සැනසිල්ල උදෙසා බැඳීම අත්හළ යුතු ය

Category: Blog Date: 2018-11-03 22:52:26


ලෝකයේ වෙසෙන සියලු මිනිසුන් අත්විඳීන ධර්මතා දෙකක් ඇත. එනම් යම් යම් දේ ලබා ගැනීම සහ ලබා ගැනීමට සමානව යම් යම් දේ අත් හැරීමයි. කැමති වුවත්, අකැමැති වුවත් මෙම සංසිද්ධීන් දෙකට මුහුණ පෑමට සිදු වේ.
අපි ඇතැම් දේ උත්සාහයෙන් ලබා ගනිමු. එසේම කිසිදු උත්සාහයක් නොකළත් ඇතැම් දේ අපට ඉබේ ලැබේ. අප නොදන්නා නමුත් සමහරවිට මේවා පුරාකෘත කර්මයන්ට අනුරූපව ලැබෙන දේ ය. විකල් නොවූ අඟ පසඟ, යහපත් බිරිඳක හෝ ස්වාමියෙකු සහ දරුවන්, දේපළ යනාදිය මෙසේ ලැබුණු දේ විය හැකි ය. ධන ධාන්ය සම්පත්, නිරෝගී බව, යහපත් මිනිසුන්ගේ ඇසුර, නැණ නුවණ, තැන්පත් බව, කරදර හිරිහැර අඩු බව යනාදී අනේකවිධ දේ අපට ලැබී ඇත්නම් ඒවාට හේතු වන පෙර කළ කර්මයන්ගේ බලපෑම ධර්මයෙහි මැනවින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් මෙසේ මිනිසුන් වශයෙන් වෙසෙන අපට විවිධ ආකාරයෙන් ලැබෙන ලාභ ඇත. ලැබීම් නැත්නම් එය හඳුන්වන්නේ නො ලැබීමක් ලෙසිනි. නො ලැබීම යනු අහිමි වීමකි. අහිමි වීම යනු අලාභයකි. උදාහරණයකින් කිවහොත් ආරෝග්ය පරමා ලාභා යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ නිරෝගීකම පරම ලාභයක් බව ය.
එබැවින් යමෙකුට නිරෝගී බව නැත්නම් එය අලාභයකි. මෙලෙසින් ම, හිතන පතන තරම් ධනයක් නැතිකම, ගේ දොර නැතිකම, දරු මුනුබුරන් නැතිකම, යාන වාහන නැතිකම, කීර්ති ප්රශංසා නැතිකම, සැප නැතිකම යනා දී සියල්ලම අපට අත්විඳීමට සිදුවන අලාභයන් වේ. ලැබීම මෙන්ම නො ලැබීම යන කරුණු දෙක පිළිබඳ ඇත්ත තත්ත්වය මැනවින් තේරුම් නොගන්නා යමෙක් වේ නම් ඔහු කිසි දිනකත් සතුට සහ සැනසිල්ල බලාපොරොත්තු නොවිය යුතු ගිහියෙකුට ජීවිතයක් ගත කිරීමට බොහෝ දේ ලැබිය යුතු බව අප දන්නා කරුණකි. එසේ නො ලැබෙන්නේ නම්, එය දුකක් බව බුදුරජාණන් වහන්සේ ම වදාළහ. එනිසා දෑතේ විරියෙන්, බාහු බලය යොදා, දහඩිය වගුරුවා දැහැමින් හා මහන්සියෙන් වැඩ කිරීම ගිහි ප්රජාවගේ වගකීම බව උන්වහන්සේ වදාළහ. එයින් ලැබෙන දෙයින් හැකි තරම් සතුටු වීම වරදක් නොවේ.
බුදුදහම ගිහියාට කියා දෙන්නේම එම කරුණයි. එහෙත් සිතූ තරමට යම් යම් දේ නො ලැබෙන්නේ නම් කළ යුත්තේ කුමක්ද? දුක් වීම, කණස්සල්ලට පත්වීම, මැසිවිලි නැගීම, තව කෙනෙකුට ශාප කිරීම, හෝ සොර මැරකමෙන් යම් යම් දේ ලබා ගැනීමෙන් සාර්ථක මිනිසෙකු බවට පත් වීමට සිතන්නේ නම් එය පිළියම ද? සැබැවින්ම නැත. මෙයට පිළියම ලද දෙයින් සෑහීමට පත්වීම බව බුදුන් වහන්සේ වදාළහ. එය සන්තුට්ඨිතා ගුණය ලෙස බුදුදහමෙහි විවරණය වේ. මෙය කළ හැකි වන්නේ කෙසේ ද යන ප්රශ්නය ඔබගේ මනසට පැන නැගේ. අප්පිච්ඡතාව (අල්පේච්ඡ බව) නැතහොත් ලද දෙයින් සතුටුවීමේ ගුණය පුරුදු කිරීමට හා මහිච්ඡතාව නැතහොත් හුඟක් කැමති බව අතහැරීමට සිදුවේ. මහිච්ඡතාවයේ නැත්නම් වැඩි වැඩියෙන් යම් යම් දේ පැතීමේ ඇති වරද කුමක්ද? මේ ලෝකයේ මිනිසෙකුට කොතරම් දේ ලැබුණත් එයින් සෑහීමකට පත්වීමට නොහැකි ය. කහවණු වැස්සක් වැස්සත් කාමයෙහි තෘප්තියක් නැති බව වරක් බුදුන් වහන්සේ ද වදාළ සේක. ඊට නිදසුන් රාශියක් ලෝක ඉතිහාසයෙහි ඇත.
ලොව මහත් ධන සිටුවරුන් පවා අතෘප්තියෙන් මියගිය අයුරු බණ පොතෙහි පෙන්වා දී ඇත. මේ නිසා බුද්ධිමත් මිනිසා නිතරම අත්හැරීම නමැති මනෝභාවය තම සිතෙහි ප්රගුණ කිරීමට උත්සාහ කළ යුතු ය. අත්හැරීම වූ කලී මුළුමණින් ම මානසික ක්රියාවලියකි. අප බොහෝවිට කරනුයේ යම් යම් දේ කයින් අත්හැරීම පමණකි. දරුවන්ගෙන් ඈත්වී සිටිම, බිරිඳගෙන් ඈත්වී සිටීම, ගේ දොරට නොයා පන්සලකට හෝ දුර පළාතකට ගොස් සිටීම යනාදිය නිවැරැදි අත්හැරීමක් නොවේ. එසේ සිටින බොහෝ අයට සිතින් ඒවා අත් නොහැර සිටිය හැකි ය. ඒවා පිළිබඳ දැඩි තෘෂ්ණාවෙන් සිටිය හැකි ය. එය සිතට සැනසුමක් ගෙන දෙන ක්රියාවලියක් නොවේ. එබැවින් ඒවා පිළිබඳ තම බැඳීම පාලනය කළ යුතු ය. එබඳු වස්තූන් එනම් ගේදොර, යානවාහන, ධන ධාන්ය සම්පත් ආදියට හානියක්, අහිමි වීමක් වේ නම් එහිදී සිත කම්පා නොවන පරිදි පවත්වා ගැනීමට ඇති හැකියාව ප්රගුණ කළ යුතු ය. ලාභ ලැබීමට සමාජයේ සෑම කෙනෙකුම කැමැති වන අතර ඒ සඳහා ඔවුහු විවිධ උපාය මාර්ග සකසති. කෙනෙකුට මේ සඳහා තම මහන්සිය, කැපවීම, දැනුම, හා උපාය ඥානය වැනි බොහෝ සාධක අවශ්ය වන බව අපි දනිමු.
බඹරෙකු මල් රොන් එකතු කරන්නාක් මෙන් ඇතැම් සාර්ථක ගිහියන් තම භෞතික සම්පත් දියුණු කරගන්නා බව බුදුන් වහන්සේ ද පෙන්වා දුන් අතර, එය අගය කළහ. ධනවත් හා බලවත් වන ඇතැමුන් උමතු වීම, සියදිවි හානි කරගැනීම, සිරගෙවල්වල ලැගීම, සමාජයට මුහුණදිය නොහැකි තත්වයට පත්වීම, දූදරුවන් නිසා ව්යසනයට පත්වීම, අතිශය කාර්යබහුල බව නිසා අසහනයෙන් කාලය ගත කිරීම යනාදී අනේකවිධ ගැටලුවලට මුහුණ දෙන අයුරු පහසුවෙන් තේරුම් ගත හැකි ය. අසීමිත බලාපොරොත්තු සහිතව ගොඩනැගූ සිහින මාළිගා සුණු විසුණු වී යාමෙන් බරපතල චිත්ත වික්ෂේපයට පත්ව රෝගාතුර වී කල් යවන මිනිසුන් අපි දකිමු. ඔවුන්ගේ දරුවන් සමාජ දූෂකයන්, අපරාධකරුවන්, මැරයන් හා තක්කඩියන් වීමෙන් සමාජයේ අපවාදයට ලක්වන අයුරු ද අපි දකිමු.
උත්සාහය වාසනාව හෝ අයථා ක්රම මගින් අප ලබන ලැබීම් අපටම සිදු කරනු ලබන හානිය හා විනාශය මෙයයි. මෙයට හේතුව කුමක්ද යන්න නුවණැති මිනිසා විසින් විමසා බැලිය යුතු බව බුදුන් වහන්සේ වදාළහ. ජීවිතයේ අවදානමට තුඩු දියහැකි කරුණු සම්බන්ධයෙන් නිතර විමසා බැලිය යුත්තේ කෙසේද? යන කරුණ දසධම්ම සූත්රයේ මැනවින් පෙන්වා දී ඇත. එලෙසින් බලන කල ලාබ හෙවත් අපට ලැබෙන විවිධාකාර ලැබීම්වලින් සතුටු වන්නාක් මෙන් ම එය අසතුටක් වීමට ඉඩ නොදී කළමනාකරණය කරගත යුතු ආකාරය හඳුනාගත යුතු ය. ඕනෑම සංසිද්ධියක් එකම හේතුවක් නිසා රඳා නොපවතී. එයට සුඵ වශයෙන් හෝ බලපාන හේතු කාරණා කිහිපයක් හෝ රාශියක් තිබිය හැකි ය. එතෙකුදු වුවත් එහි ප්රධාන කාරණාව හඳුනා ගැනීම අතිශය වැදගත් ය. අප නොයෙක් ආකාරයෙන් උපයන ලාභවලින් උදම් වී සිටීම පමණක් සම්මත ක්රමවේදය නොවේ. අප ලාභ ලැබීමට කළ කැප කිරීම, උනන්දුව හා දැනුම එපමණකින් ම අත්හැරීමටත් යෙදිය යුතු ය. මසුරු සිටාණන් සේ ලාභයෙන් තරවීමත්, වක්කඩ කැඩුවා සේ ඉපැයූ දේ වියදම් කිරීමත් බුදුදහම අනුමත කරන ක්රමය නොවේ.
මතු ප්රයෝජනය උදෙසා ඉපැයූ දෙයින් කොටසක් සුරක්ෂිත ව තබා ගැනීම අවශ්ය වේ. එසේ ම ඉතුරු කළ දේ මෙන් දෙගුණයක් ආයෝජනයෙහි යෙදීම සාර්ථකත්වයට හේතු වේ. මෙම කරුණ අදාළ වන්නේ දිළිඳුකමෙන් පීඩනයට පත් වූවන්ට නොවේ. නිෂ්පාදන අතිරික්තයක් නැතහොත් ඉතිරි කිරීමට හැකි මට්ටමේ ජීවන රටාවක් ඇති මිනිසුන්ට ය. ධනයක් සහිත ව, බලයක් සහිත ව ජීවත් වන්නන් විසින් ඉහත කී ව්යසනයන්ගෙන් බේරීමට නම් අත්හැරීම (වොස්සග්ග) නමැති ධර්මතාව ප්රගුණ කළ යුතු ය. අත්හැරීම යන්න විසිකර දැමීමක් හෝ නැති නාස්ති කර ගැනීමක් ලෙස තේරුම් නොගත යුතු ය. ඇත්තෙන්ම මෙහි අත්හැරීම යනු භුක්ති විඳීමක්මය. ලැබීම් ඇත්නම් තමා කා බී සතුටින් සිටින්න. එසේම තම දෙමාපියන්ට, බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට දරුවන්ට සතුටින් සිටීම සඳහා තම අත් හැරීම කරන්න. බිරිඳගේ හෝ ස්වාමිපුරුෂයාගේ සුවපහසුව සඳහා දෙන්න. අසල්වැසියන්, හිතවතුන්, යහළුවන්, මිත්රයන් ඇතුළු හිත, අහිත අනෙකුත් අයගේ යහපත සඳහා නිරපේක්ෂකව කැප කරන්න.
ආගම් ඇදහිලි, විශ්වාස ආදිය ඇතොත් ඒවාට නිගරු නොකොට නිශ්සරණාධ්යාශයෙන් යොදවන්න. එකී දේ ලබන්නන්ගේ උස් පහත්කම්, උගත් නූගත්කම්, ගුණ නුගුණ ආදී නෙයෙකුත් දේ ගැන සලකමින් සීමා මායිම් ගොඩ නොනඟා තම සිතෙහි යහපත්කම ගැන පමණක් සිතන්න. යමක් රැහැනකින් බැඳ තදින් අල්වාගෙන සිටීමෙන් කයට දැනෙන අපහසුවත්, එම රැහැන ලිහිල් කොට නිදහස් ව ඇල්වීමෙන් ලැබෙන පහසුවත් ඔබ දන්නා කරුණකි. මනසින් යමක් තදින් අල්වාගෙන සිටීමෙන් විඝාතයක් හෙවත් මානසික දුකක් ඇතිවීම නියත ය. එයින් අපට අහිමි වන ජීවිත තෘප්තිය වෙනත් කිසිවකින් ගොඩ ගත නොහැකි ය. රට්ඨපාල සූත්රයේ සඳහන් පරිදි රට්ඨපාල හිමියන් තම පියාගේ මානසික පීඩනයට හා අවිධිමත් ජීවිත රටාවට හේතුව එතුමා සතු අධික දේපළ බව පෙන්වා දෙමින් පැවසූයේ ‘පියාණෙනි මේවා පොදි බැඳ ගඟ මැඳට ගොස් විසි කරන්න’ යනුවෙනි. යළිත් ගොඩගත නොහැකි පරිදි මුළුමණින් ම යමක් අත්හළ හැකි නම්, ඒ පිළිබඳ අපේක්ෂාවන් ඒ සමඟම සපුරා නැතිවේ. සැනසිල්ලක් පතන්නේ නම් බැඳීම අත්හළ යුතු ය යන්න සනාතනිත කරුණකි.
එක් ගසෙක දෙපසට විහිද ගිය අතු දෙකක පක්ෂීහු දෙකොටසක් ලැගුම් ගෙන සිටියහ. හදිසියේ දැඩි සුළි සුළඟක් පැමිණීමට පටන් ගති. එක් අත්තක පක්ෂීහු කිසිදු හේතුවක් නිසා ගසේ අත්ත අත්හැර නොයාමට තීරණය කළහ. අත්ත තදින් අල්වාගෙන ම සිටීමට ඔවුහු කතිකා කර ගත්හ. අනෙක් අත්තෙහි පක්ෂීහු සුළඟ පටන් ගන්නා විටම එය අතහැර ගියහ. මඳ වේලාවකින් සුළඟ සැරවිය. පක්ෂීන් සිටි අත්ත කැඩී බිමට පතිත විය. එය අත් නොහළ පක්ෂීහු එතැනම ජීවිතක්ෂයට පත්වූහ. යමක් අත් නොහැර සිටීමේ මානසිකත්වය තමාටම හානි ගෙන දෙනුයේ එසේ ය. මෙසේ තදබල ලෙස මානසික ව අල්වා ගැනීමට බුදුදහමෙහි භාවිත වන වචනය වන්නේ ආදානග්රාහිත්වය යන්නයි. බෞද්ධ භාවනාව විශේෂයෙන් ආනාපානසති භාවනාව මගින් පවා ප්රගුණ කෙරෙනුයේ හුස්ම පොදවත් දැඩිසේ අල්වා නො ගැනීමේ ක්රමවේදයයි. එබැවින් ගිහියෙකු නම් සාමාන්ය ලෝකයේ දී සුවයක් සැනසිල්ලක් ලබා ගැනීමට ප්රගුණ කළයුතු විශේෂ දෙයක් වන්නේ අත්හැරීමට පුරුදු වීමයි. එසේ නොකොට අප සිතා මතා යමක් අල්වා සිටියත් දැඩි රෝගාතුර බවක් වුවහොත් සහ මරණයක් සිදුවුවහොත් නිසැකයයෙන් ම අප අකැමැති වුවත්, ඒ සියල්ල අත් හැරීමට සිදුවේ. ලද දෙයින් සතුටුවීමටත්, දාන චේතනාවෙන් හෝ පරිත්යාග චේතනාවෙන් සියලු සතුන්ගේ යහපත උදෙසා තමා සතු දෙය නිරපේක්ෂක ව මුදා හැරීමටත් පුරුදුවීම බෞද්ධයෙකු ජීවත්වන රටාවේ විශේෂත්වය වේ. මෙය ඔහු මෙලොව සැනසිලි සුවය භුක්ති විඳීන ආකාරය වන අතර පරලොව ජයගන්නා ආකාරය ද වේ.
කැලණිය විශ්වවිද්යාලයේ
ජ්යෙෂ්ඨ ආචාර්ය,
රාජකීය පණ්ඩිත මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තියෙනි

© 2018 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka