හිත දවන කඳුළකට බර සුසුමකට නතුව
නැත කියා සොඳුරුතම හෙට දිනය ඔබ පැතුව
අතහරින ජීවිතය ළඟ නැවති සිහි ඇතුව
නෙත හෙළනු මැනවි ලෝ දහමටම වී නතුව
ඉරිතලා ගිය පොළොව දිය බිඳුවකට හඬන
නිල සොරා ගත් රුදුරු අහස බලමින් යදින
දුක නිවා ලැබුණු සඳ අහස්දිය බිම තෙමන
හිනැහෙනා යුරු බලන් පණ ලබා වැහි දියෙන
බිඟු තුඩක රස පහස රඳන මල් මකරන්ද
මුවින් මුව කියවෙනා ගුණ සුවඳ මන බැන්ද
පුෂ්පාසනාරූඩ පියුම බුදු පා වැන්ද
මඩ ගොහොරු නොමැති සඳ පිපේවිද අරවින්ද
කළා සොළසම පුරා අහස් ගැබ අරා හිඳ
දුලා එළි විහිදනා සිසි කැලුම් දී නිබඳ
අමාවක අඳුර මැද එළි තිතක් වත් නොලද
නිසාමයි වටින්නේ සුදිළෙනා පුරා සඳ
සැඟවිලා කඳුළ යට හසරැල්ල පැමිණේවි
දුක දොවා සැනසෙනා සොඳුරු මඟ පවසාවි
විඳවනා තරමටම විඳින්නට හැකිවේවි
සුව දෙනා ජීවිතය බදා ඔබ හිනැහේවි
– සංජීවනී දහනායක –