පුන­රා­ග­ම­නය

Category: Blog Date: 2018-05-18 14:17:05


මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක් තිස්සෙ ඔයා කොහෙද හිටියෙ? මොනවද කළේ?
දොර ළඟ සීනුව නාද වුණා. මම කියවමින් හිටිය පොත ඇඳ උඩින් තියල, එක පාරටම නැගිට්ට. වෙලාව රෑ එකොළහමාරයි. මේ වෙලාවෙ කවුද? මං ඉස්සරහ දොරේ යතුරත් අරන් සාලෙට ගියා.
මං සාලෙ ලයිට් එකයි, දොර ළඟ ලයිට් එකයි දැම්ම.
“අම්මා...”
ලොකු පුතාගෙ කටහඬ. දොරේ කාචයට ඇහැ තියල බැලුවට කවුරුත් පේන්ඩ නෑ. මං ගෙදර තනියම හින්දයි, ගොඩක් රෑ වෙලා හින්දයි, කෝකටත් පරිස්සමට ඉස්සරහ කාමරේ ජනෙල් තිර පට අයින්කරල, ජනෙල් වීදුරුවන් පිටත බැලුව. අත් දිග කමිසයක්, කළු කලිසමක් ඇඳපු ලොකු පුතා තොප්පියක් අතේ තියාගෙන පාර දිහා බලාගෙන ඉන්නව. ඔළුව පිටිපස්සෙ ‘කැලෑ හඳ’ බේරිලා තිබුණු හැටියෙන් මට එයාව අඳුනගන්න පුළුවන්. පුතා තලවකැලේ ගිය හින්ද, ලොකු ලේලියි, දරුවො දෙන්නයි මහ ගෙදර ගිහින් විත්තිය මං දැනං හිටිය. ගෙදර අය නැති හින්ද එයා මෙහෙ එන්ඩ ඇති කියල හිතාගෙන මං ගිහින් දොර ඇරිය. ලොකු පුතාට ගෙට ඇතුල්වෙන්ඩ ඉඩ දීල, මං දොරේ පිටිපස්සට වුණා. එයා තොප්පිය ටීපෝව උඩ තියල ඇඳි පුටුවක වාඩි වුණා. මං ආපහු හැරිල දොරට යතුර දැම්ම.
“අපි රුපියල් හාරසිය පනහට ගත්තු බුරුත පුටු සෙට් එක තාම හොඳට තියෙනව නේද?”
පරණ පුරුදු කටහඬ! හත් දෙයියනේ! මේ නිලාන්ද? මොහොතකින් හිත කීප සැරයක් විදුලි කෙටුව - එතකොටම යටි ගිරිය හඬ තැලුව.
එයා ඉක්මනට නැගිටල ඇවිත්, අතින් මගෙ කට තද කරල වැහුව. අවතාර - හොල්මන් ගැන මගේ විශ්වාසය නැති වුණත්, අත අයින් කරමින් මං කෑ ගැහුව.
“එපා! නිලා... න්! ඔයා මැරිල අවුරුදු විසිපහකටත් වැඩියි...! අහකට වෙන්ඩ..! මං හිතුවෙ ලොකු පුතා කියල.. ආ..හ්!”
මගෙ අත් දෙකෙන්ම නිලාන්ව පස්සට තල්ලු කෙරුණේ ඉබේටම.
“බය වෙන්ඩ එපා ළමයෝ! කැ ගහන්ඩ එපා! කාටවත් ඇහෙයි! මෙහෙ ආවට බය වෙන්ඩ ඕනැ මම?”
ඇඟ සීතල වෙලා - වෙව්ලල ගිය මා ඉබේටම වගේ ලොකු සැටියෙ ඉඳ ගැස්සුණා.
“මර්සි, මං මැරුණෙ නෑ. එදා මං හැටන් වලදි ඒ වෑන් එකෙන් බැහැල, බගවන්තලාව බස් එකට නැග්ග. වෑන් එක පෙරළිලා ගිනි ගන්නකොට, අබේල - විජේල එක්ක මං වෑන් එකේ හිටියෙ නෑ. මාත් විස්තර දැන ගත්තෙ රේඩියෝවෙන්. පහුවදා පත්තරේ වෑන් එකේ හිටපු අයගේ - අට දෙනෙකුගේ නම් දාලා තිබුණත්, හැටන්වලදි ඒ අය අඳුනන කාව හරි එක්ක යන්න ඇති.”
මං කට ඇරගෙන - දාඩිය දාගෙන, හති දානව - වෙව්ලනව.
“මට සමාවෙන්ඩ මර්සි, අල්ලල බලන්ඩ, මේ මං පණ පිටින් ඉන්නව. මං ඔයාට ගොඩා...ක් දුක් දුන්න. ගොඩා... ක් කරදර කළා. මගෙන් අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් වුණා. හැම දේටම හේතු වුණේ මගෙ පිස්සු ‘ටාගට්’ එක. මට දහස් වාරයක් සමාව දීල, මං කියන දේ අහගෙන ඉන්ඩ.. මර්සි, ප්ලී... ස්”
මං සුදුමැලි වෙලා - බය බීත වෙලා - ඇස් ගෙඩි ඉලිප්පිලා - හුස්ම හිරවෙලා එයා දිහා බලං හිටිය. දිව - තොල - කට වේළිච්ච මගෙන් එක වචනයක්වත් පිටවුණේ නෑ. එයා කියවන්න පටන් ගත්ත.
“ඔයා ගෙදර තනියම ඉන්නව කියල දැනගත්තු හින්ද, මං රෑ කෝච්චියෙ නුවර ඇවිත්, ත්රීවීලරයකට නැගල ප්රියංකර හෝටලේ ළඟ බැස්ස. මේ පැත්ත දැන් හුඟක් වෙනස් වෙලා. උඩ පැත්තට පාරක් කපල හින්ද මට ගේ හොයා ගන්ඩත් අමාරු වුණා. කොකෝ ගහ දැක්කම තමයි අපේ ගෙදර කියල ෂුවර් කර ගත්තෙ. ඔයාගෙ දහිරිය ගැන මට හරි ආඩම්බරයි. ඇත්තමයි, මර්සි, ඔයා මට සමාව දෙනව නේද?”
මේ නිලාන්ම තමයි - මගෙ හිත කිව්ව. වේළුණු කට - තොලට තෙතමනයක් දැනුණ - කෙළ ගිලුණ - තලු මැරුණ. අවුරුදු විසි හතකට පස්සෙ එයාගෙ කටහඬ ඇහුණම - කතා විලාසය දැක්කම ටිකෙන් ටික මාව පියවි ගතියට පත්වුණා - සිහි කල්පනාව ආව.
නිලාන් ඉස්කෝලෙ හිත-මිතුරු ගුරුවරු කීප දෙනෙක් එක්ක ලක්ෂපාන, නෝටන් බ්රිජ්, කාසල් රී පැත්තෙ චාරිකාවක් ගියෙ මීට අවුරුදු විසිහතකට ඉස්සර. කොහොම හරි හැටන් පහුවුණාට පස්සෙ, වෑන්එක මහ ගහක හැප්පිලා - පාරෙන් පිටතට විසිවෙලා - ප්රපාතෙකට පෙරළිලා, දොරවල් ලොක් වෙලා, වාහනේට ගිනි ඇවිළිලා, ඇතුලේ හිටපු පිරිමි අට දෙනාම කළු අඟුරු වෙනකල් පිච්චිලා මැරිල හිටිය. ගැලවිලා විසිවුණු අංක තහඩුවෙන් තමයි වෑන් එකේ ගිය අට දෙනාව එයාලගෙ ‘ස්ටාෆ්’ එකේ අය නම් කරල තිබුණෙ. මං කොහොම විශ්වාස කරන්නද?
“ඔයා එදා වෑන් එක ඇතුළෙ පිච්චිලා මැරුණෙ නැත්තං... මෙච්චර කල් ඔයා කොහෙද හිටියෙ? ඇයි අද ආවෙ? මොකද දැන් අපිව මතක් වුණේ? ඔයා මහ පුදුම මිනිහෙක්! ඔයා තාත්තෙක්ද නිලාන්?”
මං තරහින් ප්රශ්න වැලක් ඇහුව. කතා නැතුව හිටපු තැනින් නැගිට්ට නිලාන් සාලෙ ඈතට ගියා. වීදුරු අල්මාරිය උඩ, පේළියට තියාපු, දරු හයදෙනාගෙම උපාධි පින්තූර එක-එක ළඟ නැවතිලා, හොඳට බලාගෙන හිටිය. කලිසම් සාක්කුවෙන් සුදු ලේන්සුවක් අරන් ඇස් පිහදානව මං දැක්ක. ඒත් මං නැගිට්ටෙ නෑ. මගෙ හිතට තරහකුත්, දුකකුත් පිරෙන්ඩ අරන් ඒ දෙකම හිත ඇතුළෙ වලි කෑව.
නිලාන් අඬනව මං කවදාවත් දැකල නෑ. එයා කඳුළු පිහදාගෙන, කීප සැරයක් හොටු සූරාගෙන ඇවිත්, මං ඉස්සරහ වාඩි වුණා.
“අන්තිමට ඉන්නෙ මාත් නොදැක්ක, මාවත් නොදැක්ක පුතාද මර්සි?”
මං උත්තර දුන්නෙ නෑ. නිලාන් වකුටු කරගත්තු අත්තල දෙකේ මූණ ඔබා ගෙන, ඔළුව බිමට නවාගෙන විනාඩියක් විතර කතා නැතුව හිටිය. ඔළුවෙ ඉස්සරහ, පිටිපස්සෙ රැලි කොණ්ඩෙ තවම තියෙනව. මැද හරියෙ අල්ලක් විතර තට්ටෙ පෑදිලා. එයා දිග හුස්මක් අරන්, ඔළුව එහා-මෙහා ගස්සල, ආයෙ පුටුවට හේත්තු වෙලා, ආයෙත් කියවන්න පටන් ගත්ත.
“මර්සි, ඔයාට මතකද ඉස්සර මගෙ ගමන් බිමන්? මං නැතිවෙන්ඩ අවුරුදු පහකට විතර කලින් ඉඳලා, ‘වීක් එන්ඩ්ස්’ වල, නිවාඩු දවස්වල මං ඔයාට එක-එක බොරු කියල නුවර එළියෙ, බගවන්තලාවෙ රහස් ගමන් ගියා. මං වැරදියි තමයි. ඒත්... ඒත්... මට විශේෂ අරමුණක් තිබුණ; හැබෑ කරගන්න හීනයක් තිබුණ. ඒකත් එක විධියක පිස්සු හැඟීමක් වෙන්න ඇති.”
“ඔයා කැමති අරමුණුවලට යන්ඩ ඕනැකම තිබුණ නම් ඇයි කසාද බැන්දෙ? දරුවන්වයි, මාවයි අතරමං කළේ ඇයි?”
“පොඩි දුව ලැබුණට පස්සෙ මං රෑ වෙලා ගෙදර එනකොට ඔයා මට දොස් කිව්ව. ඒ කාලෙ ඉස්කෝලෙ ඇරිල, හැන්දෑවට මගෙ ‘ෆිසික්ස් ලැබ්’ එකේ පුංචි කාමරේකට කාටත් හොරෙන් මං පර්යේෂණ වගයක් පටන් ගත්ත. මට ඕනැවුණා, කෙනෙක් අවුරුදු හතළිහක් තරම් පරිණත වුණාට පස්සෙ, වයස් ගතවෙන එක නවත්වන රසායනයක් - ජීව පදාර්ථයක් හොයන්න. මං භෞතික විද්යාව හොඳටම දැනං හිටියට, ජීව විද්යාවෙ - රසායන විද්යාවෙ ගැඹුරට හොයන්න මට කල් ඕන වුණා. මං රෑ වෙලා ඔළුව තෝන්තුවෙන් ගෙදර ආවම, මං බීල කියල හිතාගෙන ඔයා බණින හින්ද මට විසඳුම් ඕන වුණා. මං දිගටම ගෙදර නෑවිත් ලැබ් එකේම නිදා ගත්තු කාලෙකුත් තිබුණ මතකද? ඒ කාලෙ මිනිස්සු අපි ගැන කටකතා පැතුරුව.”
“මේ නිලාන්, පිං සිද්ද වෙයි! අතීතෙ ගැන මට කියන්ඩ එපා! මං විඳවල තියෙන තරම් හොඳටම ඇති. මෙච්චර කාලෙකට පස්සෙ ඔයා මෙහෙම ආවෙ ඇයි කියන්ඩකො - ඉතින්?”
මං ඉවසිලි නැතුව ඇහුව. නිලාන් බිම බලාගෙන, දෑතේ ඇඟලි පටලවමින් - දිග අරිමින් - මිට මොලවමින් හිටිය.
“මං මැරුණයි කියල හිතාගෙන, ඔයා ආයෙමත් කසාද බඳීවිද කියල මට බයකුත් තිබුණ.”
මගෙ ඇඟේ ලේ රත්වුණා. පුපුරන්ඩ තරම් තරහක් ආව. මේ මිනිහ තාමවත් මාව තේරුම් අරන් නැති හැටි?
“මං ගණිකාවක් නෙවෙයි! මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක් තිස්සෙ ඔයා කොහෙද හිටියෙ? මොනවද කළේ? ඔයා කොහොමද ලෝකෙට හොරෙන් ජීවත් වුණේ?”
මට ඇඬුණා. නිලාන් බැගෑපත් වුණා. නැගිටල ඇවිත් සැටියෙ වාඩිවෙලා මගෙ අතක් අල්ල ගත්ත. මං එයාගෙ අත පැත්තකින් තියල, ටිකක් ඈත් වුණා. එයා මගෙ පැත්තට හැරිල බාගෙට වාඩි වුණා.
“ඇති... ඇති... මර්සි, හයියෙන් කතා කරන්ඩ එපා! මං නුවරඑළියෙ උගන්නපු කාලෙ මගෙ ආදරණීය ගෝලයා - රාසරත්නම්ව ඔයා දන්නව නේද? මං එදා යද්දි මගෙ පර්යේෂණ බඩු වගේකුයි, ඇඳුමුයි දාපු බෑග් එක අරන් එයාලගෙ ගෙදර ගියෙ දවස් දෙකකින් එන්ඩ හිතාගෙන. මාත් වෑන් එකේ පිච්චිලා මැරුණ කියල දැන ගත්තම, ප්ලෑන් එක මං වෙනස් කළා. රාසටවත් ඇත්ත කිව්වෙ නෑ. දෙමළ මිනිස්සු සිංහල පත්තර බලන්නෙ නැති හින්ද මගෙ මරණෙ එයාලට ආරංචි වෙන්ඩ විදිහක් නෑ. මගෙ ‘රිසර්ච්’ එක පටන් ගත්තු කාලෙ ඉඳලම මං රාසත් එක්ක වැඩ කරපු හින්ද එහෙ කාටවත් ප්රශ්නයක් වුණේ නෑ. අර කාසල්රී ජලාශෙ මැද්දෙ තියෙන, තේ වවාපු කඳු ගැටේ පුංචි දූපතේ දලු කඩන්න බාර දීල තිබුණෙ රාසගෙ තාත්තට. රාසයිය ඒකෙ හදා ගත්තු පුංචි ලෑලි කුටියක් තිබුණ. මං රාසත් එක්ක එකතුවෙලා ඒක ටිකක් ලොකු කරල, බූරු ඇඳකුයි, මේසෙකුයි, පුටුවකුයි දාගෙන කඳු ගැටේ තිබුණු ලයිට් කණුවෙන් මගෙ වැඩවලට අවශ්ය විදුලිය ලබා ගත්ත. රාසගෙ මව්-පියෝ වයස්ගතව හිටිය හින්ද, දූපතේ දලු කඩන වැඩේ වත්තෙ මහත්තයගෙ අවසරය ඇතුව රාසා පවර ගත්ත. රාසා දලු කූඩත් අරන්, මට ඕන කරන දේවලුත් අරන් ඔරුවෙන් එහා - මෙහා ගියා. මගෙ වැඩවලට සම්බන්ධ වුණු රාසා කසාද බැන්දෙත් නෑ.”
“ඔයා හරිම කපටියෙක්! නැත්නම් මහ ආත්මාර්ථකාමියෙක්! මාව - දරුවන්ව අනාථ කළා මදිවට රාසයියවත් අනාථ කළා. දැන් ඔයාගෙ කෙහෙල්මල් පර්යේෂණේ සාර්ථක වෙලාද මට ඔයාව ලොකු පුතා වගේ පේන්ඩ සැලැස්සුවෙ? මට නං දැන් හැත්තෑවක්. ඔයාට තාම හතළිස් පහද?”
උපහාසයෙන් වගේ මට හිනා ගියා.
“ඇති යන්තම් හිනාවුණා” කියමින් නිලාන් මගෙ කරවටේ අතක් දැම්මත්, මං උරහිස් අකුලලා අත් පන්නලා සැටියෙ කෙළවරටම ඇදුණා.
“කිරි-කවඩි සිනා නොදැක බැඳුණු ආදරේ...
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ...”
“ඔයාගෙ පරණ සිංදුවලට මං දැන් රැවටෙන්නෙ නෑ හලෝ. ඒ කපුටි මැරිල හුඟක් කල්.”
“අනේ... අනේ... මර්සි! ඉතින් අහගන්ඩකො. මගෙ පර්යේෂණවලට රාසා උදවු කළා. රසායනික මූලද්රව්ය ගෙනැවිත් දුන්න, සත්තු හොයල දුන්න, මාත් එක්කම සමහර සංයෝග ටික-ටික බීල බැලුව. මට එහෙදි ඉලෙක්ට්රොනික් රෙපෙයාර් වැඩ කරල සල්ලි හොයා ගන්න රාස උදවු කෙරුව. මගේ වැඩවලින් සාර්ථක ප්රතිඵල ලැබුණම, ඒකෙන් දහයෙන් පංගුවක් රාසට දෙන්ඩ මං පොරොන්දු වුණා. දැන් මගෙ ‘රිසර්ච්’ එකේ ප්රතිඵල අරන් මම ඇමෙරිකාවට හරි එංගලන්තෙට හරි යන්ඩ ප්ලෑන් කරල තියෙන්නෙ. රාසත් මාත් එක්ක යනව. රටවල් දෙකෙන්ම මට ‘රිප්ලයි’ කරල තියෙන විධියට බර ගාණක් ලැබෙයි. ලබන සතියෙ විතර දෙගොල්ලොම එක්ක ‘ස්කයිප් ඉන්ටවිව්’ තියෙනව.”
“ආ! ඔයා ලෑලි කාමරේ ඉඳන් ලෝකෙත් එක්කම ගනු-දෙනු කරනව වගේ? ඉන්ඩකෝ, මං අපි දෙන්නටම කෝපි හදාගෙන එනකල් ළමයින්ගෙ ‘වෙඩින් ඇල්බම්’ දෙන්නම් - බලන්න.”
මං කුස්සියට ගියා. කතා-බහ කළාට මොකද තාම මගෙ පපුව වේගයෙන් ගැහෙනව. දුක - තරහව - අවිශ්වාසය - කුතුහලය වාගෙ සංවේදන එකට හැපී - හැපී හිත ඇතුළෙ පොර බදනව. රෑට ‘ප්රෙෂර්’ පෙත්තක් බීල හිටියත් මට බයක් දැනුණ. ඒ හින්ද මගෙ කෝප්පෙට කෝපි ටිකක් දාගෙන, නිලාන්ට කෝපි ‘මග්’ එකක්ම අරන් ගියා. එයා ඇල්බම් බලන්නෙ නැතුව, මොනවද පෝර්ම වගයක් බලමින් හිටිය. ඔහු කෝපි තොල ගාන ගමන් කතා කළා.
“මර්සි, ඔයා දැන් දරුවො ගැන හිතල කරදර වෙන්ඩ එපා. එයාලට ශක්තිමත් - හොඳ අනාගතයක් තියෙනවා. ඒත් ඔයා? ඔයාව මෙහෙම තනි කරල දාල මට රට යන්ඩ බෑ. මට ආයෙමත් ඔයාව බඳින්ඩ ඕනැ.”
“මේ මනුස්සයගෙ ඔළුව හොඳටම නරක් වෙලා. මරණ සහතිකේකුත් තියෙන මිනිහෙකුව කසාද බඳින්නෙ කොහොමද? අනික අවුරුදු විසි හතක් තිස්සෙ මට ලැබුණු ‘විඩෝස් පෙන්ෂන්” සල්ලි බර ගාණක් ආපහු ගෙවන්න? මට නම් බෑ බොරු කරන්න. මේව බරපතළ චෝදනා! පිස්සු නැතුව මගෙ නාකි කාලෙ මට සැනසිල්ලෙ ඉන්ඩ දෙන්ඩ නිලාන්.”
“නෑ - නෑ - එහෙම නෙවෙයි මං යෝජනා කරන්නෙ. මේ මගෙ අලුත් හැඳුනුම්පත. මං දැන් විශ්ව රාජගුරු. වෙන කෙනෙක්ව බැන්දම විඩෝස් පෙන්ෂන් එක නිකම්ම ‘කැන්සල්’ වෙනව - එච්චරයි. මං ආවෙ මේක ඔයාට තේරුම් කරල දීල, මේ ‘ෆෝර්ම්ස්’ ටික ඔයාට දීල යන්න.”
මං කෝපයෙන් ගිනි අරන්. ලැජ්ජාවෙන් - පිළිකුලෙන් ගැහෙන්ඩ පටන් අරන්.
“මටවත් - දරුවන්ටවත් ඔයාගෙ සල්ලිත් එපා! ඔයත් එපා! බොරු අනුකම්පාව ඔයාම තියාගෙන, රටෙන් ඉක්මනට පිටවෙන්ඩ. මගෙත් - ඔයාගෙත් ගෞරවය රැකගෙන, අපේ දරුවන්ගෙත් නම්බුව රැකගෙන අපට ඉන්ඩ දීල ඔයා ඕනැ දිහාවක යන්ඩ. නිලා...න්, මට බෑ.. මට බෑ... බෑමයි.”
“අනේ මර්සි, ප්ලීස් මට රිදවන්ඩ එපා!”
“ඔයා මෙච්චර කල් අපිට රිදෙව්ව. ඒකට ඔයාට දුක නැද්ද? මාව වෙනස් කරන්ඩ දැන් ඔයාට බෑ. එහෙම ඉල්ලන්ඩ තරම් ඔයාට අයිතියකුත් නෑ.”
මං වේගයෙන් මගේ තීරණේ කියල දැම්ම. එයා අමුතු විධියකට බලං හිටියත් මං සසල වුණේ නෑ.
එයා නැගිටල, මගෙ අත් දෙකෙන්ම අල්ලල, මාවත් නැගිට්ටෙව්ව
“ඔයා ආයෙ මෙහෙ එන්ඩ එපා!”
මං තදින්ම කිව්ව. ලොකු වාහනයක් නවත්වපු සද්දෙ ඇහුණ. මං පාර පැත්තෙ ජනෙල් තිරපටයක් එහාට කරල බැලුව. මහ පාරෙන් එහා පැත්තෙ මාළු මුදලාලිගෙ ලොරිය ඇවිත්. ක්ලීනර් බැහැල, කොල්ලට අඬ ගහනව - ගේට්ටුව අරින්ඩ. මට අදහසක් ආව. මැද ජනෙල් පියන්පත ඇරියා. සාලෙ දොරත් ඇරල යතුර අතට ගත්ත. නිලාන් එයාගෙ ඔළුව ඇඟිලිවලින් පිරිමදිමින් හිටිය.
“නිලාන්! නෑ... නෑ..., මිස්ට විශ්ව රාජගුරු, ඇයි බය වෙලා? ඒක ඔයාගෙ බොරු නම - අලුත් නම! කරුණා.. කරල ආපහු යන්න. නැත්නම් මං කෑ ගහනවා - පාරෙ තුන් දෙනෙක් ඉන්නව. ඒ ගොල්ලො මාව දන්නව.”
“අපෝයි! මර්සි... ෂ්... ෂ්... ෂ්...”
මං හදිසි නිවේදනයක් නිකුත් කළා.
“කතා එපා...! ඉක්මනට එළියට යන්න! නැත්තං ඔන්න මං කෑ ගහනව!” මං ජනෙල් හරස් පටි දෑතින්ම අල්ල ගත්ත.
නිලාන් එළියට ගියා. මං එයාගෙ තොප්පිය එළියට විසි කරපු සැණින් දොර වහල අගුලු දැම්ම. මං ආයෙ ජනේලෙ ළඟට ගියා. පාරෙන් එහා පැත්තෙ විදුලි එළියෙ උදව්වෙන් එයා හෙමිහිට පඩි පෙළ බහිනව. එයා පුංචි ගේට්ටුව වැහුව; පාරට බැස්ස. නිලාන් නොපෙනී යනකං මං හුස්ම අල්ලගෙන බලං හිටිය.
මං ජනෙල් පියන වහල - තිරපට ඇදල - ආයෙමත් සැටිය උඩට කඩා වැටුණ. දණහිස් උඩ තියා ගත්තු දෑත්වල මූණ ඔබාගෙන, මං කොච්චර වෙලා ඇඬුවද කියල මට මතක නෑ.
බර්නි දසනායක - අම්පිටිය
විවර

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තියෙනි

© 2018 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka