කොරෝනා බිය දුරු කරන්න රතන සූත්‍රය

දෙවැනි කොරෝනා රැල්ලෙන් මේ වනවිට රටම බියට පත්ව සිටින අතර ගම්පහ දිස්ත්‍රික්කයටත් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල පොලිස් කොට්ඨාස කිහිපයකටත් ඇඳිරි නීතිය පනවා ඇත. බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ මාළු මාකට් පොකුර රටපුරාම ව්‍යාප්ත වෙමින් යන බව පෙනේ. රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගි සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය දේශනා සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම අවස්ථා සංවිධානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

මෙම වැඩපිළිවෙළට සමගාමීව 24 වැනිදා සිට 29 වැනි දින දක්වා ප්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කර සිටී. කෙසේ වුවත් රතන සූත්‍රය දේශනා කිරීමෙන් රෝග බිය තුරන් කළ හැකිදැයි අපි විමසා බැලුවෙමු.

රතන සූත්‍රයේ බොහෝ ගාථාවල දක්නට ඇත්තේ “ඒතේන සච්චේන සුවත්ථි හෝතු” යනුවෙනි. එහිදී ඔබට යහපතක්ම වේවා යනුවෙන් ආශීර්වාද කිරීමක් සිදුවේ. එදා විසාලා මහනුවර ඇතිවූ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය දුරුකරනු වස් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද රතන සූත්‍ර දේශනාවේ බල මහිමය අදද එලෙසින්ම මේ විශ්වය තුළ පවතින බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. භක්තිමත්ව උදේ සවස මෙම සූත්‍රයේ තේරුම අවබෝධ කර ගනිමින් සජ්ජායනා කිරීම තුළ අද ලොව පුරා පැතිර යන වසංගත රෝග තත්ත්වය පවා පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට විශ්වාසයක් පවතී.

“යානීධ භූතානි සමාගතානී – භුම්මානිවා යානිව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු – අථොපි සක්කච්ච සුනන්තුභාසිතං”

භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත්ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත්වා. තවද මාගේ වචනය මනා කොට අසත්වා.

අමනුෂ්‍යයිනි, යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනත්ද? එහෙයින් ඔවුන් රකිවු.”

මේ පිළිබඳව මුලින්ම අප සමඟ අදහස් දැක්වූයේ අනුරාධපුර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියන්ය.

“පංචශීලය බෞද්ධයන්ගේ විෂය නිර්දේශය විදිහට තමයි බුදුන් වහන්සේ වදාරා තිබෙන්නේ. පන්සිල් ආරක්ෂා කර ගනිමින් තමයි අපි සූත්‍ර දේශනාවලට යා යුතු වන්නේ. පන්සිල් රකින අයට තමයි මේ සූත්‍රධර්මවල පිහිට ලැබෙන්නේ.
රතන සූත්‍රය මගින් විසාලා මහනුවර තුන්බිය බුදුන් වහන්සේ දුරු කළා. ඒ වගේම බොජ්ජංග සූත්‍ර දේශනාවලදී නම් පුහුණු කළ සිතක් තිබුණොත් තමයි ආනිසංස වැඩි. සතිය පුරුදු කර තිබිය යුතුයි.”

මේ සම්බන්ධව අප සමඟ අදහස් පළකළ රත්මලාන ධර්ම පර්ෙය්ෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ මෙසේ පැවසූහ.

“රතන සූත්‍රය දේශනා කළේ විසාලා මහනුවර දුර්භික්ෂය තුරන් කිරීමට බවයි. අට්ඨකතාවේ තියෙන්නේ. විසාලා මහනුවර කියන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ අගනුවරයි. අජාසත්ත රජු ලිච්ඡවීන් සමඟ සටන් කළා මේ රාජ්‍යය අල්ලගන්න. මේ යුද්ධය පවතින විට රටේ සංවර්ධිත කටයුතු, ආහාර නිෂ්පාදනය බිඳ වැටුණා. ඊට පසු තමයි කෑමබීම හිඟවෙලා දුර්භික්ෂ බිය ඇතිවුණේ. මිනිසුන් බයෙන් ජීවත්වීමට පටන් ගත්තා. මිනිසුන් රෝගී වී මරණයට පත්වුණා. මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයකදී රජතුමාගේ උපදේශකවරු පැවසුවා තම තමන් භක්‍යාදරයෙන් සලකන පූජනීය පිරිස් ගෙන්නවමු කියලා.

අවසානයේ වස්සකාර ඇමැතිවරයා යෝජනා කළා අපි බුදුන් වහන්සේ වඩම්මවමු කියලා. ඒ යෝජනාව ස්ථීර වුණා. බුදුන් වහන්සේ විසාලා මහනුවරට වැඩියා. උන්වහන්සේ රාජ්‍යයේ වගකිවයුතු පිරිස් කැඳවලා කිව්වේ “තමන් රටෙන් අයබදු ගන්නවා නම් රාජ්‍යය හරියට පාලනය කරන්න. එවිට මේ රට ගිලගත් බිය නැතිවෙනවා කියලා.”

ගංගා නදියට උතුරින් පිහිටි ලිච්ඡවි රාජධානිය එක්සත්බවින් යුක්තව රාජ්‍ය පාලනය ගෙන ගිය ප්‍රදේශයකි. නමුත් අජාසත්ත රජු සිය අමාත්‍යවරයකු ලිච්ඡවි රාජ්‍යයට යවා මේ එක්සත් භාවයට හානි කළ බව පෙනේ. ගංගා නදිය හරහා ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළ අජාසත් රජු පාටලීපුත්‍ර නගරයේ බලකොටුවක් ඉදිකරවීය. ලිච්ඡවි රජ දරැවන් මේ ආක්‍රමණයට එරෙහිව මුහුණදීමට යාමේදී ඔවුන් අතර එකඟතාවයක් නොවීය. එක්සත්කම බිඳ වැටී ගියෙන් ඔවුහු යුද්ධයෙන් පරාජයට පත්වූහ.

මෙසේ දිගුකලක් යුද්ධ කර පීඩාවට පත්ව සිටි රටේ අගනුවර වන විසාලා නුවර වර්ෂාව නොලැබීමෙන් මහා දුර්භික්ෂයක් හට ගැනිණි. රටේ නිසි වගාවක්ද නොවූ නිසා දුර්භික්ෂය වඩාත් දරැණු විය. වසංගත රෝග රටපුරා පැතිරැණි. බොහෝ දෙනෙක් මියගියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපස්සි හිමියෝ මෙසේද පැවසූහ.


“බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා රාජ්‍ය පාලකයකුගේ වගකීම යුතුකම මොනවාද කියලා. ඒක තමයි රටක ආශීර්වාදය කියලා. අට්ඨකතාව තුළ මේක විවරණය කර තිබෙනවා. රතන සූත්‍රය දේශනා කිරීමෙන්ම රෝ බිය තුරන් වන්නේ නැහැ. බුදුන් වහන්සේ වරක් රෝගී වූ විට ජීවක වෛද්‍යවරයා ලවා බෙහෙත් ලබාගත් උන්වහන්සේට බෙහෙත් නොගෙන සුවකරගත හැකි වුවත් එය නොකර ඖෂධ ලබාගත්තේ අනෙක් අයට දහමේ පණිවුඩයක් ලබාදීමටයි. ඖෂධ භාවිතයෙන් රෝග සුවකර ගැනීමට.

නූතන පාලකයෝ එදා බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සතර අගතියෙන් තොරව ජනතාව පාලනය කළ යුතුයි. ඒකයි කළ යුත්තේ. එක පැත්තකින් පිරිත් ධර්මය ශ්‍රවණය කරද්දී හැම මනුෂ්‍යයකුගේම මනස ප්‍රබෝධවත් වෙනවා. අපි හැම වෙලාවේම ත්‍රස්තව සිටින පිරිසක්. ඒ බය පිරිත් ඇසීමෙන් අඩු වෙනවා. ඒ නිසා අපට නිරෝගී සුව ලැබෙනවා. නමුත් ඒක පිරිතටම බාරදීලා ඉන්න බැහැ. මේ වගේ ආපදා අවස්ථාවකදී පාලකයන් ක්‍රියාකළ යුතු ආකාරය ත්‍රිපිටකයේ සෑම තැනකම තිබෙනවා. අන්න ඒකට අනුගතව ක්‍රියාකිරීම තමයි සැබෑ ආශීර්වාදය කියන්නේ.”

තුන් බියෙන් වෙලී ගොස් තිබුණු විසාලා මහනුවරට බුදුන් වහන්සේ වැඩියේ පන්සියයක් සංඝයා වහන්සේ සමගින්. උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කරමින් ජනතාවට ආශීර්වාද කර පාලකයන්ටද නිසි සේ රාජ්‍ය පාලනය කරන්නැයි උපදෙස් දුන්හ. රතන සූත්‍ර දේශනාවෙන් පසු ඇද වැටුණු වර්ෂාවෙන් මළසිරුරු සියල්ල ගංගාවලට ගසාගෙන ගොස් නුවර පිරිසුදු වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.

බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවි රජදරැවන් සමඟ විසාලා නුවර තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්න යැයි වදාළහ. ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවර වටාම පිරිත් පැන් ඉස්සාහ. එලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසීම සිදුවිය. නුවර වැසියන් තුළ තිබූ බිය දුරු වී ගියහ.

“රතන සූත්‍රයේ විශේෂත්වය තමයි, එහි අන්තර්ගත ගාථාවල තිබෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරැවන් ගුණයි. එම ගුණ ස්වභාවය පැහැදිලිව පෙන්නුම් කරදී ඒ සත්‍ය බලයෙන් යහපත උදාවේවායි ප්‍රාර්ථනා කරමින් තමයි සියලුම ගාථා අවසන් කර තිබෙන්නේ.” මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ වැඩිදුරටත් කීවෝය.

– කුසුම්සිරි
Deshaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top