විසි කළ මල් අහුල ගන්න හදවත් ලොව ඇති අනන්ත…

ආදරය සුන්දරය. දෙදෙනකුගේ හිත ආදරයෙන් බැඳුණ විට ඒ ආදරයේ සුන්දරත්වය මිහිරියාව තව තවත් වැඩිවේ. එකිනෙකා මොහොතක්වත් නොදැක බැරි යැයි සිතෙන තරමට, ඒ හඬ නොඅසා ඉන්නට බැරි තරමට, ළංවන හිත් ඒ සුසුමට පවා ආදරය කරන්නට පටන් ගනී. තනිවන හැම මොහොතකම හමු වූ තැන්, කළ කතා බහ නැවත නැවතත් සිහි කරමින් ඒ සුන්දරත්වය විඳී. ඒ ආදරවන්තයන්ගේ හැටිය. මාස ගණන්, වසර ගණන් ආදරය කළ ආදරවන්තයින් අතර තිබූ ආදරය බිඳි යන්නට, ඒ ආදරය වෙනස් වන්නට ද මහ වෙලාවක් යන්නේ නැත.

ඒ ආදරය බිඳි ගිය තැන එක්කෝ ඉතිරි වන්නේ වෛරයයි. ද්වේෂයයි. එක්කෝ උපේක්ෂාවයි. තමන්ගෙන් ඈත් වූ ආදරය, තමන්ට අහිමි වූ ආදරය දිහා උපේක්ෂාවෙන් බලන කෙනකු හමු වුණොත් ඒ කලාතුරකිනි. “එයාට හොඳ නිසානේ මාව දාලා ගියේ, කමක් නෑ සතුටින් හිටියාවේ, එහෙමත් නැතිනම් මුහුදේ එක මාළුවාද ඉන්නේ….. ආදී වශයෙන් තමන්ටම කියා ගනිමින් හිත සනසා ගන්නා ප්‍රේමවන්තයින්ද අපට මේ සමාජයේ හමුවේ. තවත් විටෙක තමන් අමතක කිරීම ගැන දොස් නඟමින් ශාපකරමින් ළතැවෙන්නන්ද හමුවේ. ඒ අතරම වෙන්ව ගිය ප්‍රේමය වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කරමින් තම සිත සනසා ගන්නට උත්සාහ දරන විරහවට පෙම්බඳිනනන් ද අපට හමුවේ.

මෙවන් වූ ආදරයයි විරහවයි ගැන ලියැවුණ ගී බෙහෝය. සිතක් හඬවන්නටත් සිතක් සනසන්ටත් ගීතයකට හරි අපූරු හැකියාවක් ඇත. එවන් ගී නිර්මාණ අපට එදත් අදත් හෙටත් මේ නිර්මාණ ලෝකයේදී කොතෙකුත් හමු වනු ඇත. පසුගිය දවසක යූ ටියුබයෙන් අසන්නට ලැබුණු මේ ගීතය ද එවැන්නක් යැයි සිතේ. ගීතයේ වචන සරලය. එහෙත් ඒ සරල වචන වලින් කියන්නේ ලොකු කතාවකි. ගීතය ලියන්නේ ගී පද රචක නාරද විජේසූරිය යි. තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. ගීතය ගායනා කරනු ලබන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ විසිනි.

 

“නැති දවසක මතක් වෙන්න..

මේ කවියත් තියා ගන්න….

ඔබ දුන් දුක ඔබට නොදී

මට පුළුවනි දරාගන්න“

මේ ගීතය පිළිබඳ නාරද කියන්නේ මෙවැනි කතාවකි. “ආදරය, ආදරයෙන් පරාජය වීම, හැර යෑම, තනිවීම මේවා ආදරයේදී කාටත් පොදු අත්දැකීම්. ආදරය කරන කාලේ අපි නොයෙක් සුන්දර කතා කියනවා. පුදුමාකර විශ්වාසයක් බැඳීමක් දෙදෙනා අතර තියෙන්නේ. ඒ කාලය තුළ ඔවුන් ඉන්නේ ඔවුන්ටම සීමා වූ ලෝකයක. නමුත් ආදරය බිඳි ගිය විට මේ සියල්ල වෙනස් වෙනවා. කෙනකු මේ සියල්ල බොහෝම ඉවසීමෙන් දරා ගත්තත් තවත් කෙනකු ඒ දේ දරා ගන්නා විදිහ වෙනස්. හැර ගිය කෙනාට වෛර කරන්න, එකට එක කරන්නත් පුළුවන්. එහෙම කරපු පෙම්වතුන් පෙම්වතියන් අපට මේ සමාජයේදී ඕනෑ තරම් හමුවෙනවා. ඒත් මේ කියන පෙම්වතා ඊට වෙනස්. ඔහු සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නවා. තමන් ආදරය කළ කෙනා තමන් හැර ගියාට පස්සේ තවත් කෙනකු හා බැඳුණාට පසු ඒ ගැන ඇති වන්නේ ඉරිසියාවක්, ක්‍රෝධයක්. ඒ ඔහුගෙන් ඇයගෙන් තමන්ට ලැබුණු ආදරය සෙනෙහස වෙනත් කෙනකුට ලැබෙන නිසා. ඒ ආදරයේ මිහිරියාව දන්නේ ඔහු හෝ ඇය සමඟ සිටි තමන් නිසා. කොහොම වුණත් මට ඕන වුණේ නැහැ ඒ ආදරය ට වෛර කරන කෙනෙක් ගැන ලියන්න. තමන්ට දුක දුන්නාට, ඒ දුක දරා ගන්න පුළුවන් ඒ ගැන උපේක්ෂාවෙන් බලන් පුළුවන් අයත් මේ සමාජය තුළ සිටින බව දන්වන්නයි මට ඕනෑ වුණේ.

කෙනකු කෙනකුගෙන් වෙන් වන්නේ කුමක් හෝ එපා වීමක් නිසා. තමන්ට නොගැළපෙන කුමක් හෝ ඒ බැඳීම තුළ ඇති නිසා. එය එහෙම වුණත් ඒ ප්‍රතික්ෂේප කළ කෙනාව පිළිගන්නා, ඔහුට ආදරය කරන කෙනකුත් මේ සමාජයේ සිටින්න පුළුවන්. ඒ ආදරය පෙර ආදරයටත් වඩා දැඩි වෙන්න පුළුවන්. ඒ නිසයි මම මෙහෙම ලිව්වේ.

“ විසි කළ මල් අහුල ගන්න

හදවත් ලොව ඇති අනන්ත

පර මල්වල පවා තිබේ

සුවඳක් කවුරුත් නොදන්න“

 

තාරුණ්‍යයට කතා කරන, බිඳුණු ප්‍රේම හිත් හඬවන තවත් විටෙක සිත් සුවපත් කරවන ඒ හඬ ඔහුගේය. “නැති දවසක මතක් වෙන්න“ ගීතය රසිකයා අතරට ගෙන යන්නට ඒ කරුණාරත්න දිවුල්ගනේ ගේ හඬ සමත්ය.

ඉනෝකා සමරවික්‍රම

සිළුමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top