියො නිසාම විතරද?. වේදිකාව පිටිපස්සෙ තව බොහෝ දෙනෙක් ඉන්නව මේ සාර්ථකත්වය පිටුපස. අවාසනාවට ඒ මෙහෙය කාටවත් පේන්නෙ නෑ. කවුරුවත් හිතන්නෙ නෑ. ඇත්තටම මේ අය ගැනත් අගයකිරීමක් වෙන්න ඕන.
සුන්දර අතීතය
එක දවසක් නන්දා මාලිනියගෙ පවන ප්‍රසංගයක් පැවැත් වුණා ගම්පහ පැත්තෙ. මමත් යනව ඇය එක්ක. මොකද මගේ අතින් තමයි ඇයගෙ ඇඳුම් නිරිමාණය වුණේ. කොහොම හරි
ප්‍රසංගය පැවැත්වෙන්න ටික වේලාවකට කලින් මට ගෙදරින් කෝල් එකක් එනව නන්දා මාලිනියගෙ හැට්ටය දාලා ඇවිත් කියල. මට කරගන්න දෙයක් නෑ. ඒ සැණින්ම මල්ලිට කෝල් කරල ඒක ගෙන්න ගත්ත. ළඟපාතක වුණ නිසා එයින් ගොඩ ගියා. ඒකනම් මගෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. අදටත් ඇය මුණගැහුණාම ඒ ගැන මතක් කරනව.
අලූත් මුහුණු
මේ ක්ෂේත්රයට යොමුවෙන ආධුනිකයන් ප්‍රමාණය බොහොම අඩුයි. එන අයත් යන්නෙ වෙනම පාරක. අපේ රටේ කලාව තියෙන අස්ථාවර තත්ත්වය නිසා ඒ අයට දොස් කියන්නත් බෑ.
අංකුරයක්
මට ඉන්නෙ ¥ල තුන්දෙනෙක්. ලොකු දුව නාට්‍ය කලාව ඉගෙනගන්න සෝමලතා සුබසිංහ මහත්මියගෙ පාඨමාලාවකටත් සහභාගි වුණා. නමුත් අතරමගදි ඇයට මගහැරුණා. අද ඇය ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. දෙවැනි දුවට වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට ජපානයට යන්න සිද්ධ වුණා. පොඩිදුව බැංකුවක රැුකියාවකට එකතු වුණා. ඉතින් මගෙන් පස්සෙ මේ දේවල් ඉදිරියට යන එකක් නෑ. ඒ ගැන පුංචි දුකක් හිතට නොදැනෙනව නෙමෙයි. නමුත් දරුවො ඔවුන් සුදුසු මාර්ගය හොයාගෙන අද හොඳ තැනක ඉන්න එක ගැන මට සතුටුයි.
ලිව්වේ මහේෂ් එදිරිසිංහ
දිවයින