කෙනෙකුගේ හදවත ස්පර්ශ කරන්න පුළුවන් සමීපතමයන්ට විතරයි. ඒ අතරිනුත් කෙනෙකුගේ ආදරය ලබන්න පුළුවන් පින්සාර හිතකට විතරයි. කෙනෙකුගේ හදවතේ ‘නුඹ’ යනු රෑ දිවා දකින සිහිනයක් නම්, යම් හදවතක් ඔබේ රූපයෙන්, කතාවෙන්, හිනාවෙන් පිරී ඇත්නම් ඇත්තටම ඔබ වාසනාවන්තයි එහෙම ආදරයක් ලබන්න . ඒ වගේ ආදරයක් ලැබුණොත් ඒ හැඟීම ම ඇති ජීවත් වෙනවා කියලා දැනෙන්න.
ඔබ කොතරම් ආදරය කලත් ඔබේ හදවතේ විශාල ඉඩක් වෙන් කර තිබුණත් සමහරුන්ට ඒක වැටහෙන්නෙ නෑ. වටිනාකම දැනෙන්නේ නෑ. සමහර වෙලාවට අලුත් බැඳීම් ඉදිරියේ ඔබව මඟහැරුනා වෙන්න පුළුවන්. ඉතිං කාලයක් තිස්සේ හූල්ල හූල්ල ඉඳලා බැඳීම් නිසාම හදවත් දියවෙනවා. හදවතේ සංවේදී තැන් රළු වෙන්න පටන් ගන්නවා. වචන හංගමින් මුනිවත රකිනවා. කඳුළු වේදනාවට පක්ෂව සාක්කි දෙනවා.
කියාගන්න බැරි කොච්චර දේවල් අපේ හිත්වල තියෙනවද? ඒ වේදනාවන් ඔක්කොමයි ඒ කඳුළු ඔක්කොමයි එකතු වෙලා හැදෙනවා හදවත වටේ බැම්මක්. කවදාවත් බිඳින්න බැරි වෙන්න ම. හිතක් පපුවක් නැති ගල් හිත් තියෙන මිනිස්සු බිහි වුණේ අන්න ඒ හින්දා. ආදරේ, දුක, වේදනාව නොදැනෙන්න අපි යන්ත්‍ර සූත්‍ර නෙමෙයි . හදවත් ඇති මිනිස්සු .
මිනිස්සුන්ට කෙනෙකුගේ හෝ දෙයක වටිනාකම දැනෙන්නෙ ටික කාලයයි. වාහනයක් ගෙනාපු මුල් ම දවසෙ කොච්චර පරිස්සම් කරනවද සීරීමක්වත් වෙන්න නොදී. අලුත් ඇඳුමක් ගත්තු මුල් ම සතියෙ ඒ ඇඳුමට අපි කොච්චර ආස කරනවද? පෙම්වතෙක් පෙම්වතියක් ලැබුණු මුල් ම මාසෙ දෙක කොතරම් ආදරණීයව ගෙවිලා යනවද? යාළුකමක් පටන්ගත්තු මුල් කාලෙ කොච්චර හොයලා බලනවද? හැබැයි ඊට වඩා වටින දේවල් හිමි වෙද්දී, ඊට වඩා වටින මිනිස්සු මුණගැහෙද්දි පරණ දේවල්වල වටිනාකම නොදැනීම අඩු වෙලා යනවා.
වටිනාකමක් නොදෙන දේවල්වල වටිනාකම දැනෙන්නේ ඒ දේවල් අහිමි වුණාම. ඉතිං අතීතයේ මඟහැරුණු හැම තත්පරේකටම මිනිස්සු ආදරේ කරනවා. ඒ වෙනුවෙන් පසුතැවෙනවා. සුසුම් හෙළනවා. ඒකයි සමහරු කියන්නේ, අතීතයට එක පාරක් යන්න පුළුවන් වුණා නම්කියලා, පසුතැවීමට ඉඩක් නොතබා ඔබේ ප්‍රියයන් වෙනුවෙන් මුල් තැන දෙන්න. ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න . ඔබ ආදරය කරන කෙනෙකුට නොවෙයි ඔබට ආදරය කරන කෙනෙකුට ජීවිතේ බාර දෙන්න. රිදීම් නැති බැඳීම් නෑ. ඒත් රිදීම් අඩු බැඳීම් ජීවිතේ ම ලස්සන කරනවා.
චමෝදි පෙරේරා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය