වීදි ආහාරවල අතීතයට කිමිදීම සුවඳින් පිරි රාජකාරියකි. වර්තමාන ‘ස්ට්‍රීට් ෆුඩ්’ සංස්කෘතිය එදිනෙදා ජීවිතාංගයක් තරමට සමීප වී ඇති විට ලේයරයෙන්, ලේයරය ගලවා අතීතයට බැසීම ඇත්තෙන්ම සුවඳ විහිඳුවන ක්‍රියා පටිපාටියකි. වසර දහසකට එහා අතීතයේ ග්‍රීසියේ වීදිවල පුලුස්සන ලද මාංශ විකිණීමෙන් වීදි ආහාර සම්ප්‍රදාය ඇරැඹියා යැයි සැලැකේ. පුරාතන ග්‍රීසියේ දුප්පතුන් අතර මේ වීදි ආහාර අතිශය ජනප්‍රියව පැවැතියේ යැයි සඳහන්ය. උදුනක් හෝ ලිපක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොමැති, නිවාස නොමැති මිනිසුන් අතර මේ වීදි ආහාර ජනප්‍රියව පැවැතියේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් විය යුතුය. පුරාතන චීනයේ වීදි ආහාරවල ඉලක්ක වෙළෙඳපොළ වී තිබී ඇත්තේ දුප්පත් මිනිසුන්ය. එහෙත් පෝසතුන් පවා තමන්ගේ අතවැසියන් වීදි වෙතට යවා ආහාර මිල දී ගෙන තමන්ගේ සුව පහසු නිවාස ඇතුළට වැදී රස බලා ඇත. ඒ තමන්ට අහිමි දුප්පතුන්ට හිමි විශේෂ විනෝදය කුමක්දැයි පරික්ෂා කර බැලීමට විය යුතුය. පුරාතන චීනයේද වීදි ආහාර යනු අතිශය ජනප්‍රිය සංස්කෘතිකාංගයකි.
වීදි ආහාර දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැතියකි. පැරීසියේ කුඩා කරත්තවල සහ කූඩාරම්වල පටවාගත් පේස්ට්‍රි වර්ග විකුණූ ඉතිහාසය පිළිබඳ කළු-සුදු පින්තූර සමඟ අතීතය පිවිසෙන්නට ඔබට ඉඩ ඇත. මේ පැරීසියේ පේස්ට්‍රි වර්ගවල පිරවුම් ද නූතන ඉවුම් පිහුම් වැඩකරුවන් අන්ද මන්ද කරවන සුලු ඒවාය. මාංශ සේම එළවළුද සමෝසමේ දමමින් සකසා ඇති පේස්ට්‍රි ඉතා සුළු මුදලකට මිල කර තිබී ඇත. විශේෂයෙන්ම කය වෙහෙසමින් වැඩ කරන කම්කරුවන් තමන්ගේ දෛනික වේතනයෙන් යම් මුදලක් වැයකොට මේවායෙන් ආහාර මිලදීගෙන ඇත. සුප්‍රකට ‘ෆිෂ් ඇන්ඩ් චිප්ස්’ ආහාර සංකලනයත් මෙකල අතිශය ජනප්‍රිය වූවකි.
පුවත්පතක ඔතන ලද රස වෑහෙන පුලුස්සන ලද මාළු සහ පිලිස්සූ අර්තාපල් තීරු එකල වෙනත් රස තීරුවක් වෙන් කරවාගෙන සිටින්නට ඇත. පුලුස්සන ලද මාළු ඉපැරැණි ඊජිප්තු වැසියන්ගේත් ප්‍රියතම ආහාරයක් වී තිබී ඇත. එතැනින් උතුරු අප්‍රිකාවටත්, ස්පාඤඤයටත් බෝ වුණ මාළු පිලිස්සුම් ක්‍රම ක්‍රමිකව වෙනත් රාජ්‍ය කරාද වෙනස් මාදිලිවලින් ව්‍යාප්ත වන්නට ඇත.
නාගරීකරණය හේතුවෙන් වීදි ආහාරවල මූලික වෙළෙඳපොළ සහ අරමුණ වෙනස් වී ඇත. එක්තරා කාලයක තම නිවෙසේ උදුනක් නැති නිසා දුප්පතුන් මිලදී ගත් වීදි ආහාරම තවත් කාලයක අධික කාර්යබහුලත්වය නිසා පෝසත් පුද්ගලයන් අතට විතැන් වී ඇත. ක්‍රම ක්‍රමයෙන් වීදි ආහාර ක්ෂණික ආහාර බවට රූපාන්තරණය වීම කලින් කියූ නාගරීකරණයේ එක් නරක ප්‍රතිඵලයකි. රැකියාවෙන් ගෙනෙන වෙහෙස, ගමන් වෙහෙස ආදී දහසක් කාරණා මැද නිවසේ ආහාර ඉවීමෙන් ඈත් වීමට පොදු තීරණයක් ගත් මේ නාගරික ජනයා පිසූ ආහාර මිලදී ගැනීමේ සංස්කෘතිය වෙත නොදැනුවත්වම සංක්‍රමණය වන්නට වූහ.
පිසූ ආහාර අතරත් ක්ෂණික ආහාර රැල්ලක් ලෝකය පුරා හමා යන්නට වූයෙන් ශරීරයට අහිතකර ආහාර බොහොමයක් සමාජගත වන්නට විය. මේ හරහා අධික ස්ථූලතාවයෙන් පටන් ගත් රෝග රැල්ලක් ද ලෝකය පුරා හමා ගිය බව කිසිවකුට අමතක කළ නොහැකිය.
රස නහර පිනවන, දිව පුලුස්සන රස සහිත ක්ෂණික ආහාර සමඟ කෙටි ආහාර පුරුදු ද ඉන් පසුව බෝ වන්නට විය. මේ බොහෝ දේ වෙළෙඳ උපක්‍රම මිස ඉල්ලුම සහ සැපයුම ඉටු කිරීමක්ද නොවේ. මේ බහුතරයක් වීදි ආහාරවල මිල ගණන් වෙනත් ආපනශාලාවලට වඩා අඩු වීමද අනෙක් විශේෂ කාරණයයි. ඉන්දියානුවන්ද මෙකී වීදි ආහාර සංස්කෘතියට වෙනත් රසකින් දායක වු තවත් රටකි. තල්ලු කරගෙන යන කරත්තවලින් ඇරැඹුණු ඉන්දීය වීදි ආහාර සංස්කෘතියේ ජනප්‍රිය අංග රාශියකි. බටහිර බහුතර ආහාර වර්ග ඉන්දියානු ක්‍රමයට යහමින් මසාලා දමමින් සැකසීම හේතුවෙන් ඔවුන් නොමැකෙන සටහනක් තබා ඇත.
ඔවුන්ගේ ආහාර සංස්කෘතිය ඇතුළත ඇති අන් තැනක නැති අපූර්වත්වය ඊට හේතු වන්නට ඇත. එබැවින් වීදි ආහාර ඉතිහාසය සේම එහි වර්තමානයත්, අතීතයත් ගැන කතා කරන විට අපට ඉන්දියාව අතහැරිය නොහැකිය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2012දී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියානුවන් බිලියන 2.5ක් දෛනිකව වීදි ආහාර අනුභව කරයි. මේ වාර්තා තරමක් පුදුමය ඇති කරවන සුලුය. වසරක් පාසා දිල්ලියේ පැවැත්වෙන වීදි ආහාර උළෙල මේ සඳහා හොඳම උදාහරණයකි.
කෙසේ නමුත් මෙතුවක් කාලයක් රට රටවල වීදි ආහාර සංස්කෘතියක් නොනැසී පවතින්නේත්, වැඩී වර්ධනය වන්නේත් නොනවත්වාම ඒ ආහාර මිලදී ගත් මිනිසුන් හේතුවෙනි. ඔවුන් නොදැනුවත්ව සෑම රටකම වීදි ආහාර සංස්කෘතියට වැඩෙන්නට පොහොර සපයා ඇත. වීදි ආහාර යනු සෑම රටකම මිනිසුන්ගේ ආහාර තෝරා ගැනීමේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස හඳුන්වා දුන හොත් එහි කිසිදු වරදක් නැත.
කාංචනා අමිලානි
දිණමිණ – විශේෂාංග පිටුවෙනි