වෙහෙස වෙනවා නම් විවේක ගන්න

Category: Blog Date: 2018-07-25 12:18:09

අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්රිය බෞද්ධ යතිවරුන් අතර අජාන්බ්රහ්මවංසෝ හිමියන් ප්රමුඛයෙකි. කේම්බ්රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට අදාල කමටහන් ලබන්නේ තායිලන්තයේ සුප්රසිද්ධ ථෙරවාද භික්ෂුවක වන අජාන් චා හිමියන්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කාලීන ලෝකයට සරලව බෙදන උන්වහන්සේ ලොව පුරා මුල් පෙළේ ව්යාපාරික වැඩමුළු සම්මන්ත්රණ ආදියෙහිද නොවරදින දේශකයකු බවට පත්ව ඇත්තේ බ්රහ්මවංසෝ හිමියන්ගේ කාලීන වූත් ආකර්ෂණීය වූත් දේශන රටාව නිසාය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවට වැම කළ අවස්ථාවේදී බ්රහ්මවංසෝ හිමියෝ අරලිය ගහ මන්දිරයේදී මෙරට ව්යාපාරික ප්රජාව සහ වෘත්තිකයන් අමතා දේශනයක් කළහ. විශාල පිරිසක් හමුවේ උන්වහන්සේ විසින් කරන ලද දේශනයේ මුල් කොටස් දෙක පසුගිය කලාපවල පළවු අතර අද පළවන්නේ එහි තෙවන කොටසයි.
අපි රස්සාවක් කරද්දී හෝ ව්යාපාරයක් කරද්දී හරියට කරනවා නම් වෙහෙස නොබලා වැඩ කරන්න වෙනවා. ඒත් එහි ප්රතිඵලය ලබන්නේ අපි විතරක් නෙවෙයි. අපේ පවුලේ උදවිය. ගමේ අය, සමාජය. මේ සියලු දෙනා එයින් ඵල ප්රයෝජන ලබනවා. එය එක්තරා ආකාරයට දානයක්. දීමක්. බදු ගෙවීම පවා යම් දීමක්. ඔබ මහන්සි නො උපයන ධනයෙන් ගෙවන බද්දෙන් පාසල් නඩත්තු වෙනවා. රෝහල් පහසුකම් දියුණු වෙනවා. සමාජයට එයින් යම් හොඳක් සිදුවෙනවා. ඒ අනුව අපි පිරිසිදු සිතින් බදු ගෙවීමත් එක්තරා දීමක්.
අපි ව්යාපාරයක් කරනවා කියන්නේ මුදල් හම්බ කිරීමක්ම නෙවෙයි. එය එක්තරා ආකාරයට සමාජය හැදීමක්. සමාජයට උදව් කිරිමක්. රැකියා සපයනවා කියන්නේ දරු පවුල් ගණනාවක කුසගිනි පුරවනවා. ලෝකයට සේවයක් කරනවා. බොහෝ මිනිස්සු කියනවා ව්යාපාර මුදලට කෑදරයි කියල. නමුත් සමාගම් දූෂිත නැහැ. එහි ඉන්න මිනිස්සු සමහර විට දූෂිත වෙන්න පුළුවන්. සමාගම් කරන්නේ සේවයක්. ඒ නිසා ව්යාපාර සමාගම් සමාජයට අතිශයින්ම වැදගත්. සමාගම් නැතිව මිනිස්සුන්ට රැකියා නැහැ. අපට ගමන් යන්න ගුවන් යානා නැහැ.
අප සමාගම්වල වැඩ කරන්න ඕනෙත් මේ ආකාරයට හොඳින් කල්පනා කරල බලල ධනාත්මකවයි. මේ සමාගම්වල අපි වැඩ කරද්දී විවිධ ප්රශ්න එන එක ස්වාභාවිකයි. බුදු දහමින් අපට මේ ප්රශ්න බොහොමයක් සමනය කර ගන්න ආකාරය කියල දෙනවා. විශේෂයෙන් වැඩපළේ දී ඇති වන මානසික පිඩනය වැනි අවස්ථා. වැඩපලේදී ඇති වන මානසික ආතතිය මිනිස්සුන්ට රාජකාරිය, වැඩ කරන තැන එපා කරවනවා. බොහෝ විට කාර්යාලයේ එක් එක් කල්ලි නිර්මාණය වෙන්නේ ප්රශ්න නිර්මාණය වෙන්නේ විවිධ ආකල්ප සහිත මිනිස්සු බිහි වන්නේ බොහෝ විට මේ ප්රශ්නය නිසයි. මහන්සිය මානසික විඩාව නැතිනම් මිනිස්සුන්ට ඉතා තෘප්තිමත්ව වඩාත් කාර්යක්ෂම ලෙස කාර්යාලය තුළ වැඩ කළ හැකියි. අපි ධනාත්මක ව සහ කාර්යක්ෂමව කටයුතු කරන්න .
පසුගිය දවස්වල බොහෝ පුවත්පත්වල ව්යාපාර පිටුවල ගිය කතාවක් තමයි, ලෝකයේ බොහෝ රටවල පවතින නැඹුරුවක් ලෙස ජනතාව වැඩි කාලයක් රාජකාරී ස්ථානයේ කාර්යාලවල සිදුවන බව. දවසේ වැඩි කාලයක් ඔවුන්ට ගත කිරීමට සිදුව තිබෙන්නේ සෑම ව්යාපාරකම පවතින තරගකාරීත්වය නිසා බව ඔවුන් කියනවා. ඒ ගැන මම එකඟ වෙන්නේ නැහැ. ඒක ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ ප්රශ්නයක්. නැතිව වැඩ කරන පැය ගණන වැඩි කිරීමෙන් පමණක් ආයතනයක , ඵලදායීතාව හෝ අලුත් සංකල්ප ඇති වෙන්නේ නැහැ. මීට වසර ගණනාවකට පෙර සිට තහවුරු වී තිබෙන කරුණක් තමයි විශේෂයෙන් දිවා ආහාරයෙන් පසුව එලඹෙන මධ්යාහ්නයේ බොහෝ පුද්ගලයන්ගේ කාර්යක්ෂමතාව අඩුවෙන බව. එය ඇත්තක්. ඔබ බලන්න ඔබේ දරුවා පාසල් ගොස් ඇවිත් අමතර පන්තියකට හෝ පාසලේ ගෙදර වැඩ කරන්නට උත්සාහ කරයි නම් ඔවුන් නිදා වැටෙනවා. එහෙම නැතිනම් යම් අලස ස්වභාවයකින් ගත කරනවා. ඒ ඔවුන්ගේ ශරීරය වගේම මොළයත් වෙහෙස වීම නිසා. ඔබ මහත් සේ වෙහෙස වෙලා ඉන්න වෙලාවක ඔබට යම් වැදගත් ඊ මේල් එකක් ලියන්නට ඕන වුණොත් එහෙම නැතිනම් වැදගත් තීරණයක් නිසි ලෙස විමසලා ගන්න ඕන වුණ විට ඒකටත් යම් වෙලාවක් තියෙනවා. ඔබ ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඉන්නවා නම් ඔබට ඒ කටයුත්ත හරි ආකාරයෙන් කරන්න ලැබෙන්නේ නෑ. මෙයට තිබෙන විසඳුම හරිම සරලයි. ඒකට මම යම් උදාහරණයක් දෙන්නම්. මේ වතුර පිරුණු වීදුරුව අපි උදාහරණයට ගනිමු. මම දවසක් ඔස්ට්රේලියාවේ විශ්ව විද්යාලයයක ඉංජිනේරු ශිෂ්යයන් පිරිසකට දේශනයක් කළා. මම දේශනය දෙන අතරේ එක් අතකින් වතුර වීදුරුව ඔසවා මේකෙ බර ගැන යමක් කියන්න කිව්වා. ඔවුන් එයට ඉංජිනේරුමය පිළිතුරක් දුන්නා. බර ගැන. බර ග්රෑම් 85ක් 90ක් විතර වෙයි කිව්වා. මම මේ වීදුරුව අත ඉහළට රඳවාගෙන ඔසවාගෙන ඉන්නවා. විනාඩියක් යනවා. දෙකක් යනවා. තුන්වැනි විනාඩිය වෙනකොට මට මේක දිගටම ඔසවා ගෙන ඉන්න අමාරුයි. පොඩි බරක් වෙන්න පුළුවන්. එහෙත් දිගටම ඒක ඔසවාගෙන ඉන්න අමාරුයි. තව ටික වෙලාවක් යනවිට කොහොමටවත් ඔසවාගෙන ඉන්න බැහැ. මම කළේ බඳුන් හෙමින් සීරුවේ බිමින් තියන එක. දැන් අත සැහැල්ලුයි. විනාඩියක් මම නිදහසේ ඉන්නවා. පසුව ආයෙත් වීදුරුව ඔසවනවා. මට යළිත් පෙර පරිදිම සැහැල්ලුවෙන් තවත් විනාඩි කිහිපයක් මේ වීදුරුව ඔසවාගෙන ඉන්න පුළුවන්. අතට අපහසුවක් දැනෙන තෙක් ම එය ඔසවාගෙන සිටිය හැකියි. වීදුරුවෙ බර අඩු වුණේ නැතත් මට අපහසුවකින් තොරව එය ඔසවන්න පුළුවන් වුණා. අපේ මනසත් එහෙමයි. අපේ මොළයටත් එහෙමයි. අතරමැද යම් විවේකයක් අවශ්යයි. අතිශයින්ම වෙහෙස වීමෙන් අනවශ්ය ගැටලු ඇති වෙනවා. යම් විවේකයක් ගත්තොත් යළිත් නැවුම් බවකින් යුතුව කරගෙන ගිය කාර්යය යළිත් කරගෙන යා හැකියි. ඒකයි ඇත්ත තත්ත්වය. අපට ඵලදායීතාව වැඩි කර ගන්න නම් මේ ආකාරයට මනසට යම් විවේකයක් ලබා දිය යුතුයි. විශේෂයෙන් මධ්යාහ්න කාලයේදී. ඒ වෙලාවේ කෙටි නින්දක් දැමීම, භාවනා කිරීම, පරිගණකයෙන් ඈත් වී පොඩ්ඩක් ඇවිදීම හෝ වෙනත් කැමැති දේක විනාඩි 15ක් පැය භාගයක් වෙන් කළාට කමක් නැහැ. ඒක දවස තුළ ඔබේ ඉතිරි කාලය වෙනුවෙන් කරන ආයෝජනයක්. ඔබ මේ ආකාරයට පැය භාගයකට ආසන්න කාලයක් නිදහසේ සිටියාම ඔබේ මොළය යළි ආරෝපණය වෙනවා. ශක්තිමත් වෙනවා. දවසේ ඉතිරි පැය තුනකදී පමණ කළ යුතු දේ පැයකින් දෙකකින් නිවැරදිව අවසන් කළ හැකි ආකාරයේ ශක්තියක් ඔබට එනවා. එයින් ඔබ කරන කාර්යය ගුණාත්මක සහ ඵලදායීතාවයෙන් යුතුව කළ හැකියි.
භාවනා කිරීමත් අපේ මනස යළි ශක්තිමත් කිරීමට හේතු වෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා පවා හිතනවා භාවනා කිරීම කාලය කා දැමීමක් කියල. නමුත් ඒ අදහස වැරදියි. එයින් වෙන්නේ ඵලදායි කාලයක් නිර්මාණය කිරීමක්. මා දන්න ඇමෙරිකාවේ නකිව්යොර්ක් නුවර ඉන්න ප්රධාන විධායක නිලධාරියෙක් ඉන්නවා. ඔහු බුද්ධ ධර්මය හොඳන් අදහන කෙනෙක්. ඔහු සාමාන්යයෙන් කොපමණ වැඩ තිබුණත් දවසේ පැයක් භාවනා සඳහා වෙන් කරනවා. ඔහුට හොඳටම වැඩ අධික දවසට කරන්නේ දවසට පැය දෙකක්ම භාවනා කිරීමයි. එයින් අදහස් වන්නේ ඔහුට වඩාත් කාර්යබහුල දවසට ඔහුට ඔහුගේ මනස වඩාත් පැහැදිළිව වඩාත් නිරවුල් ව පවත්වා ගෙන යා යුතු නිසයි. බුදු දහමේ මේ ආකාරයට වඩාත් ඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස තමන් කරන දේ ඵලදායී ලෙස දැඩි ආතතියක් නැතිව කළ හැකි ආකාරයෙන් සිදු කරන හැටි ගැන කියා දෙනවා. එයට හොඳ මඟක් තමයි භාවනාව.
නූතන ව්යාපාර ලෝකයේ වැඩිපුරම කතා වෙන අංගයක් තමයි, නව නිර්මාණකරණය. අප අද ජීවත් වෙන්නේ දැඩි තරගකාරී ලෝකයක. මේ තරඟකාරීත්වය වැඩියෙන්ම බලපාන්නේ ව්යපාරවලට. ව්යාපාරවලදී නව නිර්මාණ, නව අදහස් මේ තරඟකාරීත්වය ජය ගැනීමට අත්යවශ්යයි. නව ව්යාපාර කිරීමේදී පැහැදිලි මනසක් අවශ්යයි. ඒ වගේම ආර්ථික සාර්ථකත්වයේදී පර්යේෂණ සහ සංවර්ධනයත් අත්යවශ්යයි. මෙහිදි මට මතක් වෙන්නේ අයිස් ක්රීම් කෝන් එක. මේ අයිස් ක්රීම් කෝන් එක මුලින්ම එළිදුටු ආකාරය ගැන ඔබ අසා නැතිව ඇති ඇමෙරිකාවේ නගරයක එක ළඟ වෙළෙඳ සැල් දෙකක් තිබි තිබෙනවා. එයින් එකක් විකුණලා තියෙන්නේ අයිස්ක්රීම්. අනෙක වෝෆල් විකුනා තිබෙනවා. දවසක් මේ ව්යාපාරිකයන් දෙදෙනා කතා කරගෙන තිබෙනවා, කෝන් එකක් ආකාරයට වෝෆල් එකක් හදලා ඒකට අයිස්ක්රීම් දාලා විකුණන්න. එය අලුත් අදහසක්. අලුත් නිෂ්පාදනයක්. ඔවුන් ඒ දේ කර තිබෙනවා. ඒකට පෙර නොවූ විරූ ජනප්රියත්වයක් ඇවිත් තිබෙනවා. කොහොමද අලුත් අදහස අලුත් නිෂ්පාදනයකට පාර කපපු හැටි.
අපි කොහොමද නව අදහස්වලට නව නිර්මාණවලට යොමු වෙන්නේ? මේ ගැන මා කළ එක් දේශනයක් ගැන මෙහිදී මතක් වෙනවා. මම 2015 වසරේ දකුණු කොරියාවේ තිබුණු ලෝක පරිගණක කොන්ග්රසයේ දේශකයෙක් ලෙස සහභාගී වුණා. ලෝකයේ ප්රබල පරිගණක සන්නාම සහිත සමාගම් සියල්ලේම පාහේ නියෝජිතයන් දෙදහසක් පමණ ඊට සහභාගී වුණා. බෞද්ධ භික්ෂුවක් කොහොමද මේ වගේ ඉලෙක්ට්රොනික පතාකයන්ගේ සමුළුවක දේශනයක් තියන්නේ කියල කාගේත් තිබුණේ කුතුහලයක්. මොකද එතන හිටිය හැමෝම පරිගණක ලෝකයේ අලුත් අලුත් ප්රවණතා ගැන දැනුම ගැන තමයි කතා කළේ. මම කළේ ඔවුන්ගේ මේ පරිගණක ලෝකයේ යම් ඇතුලාන්තයකට යන එක. එහිදීත් මම මීට කලින් වගේම වතුර වීදුරුවකින් මගේ උදාහරණය ගත්තා. මම වතුර වීදුරුවක් ඔසවලා මේක ගැන ඔබේ නිර්වචන දෙන්න කියල කිව්වා. එක් එක්කෙනා එක එක පැහැදිලි කිරීම් කළා.
එය වීදුරුවක්. ඇතුළේ තිබෙන්නේ වතුර. ඉහළ විවරය වටකුරුයි. බර මෙච්චරක් වෙන්නැති වතුර මෙච්චරක් ඇති ආදී වශයෙන් විවිධ කතා කිව්වා. පසුව ටිකක් බැරෑරුම් විද්යාත්මක නිර්වචන දුන්නා. ඔවුන්ගේ මනස් තරමක් වෙහෙසුණා.ඔවුන් ටිකෙන් ටික මේ වතුර විදුරුව ගැනම අලුතෙන් හිතන්න ගත්තා. ඔවුන් විනාඩි කිහිපයකට පස්සේ ඔවුන්ගේ මනස අලුත් ආකාරයකට අවදිවෙන්න ගත්තා. අලුත් අලුත් නිර්වචන ආවා. ඒක තමයි ඇත්තම තත්ත්වය. අපි අලුතින් හිතනවා නම් අලුත් අදහස් ගලා එනවා.ඕනෑම ව්යාපාරයකට අලුත් අදහස් අවශ්යයි.
චාමින්ද වාරියගොඩ
-Silumina-
විශේෂාංග

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තයෙනි

© 2018 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka