සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

Category: Blog Date: 2018-07-07 17:32:34


සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම උත්තම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ සමනල ගිරි මුදුනේ උඩ මලූවේය. සිරිපා තරණය කළ හැකි සම්මත මාර්ග තුනක්ද අප්රසිද්ධ මාර්ග 5 ක්ද පවතියි. ඒ හැර දෙපසක පිහිටි ගම් දෙකක් යාකරන සමනල දුර්ගය ආදී මාර්ග කිහිපයක්ද පවතියි. මේ සියල්ල සමස්ත රක්ෂිතයේ වනගත පරිසරයෙන් උපරිම වශයෙන් සියයට විස්සක තිහක පමණ කොටසක් වන අතර ඉතිරි සියයට හැත්තෑව අසුව යනු තවමත් අල්ප වශයෙන් මිනිස් පහස ලැබූ ගුප්ත සහ අබිරහස් ගොන්නක් පිරි ඉසව් වේ.
සංචාර දිවියේ අප ප්රියතම අඩවිය වන සිරිපා අඩවිය යනු සත්ය වශයෙන්ම සංචාරය කිරීමට උචිත ඉසව්වක් නොවන බව අපටද පසක් වූ කරුණකි. මන්ද අප විඳි ඇතැම් ප්රායෝගික අත්දැකීම් සමග සිරිපා රක්ෂිතය ආශ්රිත ගැමියන් හා ඔවුන්ගේ අතීත සිදුවීම් පිළිබඳ අප අත්දුටු යම් අබිරහසක් මෙම රක්ෂිතෙය් පැවතීමය.
සමනල රක්ෂිතය තුළ පවතින කඳු නම් සමනල කන්ද, කුණු දිය පර්වතය, පිදුරුතලා ගල (හීන් පිදුරුතලාව) බෑන සමනළ, කෝඳුරු ගල, සප්ත කන්යා කඳුවැටිය, ගවරවිල කන්ද, බල්ලා බැඳිගල සහ මහ පිදුරුතලාවයි. ඊට අමතරව නම්ලත් දියඇලි රාශියක් සිරිපා රක්ෂිත මායිමෙන් කඩා වැටෙන අතර නම් රහිත තවත් දියඇලි සහ දියඇලි දාම රාශියක් සිරිපා රක්ෂිතය තුළ ඇති බව අප ප්රායෝගිකව දැක ඇත්තෙමු.
ලංකාවේ සෙසු වනාන්තර වලට සාපේක්ෂව සමනල රක්ෂිතයේ සංචාරයට සහ ගවේෂණයට යන පිරිස ඉතා අල්පය. මන්ද අවාරේ බොහෝ විට ප්රචණ්ඩ වර්ෂාව තිබීමත් සමස්තයක් ලෙස වළාකුලූ වනාන්තර පද්ධතියකට රක්ෂිතය උරුමකම් කියන නිසාවෙන් නිතරම වැස්ස සහ තද අකුණු ගැසීම් ඇතිවීමය. තවද අලියා සහ කොටියා (දිවියා) යන සතුන් බහුලව මෙහි වාසය කිරීම සහ පිටත මාර්ග හෝ අවාරේ යාමේදි උන්ගෙන් සිදු වූ අනතුරු බහුල වීමත්ය.

මීට තවත් නිදසුන් ලෙස ගතහොත් අධික කූඩැල්ලන් සංඛ්යාවක් සිටීම විස සහිත සර්ප ග්රහණය, විෂ කටු ඇතුළු සහ ලිස්සන සුළු අනතුරුදායක පාංශු බිම් කඩක් වීම සහ දැවැන්ත තුරුමුදුන් අතර නිතරම අඳුරු වන ලහැබක්ව තිබීම නිසා මංමුලා වීමද සැලකිය හැකිය.
දුර අතීතයේ සිට සමනල රක්ෂිතයට ඇතුළු වීම නැතහොත් සමන්දෙවි අඩවියට ඇතුළුවීම යනු වන්දනාවක් බඳු ශුද්ධ වූ කර්තව්යයකි. සිරි පතුල පිහිටුවීමේ ගාම්භීරත්වය නිසාම සමන් දෙවිඳු තවමත් විවිධ වේෂයෙන් මෙම කැලයට අධිපතිව සිටින නිසාෙවන් අතීතයේ සිට රක්ෂිතයට ඇතුළු වන්නන් කිසිම අවස්ථාවක ‘කට වරද්දා’’ ගත්තේ නැත. එහි වර්තමාන සාක්ෂිය අදටත් සිරිපා කරුණාවේ යෙදෙන විට අපට දැකිය හැකිය. සමන්දෙවි අඩවියේ කිසිවෙකුටත් තක්කෙටම ඔට්ටු විය නොහැක. සිරිපා කරුණාවේ යෑම වුවත් වත්පිළිවෙත් රාශියක් මැද කළ යුතු කරුණාවකි. වසරේ හරි අඩක් පමණක් මෙම සිරිපතුල කරුණාවට ඉඩ ඇත්තේ ඉතිරි මාස හය (අවාරේ සමය) සත්ය වශයෙන්ම ප්රචණ්ඩ වැසි සමග පරිසරය දරුණු වන හෙයිනි. එය අවාරේ හතර වතාවක් පමණ මාර්ග 4 කින් ගිය අප ප්රායෝගිකව දන්නා අත්දැකීමකි.
අවාරේ සිරිපා කරුණාව අවට ගම් වැසියන් පවා කිසිවිටෙකත් අනුමත නොකරන්නේ ජීවිත අත්දැකීමෙන්ම එහි පවතින අනතුරුදායක බව ඔවුන් දන්නා හෙයිනි. එලෙස පුරසාරම් දොඩමින් සිරිපාගම ප්රදේශයෙන් අවාරේ සමනල ගිර තරණයට තනි පංගලමේ යන දෙතුන් දෙනෙකු ලෙස ගිය බොහෝ පිරිසක් උන්මත්තක භාවයට සහ කොටි ප්රහාරවලට ලක්ව මියගොස් ඇත. සිරිපා ගම ආශ්රිත බලවන ගමේ වෙසෙන යසරත්න මාමා අප සමග බෙදාගත් ඔහු දැක අසා තිබූ ජීවිත අත්දැකීම් මෙසේය.
ලංකාවට ආවේණික කොටියා හෙවත් දිවියා සමනල රක්ෂිතය හා හෝර්ටන් තැන්න තුළ බහුලව වාසය කරයි. තවද සාමාන්ය අලින් පවා මෙම රක්ෂිතයේ වාසය කරන අතර අතීතයේ හෝර්ටන් තැන්න යනු වන අලි නිජබිමකි. සමනල හා හෝර්ටන් රක්ෂිත එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර එවා එකිනෙක බද්ද වී ඇති හෙයින් මෙලෙස අලි සහ කොටි රක්ෂිත දෙකේම එහෙ මෙහෙ යමින් වාසය කරයි.
අතීතයත් සමග සසදා බැලූකල අතීතය උඩවලව ඇඹිලිපිටිය ආශ්රිත වන අලි හපුතලය, බෙලිහුල් ඔය හරහා සමනල රක්ෂිත වලට සංක්රමණය වී ඇත. සමන් දෙවි අඩවියේ ආශ්චර්ය වනුයේ සිරිපා වාරේදි අලි සහ කොටි හෝ වෙනත් කිසිදු සතෙකුගෙන් කිසිම අවස්ථාවක කිසිදු හානියක් නොවීම සහ කිසිවෙකුටත් උන්ව දැක ගත නොහැකි වීමය. නමුත් අවාරේ යන විට දුර්ලභ අවස්ථාවක් ලෙස අලි හා කොටි දැක ගැනීමට ඉඩ ඇත. තවද වාරේ අප යනෙන ප්රධාන හා සෙසු මාර්ගවල අවාරේදි අලි සහ කොටි ගැවසීම ඉතා සුලභ වන අතර ඒ නිසාම සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත් පුද්ගලයන්ට අවාරේදි එහිම දඩුවම් ලැබී ඇති අවස්ථා එමටය.
මීට වසර කිහිපයකට පෙර ප්රදේශයේ තරුණයෙකු සමන්දෙවි අඩවියට අවාරේ පිවිසියේ අහවල් වෙලාවට අහවල් හෝරා ගණනක් තුළ සමනලගිර නගින බවට පුරසාරම් දොඩමින් සහ සමන් දෙවි අඩවියේ හාස්කම් අවතක්සේරු කරමිනි. කෙසේ හෝ තනිවම පලාබද්දල පාරෙන් අවාරේ ගිය ඔහු නැවත පැමිණියේ නැත. ඊට දින කිහිපයකට පසු ගම්වැසියන් ගොස් බලන කල කොටියෙකුගේ ප්රහාරයට ලක්ව ඔහු මියගිය බවට ගෙත්තම්පාන කිට්ටුව තිබූ ශරීර කොටස් වලින් හඳුනාගෙන තිබුණි.
තවද මෙලෙසම තවත් කිහිපදෙනෙක් අවාරේ ඔට්ටු තබමින් ගොස් නැවත එන විට ඔවුන් උන්මත්තක භාවයට පත්ව තිබුණි. පඩි සහිත මාර්ගයේම ඔවුන්ට මග වැරදි මංමුලාවී වෙනත් ඉසව්වකින් එළියට පැමිණ තිබුණත් ඔවුන් සිහිමද ගතියකින් යුක්තවය. තවද ගිය වසරේ පවා සිරිපා අවාරේදී පලාබද්දල රජ මාවතට අලින් පැමිණ තිබුණහ. ඒ බව පසුව දැන ගැනීමට ලැබී ඇත්තේ කැඩීගිය පඩි සහ අලි වසුරු මගින්ය. එලෙසම වරක් කුරුවිට එරත්ත මාර්ගයෙන් හුදෙක් විනෝදය හා මත් සතුට උදෙසා අවාරේ සිරිපා ගිය නඩයක් දින කිහිපයක් වනයේ අතුරුදන්ව සිටියහ.
මද වර්ෂා සමයේ ඔවුන් පිටත්ව හැරමිටි පාන දක්වා ගොස් නැවත එන විට ඔවුන්ට දින 2 ක් පමණ යනතුරු සීත ගඟුල හරහා යාමට නොහැකිව තිබුණි. හෙණ ගසමින් අකුණු සමග ප්රචණ්ඩ වර්ෂාවක් එදවස ඇඳහැලී එරත්ත සීත ගඟුල ගංගාව ඉතිරි දෙපස මාර්ග පවා යට කරමින් ගලමින් තිබූ නිසාවෙනි.
කුරුවිට එරත්ත මාර්ගයේ යන විට සීත ගඟුල බැස එතෙර වී යා යුතු අතර එම මාර්ගයට බොහෝ විට ෙසසු ප්රධාන මාර්ග වලට වඩා දුෂ්කර හා සෞන්දර්යයෙන් අනූන මගකි අවාරේ යාමේදි ගල් පෙරළීම්, නාය යෑම්, ජල ගැලීම් වැනි ස්වභාවික අනතුරු වැඩිම මාර්ගයද එයම වේ. එරත්ත මග වැටී ඇත්තේ කුණු දිය පව්ව හා පැදුරුතලා ගල කඳු අතරිනි. සීත ගඟුල සහ කුණු ගඟ පෝෂණය කරන මුල් දියවර ජනනය වන්නේද මෙම මාර්ගය ආශ්රිත වන පියසිනි. තවද වාරේ සහ අවාරේ බහුලව අලි වසුරු දැකිය හැක්කේද මෙම මාර්ගයේ වන අතර අපට එක්වරක් අවාරේ මෙහි ගමන් කිරීමේදී අලි කුංචනාදය පවා ඇසුණි. තවද එරත්න යනු දැරණියගල උඩමාලිබොඩ මාර්ගයද එකතුවන මගකි ඝන කැලයක් සහ සෙසු මාර්ග වලට සාපේක්ෂ පඩි රහිත මාර්ගයක් වනුයේ මෙයයි.
තවද අතීතයේ සහ වර්තමානයේ භාවනානුයෝගිව වාසය කරන භික්ෂූන් සමනල රක්ෂිතයේ වාසය කරන බව නොරහසකි. එලෙස භික්ෂූන් වාසය කරන්නේ මෙහි තිබෙන ගල්ගුහා වලය. නමුත් ඉතාමත් කිහිප දෙනෙක් හැරුණු විට එම භික්ෂූන් වාසය කරන ඉසව් ගැන නොදනිති. මේ පිළිබඳ යම් වැදගත් තොරතුරු රාශියක් ගිය වසරේ කුණු දිය පර්වතය තරණය කරන විට අපි දැනගත්තෙමු.
කුණු දිය පව්ව ආශ්රිත වන පියසේ පිහිටි ගල් ගුහාවල ඔවුන් වාසය කරන බවත් පිදුරුතලාගල කන්දේ වනපෙදෙස් වලද එලෙස භික්ෂූන් වාසය කරන බවයි. මේ හැරුණු විට සිරිපා රක්ෂිතය තුළ ඇති එකම භික්ෂු ආරාමය ලෙස හැඳින්විය හැක්කේ වර්නගලිය, වර්ණගල අම්බලම ආශ්රිත ඉසව්වේ විහාරස්ථානයක බව සැවොම දන්නා අතර එරත්න මග වැටී ඇත්තේ ඒ ඔස්සේය. එහි වාසය කරන පුද්ගලයකු හා හිමිවරු මේ ආදී සිරියාවේ ගුප්ත බව පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත්තවුන් වන්නේය.
භාවනානුයෝගී භික්ෂූන් අතර වඩාත් ප්රචලිත නාමය සහ තම ජීවිත කාලය තුළ රක්ෂිතයේ වාසය කරමින් භාවනානුයෝගීව වාසය කළ චන්ද්රලෝක හිමියන් වැදගත් සාධකයකි. අදටත් එ් හිමියන් පමණක් දැන සිටි සමනල අඩවියේ රහස් අත්දැකීම් සමුදයකි තවද හිමියන්ගේ අනුගාමී වූ හිමියන්ගේ මුඛ්ය සිසුවෙකු වූ ප්රේමාලෝක හිමියන්ගේන් අප දැනගත් තොරතුරු රාශියකි.
එම තොරතුරු ඇතැම් විට අදහාගත නොහැකි වුවත් ඒ සමාන වෙනත් තොරතුරු මින් පෙර සමනල රක්ෂිතය ආශ්රිත ඉසව්වලින් අප දැන හුන් නිසාවෙන් ප්රතික්ෂේප කළ නොහැකි විය. මන්ද සියලූ ලෞකික සැප සම්පත් අතහැර තම ධ්යානය පිණිස රුදුරු වන සතුන් බහුල ඉසව්වක තනිවම වාසය කරන ප්රේමාලෝක හිමියන් ජීවිතයේ අර්ථය බෙහෙවින් වටහා ගත් කෙනෙකු බව අපට පමණක් නොව බොහෝ සැදැහැවතුන්ට පසක් වූයේ මිනිස් වාසයකින් කිලෝමීටර් ගණනක් ඈත ඝන වනයක රුදුරු වනසතුන් සමග තනිවම භාවනා කිරීම නිසාවෙනි.
වයසින් මුහුකුරා යන්නටත් පෙරම වනගත වූ ප්රේමාලෝක හිමියන් භාවනාවට ඇලූම් කළේ නිර්වාණය ළඟාකර ගැනීමේ උතුම් අරමුණිනි. තවද කුඩා කල සිට සමනල රක්ෂිතයට හා සමන් දෙවි අඩවියේ හාස්කම් ගැන විශ්වාසයකින් හා උනන්දුවකින් සිටි හිමියන් තුළ අතීත කථාවල පැමිණි දිවා ගුහාව සියැසින් දැක බලා ගැනීමේ උනන්දුවක්ද තිබුණි. පලාබද්දල මගේ ධර්මරාජගලට ඔබ්බෙන් මහ වනයේ තිබෙන ගල් ගුහාවක කලක් වාසය කළ උන්වහන්සේ සතියකට වරක් නියමිත ගම්වැසියන්ගෙන් අවශ්ය ආහාර කළමනා රැගෙන යැයි. දිනකට එක් වේලක් අනුභව කරන උන්වහන්සේ වාසය කළ ගල් ගුහාව කාලෙයන් කාලයට වෙනස් කරන්නේ විවිධ හේතු මතය. ‘‘යක්ෂණී හිටපු ගල්ලෙන’’ යනු සිරිපාගම ආශ්රිත ජනයා හොඳින් අසා ඇති ගුප්ත ස්ථානයකි.
ප්රේමාලෝක හිමියන් මෙම යක්ෂණී හිටපු ගල්ලෙන තම වාසය කරගෙන කල්ගෙවුවේ තම භාවනානුයෝගී බවට අවශ්ය හොඳම ස්ථානයක් බවට එම ගල්ගුහාව එතුමන්ට දැනුණු හෙයිණි. නමුත් කිසියම් බලවේගයක් විසින් උන්වහන්සේට නිතරම එම ගල්ලෙනෙන් එලවා දැමීමට උත්සහ කර තිබේ. විටෙක විවිධ ශබ්ද වලින්ද අමුතු හඬවල් හා බියකිරීම් වලට උන්වහන්සේ ලක්කළද ප්රේමාලෝක නම් බුද්ධ පුත්රයන් ඒ අදෘශ්යාමාන දුෂ්ට බලවේග වලට සැලුනේ නැත. එම බියකිරීම් හා උන්වහන්සේව එම ගල්ලෙනෙන් එලවා දැමීමට සිහිනෙන් පවා පණිවුඩ එවූ බව උන්වහන්සේ පැවසූහ. මන්ද එම ගල්ලෙන යක්ෂණී හිටපු ගල්ලෙන යන නාමයෙන් හැඳින්වීමට කතා පුවතක් සහිත වූ හෙයිණි.
තවද ප්රේමාලෝක හිමියන් යනු තම පාදයේ ලේඋරා බොන්නට එල්ලෙන කූඩැල්ලෙකු වත් මරණයට පත් නොකරන හිමි නමකි. උන්වහන්සේගේ ධ්යානය කෙතරම් ශක්තිමත්ද කිවහොත් එම ගල්ලෙන උන්වහන්සේ නිදාගන්නා ස්ථානයේ හිසට ඉහළින් පිහිටි ස්ථානයක පල බරියා සර්පයෙකු වාසය කර ඇති අතර උන්වහන්සේ එහි වාසය කළ කාලය පුරාවටම එම සර්පයාගෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැත. සර්පයා හිමියන්ගේ හිස සමීපයේ මුලූ කාලය පුරාම වාසය කළද හිමියන්ට කිසිදු උපද්රවයක් නොවුයේ එතුමන්ගේ බවුන් වැඩීමේ බලමහිමය නිසාවෙනි.

බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීමේ ගමනේදී ගිමන් හැරි දිවා ගුහාව පිළිබඳ අතීතයේ සිට බොහෝ කථා ගොඩනැගුණි. මහගිරිදඹ ආශ්රයෙන් බටකොට ලෙන ආදී යම් ස්ථාන වලින් ගුහා හමුවුවද එ්වා දිවා ගුහාව නොවුයේ දිවා ගුහාවට අනන්ය වූ මූලික ලක්ෂණ එහි නොතිබුණු නිසාවෙනි. මන්ද දිවා ගුහාව යනු පලතුරු උයනක් මැද පිහිටි විශාල ගුහාවකි. ගුහාව තුළ දිය දහරක් සහ හිරු එළිය හොඳින් ලැබීමට තිබිය යුතු හෙයිණි මේ දිවා ගුහාව සොයා ප්රේමාලෝක හිමියන් බොහෝ අඳුරු ගුප්ත කැලෑ වල සැරිසැරුවද උන්වහන්සේට හමුනොවුණි. නමුත් එක දිනක් උන්වහන්සේ කැලයේ සක්මන් කරන විට පහතට පිහිටි විශාල හෙළක පලතුරු පිරුණු ගස් සහිත ප්රදේශයක් දැක තිබේ.
උනවහන්සේ එම හෙළට බැස ගත් පසු විශාල දිය දහරාවක් අසලින් අලංකාර ගුහාවක් දැක තිබේ. නමුත් උන්වහන්සේගේ සිහිකල්පනාව මඳ ගතියක් පැමිණි හෙයින් උන්වහන්සේට එහි සිිටින කිසිවෙකු ‘‘පැමිණෙන්න’’ කියා අඬගසා තිබේ. අමුත්තා පිළිබඳ හරි වැටහීමක් හිමියන්ට නොවුණු අතර සිහිකල්පනාව නැවත පැමිණෙන විට එතුමන් සිරිපා යන රජ මාවතේ සිට ඇත. මෙවැනි අදෘශ්යමාන බලවේග රාශියක් සිරිපා රක්ෂිතයේ ඇති අතර සුදු හැඳගත් වැඩිහිටියෙකුව බොහෝ පිරිසකට හමු වී ඇති අතර වාරේ සහ අවාරේ එලෙස හමුවී ඇත්තේ කැලයේ මංමුලාවන විට නිවරදි මග සොයා ගැනීමට හෝ යම් වදනක් පවසා උදව් කිරීමට වැනි දෙයකදීය.
එම නිසාම එම අදෘශ්යමාන පුද්ගලයා සමන් දෙවිඳු යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතියි. මන්ද අප දැනගත් ඇතැම් මංමුලා වීම් සහ අනතුරු සිද්ධීන්වල මෙකී සුදු හැඳගත් වයසක පුද්ගලයෙකු එක්වරම ඔවුන් සිටි ස්ථානයට පැමිණ නැවතත් ඔවුනට නොපෙනෙන ලෙස අතුරුදහන්ව ඇත.
කෙසේ හෝ ප්රේමාලෝක හිමි දුටු සත්යය නැවත වරක් ගවේෂණය කිරීමට උන්වහන්සේට අවස්ථාව නොලැබුණු අතර එකී දිවා ගුහාව හා සම්බන්ධ සිද්ධිය සිරිපා කන්දට නැගෙනහිරට වන්න ආශ්රිතව බත්තුළු ඔය හා රජමාවත අතර කැලය බවට උපකල්පනය කෙරුණි. සිරිපා රක්ෂිතයේ වන සතුන් ගිරි දුර්ග අතර තවමත් අප හෝ ෙවනත් අයෙකු පා නොතැබූ ස්ථාන රාශියකි. කුණු දිය පව්ව, හීණ් පිදුරුතලාව, සප්තකන්යා, සමනල කන්ද ආදිය අප තරණය කොට එහි ඇති දුෂ්කර බව හා ගුප්ත බව අත්දුටු අතර ලබන සතියේ යක්ෂණී හිටපු ගල්ලෙන සම්බන්ධ වැදගත් අබිරහස් සිද්ධිය හා සමනල කන්දේ අබිරහස් ගුහා සංකීර්ණය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවකින් හමුවෙමු.

විශේෂ ස්තූතිය - බලවන ගමේ
යසරත්න මහතා හට
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ෂාන් ප්රනාන්දු
-Lankadeepa-

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තියෙනි

© 2018 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka