සිංහල අවුරුද්ද මනෝ චිකිත්සාවකි

Category: Blog Date: 2019-04-11 18:43:16

සිංහලයාගේ ජාතික උත්සවය ලෙස සැලකෙන අවුරුදු උත්සවය හෙවත් සූර්ය මංගල්යය වනාහි: සූර්යයාට කෘතගුණ සැලකීම සඳහා ජාතියක් ලෙස එකාවන්ව එක්වෙමින්, වසර දහස් ගණනක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන ආ චාරිත්රවිධි ජනක්රීඩා ආදියෙන් සමන්විත අභිමානවත් සංස්කෘතික මංගල්යයයි.

සිංහල අවුරුදු උත්සවය අප මහින්දාගමනයෙන් ලත් දායාදයක් සේ සමහරු හැඳින්වූවත්, එය පණ්ඩුකාභය රජ සමය (ක්රිපූ 400) තෙක් ඈතට විහිදෙන්නක් බැව් මහාවංසය දක්වයි. එසේම කාශ්යප රජ දවස සීගිරිය අබියස බක්මහ උලෙළට සමාන උත්සවයක් පැවති බවත්, කීර්ති ශ්රී මේඝ යුවරජු (ක්රිව12 වන සියවස) වසන්ත උත්සවයකට සහභාගි වූ බවත් මහාවංස තොරතුරු හෙළිකරයි.

මේ අනුව දීර්ඝ ඉතිහාසයක් ඇති සිංහල අවුරුදු උත්සවයට සමහර හින්දු ලක්ෂණ ඇතුළත් වූයේ පොලොන්නරු යුගයේදීය. බ්රිතාන්ය ආධිපත්යයට නතුවීමත් සමග සිංහල අවුරුදු චාරිත්ර පසුපසට තල්ලු වී ගියේය. එහෙත් 1855 දී දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිතුමා පංචාංග ලිත සකස් කිරීමත් සමග සිංහල අවුරුදු චාරිත්රය නැවත බෞද්ධයන් අතරට පැමිණි අතර, ඉන් ඇතිවූ ප්රබෝධය හේතු කොටගෙන 1855 දී සිංහල අවුරුදු දිනය නිවාඩු දිනයක් බවට පත්විය.

සිංහල මාස ක්රමයට අනුව බක් හෙවත් භාග්යවත් මාසය අටුකොටු අස්වැන්නෙන් පිරී, ගහකොළ මලින් පලින් පිරීගිය වසන්ත සමයකි.

නෙළාගත් අස්වැන්නෙන් අග්ර වූ කොටස අලුත් සහල් මංගල්ලයට උත්සවාකාරයෙන් පුදා නැවත ගොවිතැන් කටයුතුවල යෙදීම ආරම්භ කිරීම අතර වූ විවේකී කාලයේදී සූර්ය මංගල්යය පැවැත්විණි.

අතීතයේ සශ්රීකත්වය, සොබාදහම බැඳුණු සංකල්පවලට බොහෝ විට ස්ත්රීත්වය ආරෝපණය වී පැවතිණි. සොබාදදහම මවකට සම කළේය. උත්සවාකාරයෙන් මවු දෙවඟන පිදීම තවත් උදාහරණයකි.

එහෙත් සිංහල අවුරුදු උත්සවයේ ප්රධානත්වය ලැබී ඇත්තේ පුරුෂයකුටය. එනම්: අවුරුදු කුමාරයාටය. සූර්යා මුල් කරගනිමින් පවත්වන උත්සවයක සූර්යයාගේ බලවත් තෙදවත් ඔදවත් බව පෙන්වීමට මේ පුරුෂෝත්තම සංකල්පය යොදාගෙන ඇත.

අවුරුද්දට පේ වීම

‘අවුරුදු සඳහා පේ වීම‘ යනුවෙන් කෙරෙන චාරිත්ර රාශියකි. අවුරුදු චාරිත්ර ඇරඹෙන්නේ අස්වනු නෙළීමත් සමඟමය. මේ සූදානමින් සංකේතවත් වුණේ ගෙවී ගිය වසරින් ගෞරවාන්විතව සමුගැනීමත්, එළැඹෙන නව වසර අභිමානවත් ලෙස පිළිගැනීමත්ය.

එය අවස්ථා තුනකින් යුතු කාරියන් ලෙස සිදු විය. එනම්: පරණ අවුරුද්ද අවසන් කිරීමේ කාරිය, අලුත් අවුරුදු දා කාරිය, අවුරුද්දෙන් පසු කාරිය යනුවෙනි. මෙයින් අවුරුදු දා කාරිය ජොතිෂය මුල් කරගනිමින් සුබ මුහුර්ත යොදාගනිමින් කරනු ලබයි. වැඩ අත්හැරීම, ගිනි මෙළවීම, අනුභවය, නෑගම් යෑම ආදිය ඊට අයත්ය.

අවසානයේ සමස්ත අවුරුද්දම ගොනුවී ඇත්තේ පුද්ගලයා කායික මානසික සහ ආධ්යාත්මික වශයෙන් නැවත අලුත් කිරීමකටය. මෙතෙක් ආ ගමනේ උපකාර කළ සියලු ජීවඅ-අජීව වස්තූන්ට කෘතගුණ සැලකීමකටය. එහිදී මවුපියන්, සතාසීපාවා, සොබාදහම, පමණක් නොව ජීවනෝපාය සැලසූ කමත, කුඹුර ආදියටද ආචාර දැක්වීමට සිංහලයා වගබලාගනී. සිංහල අවුරුද්ද මිනිසාගේ කායික මානසික ආධ්යාත්මික තත්ත්වයන් වඩාත් ඉහළ තලයකට ඔසවන මිනිසාගේ යහගුණ ඔප් නංවාලන අඛණ්ඩ ධර්ම චාරිකාවක් වන්නේ ඒ නිසාය.

මිනිස් සිත ගොරහැඬි කරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්යාව, ලෝභය වැනි දුර්ගුණ විරේචනය කර මුදු මොළොක් සුවපත් මනසක් ඇති කරන විස්මිත මනෝ චිකිත්සාමය ගුණ රාශියක් සිංහල අවුරුද්දේ අඩංගුය.

චාරිත්රයන්හි අරුත ගැඹුරින් විමසන්නකුට සිංහල අවුරුද්දේ ඇති මනස සුවපත් කරන ගුණ දැකිය හැකිය. සිංහල අවුරුද්දේ ගැබ් වන මේ මනෝ චික්තිසාමය ලක්ෂණ විමසීම මේ ලිපියේ මුඛ්ය පරමාර්ථය වේ.

ගේ දොර පවිත්ර කිරීම

අවුරුද්ද එළඹීමට පෙර නිවැසියෝ ගේදොර වත්තපිටිය සුද්ධපවිත්ර කරති.

වසරක් පුරා ඉවත් නොකර ගොඩගසාගත් අනවශ්ය බඩුබාහිරාදිය බැහැර කිරීමෙන් පරිසරය පවිත්ර වී අලුත් එළියක් අලංකාරයක් ගෙන දෙයි. එයින් නිවැසියන්ගේ ගත මෙන්ම සිතද සුවපත් වේ. අවට පරිසරය ප්රසන්නව පැවතීම මනස පුබුදුවන ඔසුවකි.

පුණ්ය කාලය

පරණ අවුරුද්දත්, නව අවුරුද්දත් අතර සංක්රාන්ති සමය හෙවත් නොනගතය මුලින්ම එළැඹෙයි.

පුණ්යකාලය ලෙස හඳුන්වන්නේ රාශි චක්රයට අධිපති සූර්යා මීන රාශියෙන් නික්මුණු වේලාව සහ මේශ රාශියට පිවිසීම අතර කාල පරාසයයි. මේ මොහොත කිසිම සුබ වැඩකට හේතු නොවන අතර, ආගමික කටයුතු සඳහාම වෙන් කර ඇති මොහොතකි. මේ කාලය තුළ නිවැසියන් නිවෙසින් බැහැර වන්නේ විහාරස්ථානයට යෑමට පමණි.

නොනගතය එළඹීමට ප්රථම කා-බී සියලු වැඩ අත්හැර ළිපගිනි නිවාදැමීම කළ යුතුය. සුබ හෝරාව එළඹෙන තෙක් ඒ සියල්ලෙන් වැළකී සිටීය යුතුය.

ඒ කාලසීමාවේදී ජනතාව විහාරස්ථානය කරා ගොස් ආගමික වතාවත්හි යෙදී තුනුරුවනේ ආශීර්වාද ලබාගනිමින් ආධ්යාත්මික පාරිශුද්ධභාවයකින් නව වසර අරඹන බැවින් නොනගතය පුණ්ය කාලය ලෙසද හඳුන්වයි.

ළිප ගිනි මෙළවීම සහ අනුභවය

සුබ මොහොතින් ළිප ගිනි මෙළවීම සමඟ අවුරුදු කුමාරයාගේ සම්ප්රාප්තිය දසත පැතිරෙනුයේ ගිගුම් දෙන රතිඤ්ඤා හඬිනි.

නව වසරට සුදුසු වර්ණයෙන් යුතු වස්ත්රාභරණයෙන් සැරසී, නියමිත දිශාවට මුහුණ ලා අලුතින් බැඳගත් ළිප මත නැවුම් මුට්ටියක බහා නව වසරේ පළමු ආහාරය වන කිරිබත සුබ මොහොතින් පිසින්නට පවුලේ සාමාජිකයන් පිරිවරාගනිමින් මහත් භක්තියෙන් යුතුව පළමු ගිනිහුළ ගෘහිණිය විසින් දල්වනු ලැබේ.

සූර්යා සුබ මොහොතින් මේෂ රාශියට සම්ප්රාප්ත වීම සමරනු වස් සමස්ත ජාතියම එකම වර්ණයකින් සැරසී එකම නැකතකින් එකම දිශාවක් බලා ළිපගිනි දල්වා එකම අහරක් පිස එකම නැකතින් සියල්ලෝම අනුභව කරති. මෙරටදී පමණක් නොව විදේශයන්හිදී පදිංචි සිංහලයන්ද මෙදින ඔවුනට හැකි ශක්ති පමණින් චාරිත්ර ඉටුකිරීම චමත්කාර ජනක හැඟීම් ඇති කරයි. කොළඹින් සැතපුම් සියගණන් ඈත ඒ කොන මේ කොන සැම කොන වෙසෙන ජනතාව එකම අරමුණකට ඒකාත්මික කරවන සිංහල අවුරුද්දට සමාන විචිත්ර උලෙළක් ලොව තවත් නැත.

සකසාගන්නා ලද ආහාරවලින් සැරසූ මේසය වටා පවුලේ සාමාජියෛා් අනුභවයට සුබ මොහොත එළඹෙන තෙක් රැස්ව හිඳිති. නියමිත වර්ණයෙන් යුතු අලුත් ඇඳුමින් සැරසී සුබ දිශාව මුහුණ ලා සුබ මොහොතින් පළමු ආහාර පිඬ මුවෙහි ලාගනිති. ඉන් පසු නිවෙසේ ගෘහමූලික වූ පියා අතින් පවුලේ සියලු දෙනාගේ මුවට ආහාර පිඬක් එකතු වෙයි. පියාගෙන් ලද ආහාර පිඬෙන් පසු දරුවෝද ඔවුනොවුන්ට ආහාර පිඬකින් සංග්රහ කරති. ප්රිය සල්ලාප හමුවේ ආහාර අනුභවයෙන් පසු දරුවෝ මවුපියන්ට බුලත්හුරුලු දී වැඳ පෙර වසරේ සිදුවූ වැරදීම්වලට සමාව අයදිමින් නව වසරටද ආශිර්වාද ලැබගනිති.

වැඩ ඇල්ලීම යනු තමාට අයත් කාර්ය ඒ මොහොතේ සංකේතවත් කරමින් සිදු කිරීමය.

දරුවෝ පාඩම් කටයුතුත්, වැඩිහිටියෝ ගසක් රෝපණය කිරීම ආදියත් සිදු කරති.

ගනුදෙනු කිරීමේදී අත්වාසි ඇති පුද්ගලයකු හා ගනුදෙනු කිරීමට සිංහලයා උත්සුක වෙති. දරුවෝ බුලත් කොළයක එතූ රිදී කාසියක් පියාගෙන් ලබති.

මේ මොහොත පවුලක සතුට සාමය ආදරය හැඟීම් උල්පතක් වී ඔවුනොවුන් කරා ගලා යයි. පවුලක ඇති වටිනාකම එක්ව සිටීමේ බෙදාහදාගැනීමේ වැදගත්කම ගැන අවබෝධයක් ඇතිවෙයි. දරුවන්ට සුරක්ෂිත හැඟීමක් ඇති වෙයි. එමගින් පෞරුෂවත් වටිනාකම් සහිත පුද්ගලයන් ජාතියට දායාද වෙයි.

හිසතෙල් ගෑම, නෑගම් යෑම

හිසතෙල් ගෑම අලුත් අවුරුද්දේ සුවිශේෂම චාරිත්රය ලෙස පැරැණියෝ සැලකූහ.

ඖෂධීය ගුණ ඇති ශාකමය කොටස්වලින් සැදූ නානු ජනතාවට බෙදාදීම ගමේ පන්සලෙන් සිදුවෙයි. සකසාගත් නානු පිරිත්වලින් පේ කර බෙදා දී භික්ෂූන් වහන්සේ තමන්ට වසරක් පුරා සිවුපසයෙන් සංග්රහ කළ උපාසක උපාසිකාවන්ට කෘතවේදි අනුග්රහය දක්වති. පවුලේ වැඩිහිටියකු විසින් නිවැසියන්ගේ හිස මේ නානු ගල්වයි. හිසතෙල් ගා ස්නානය කිරීමේ චාරිත්රයෙන් අනතුරුව නෑගම් යෑමේ චාරිත්රය ඇරඹෙයි. නෑ සබඳතා අලුත්වීම පැරණි අමනාපකම් අතහැර දැමීම සිදු වෙයි.

නව සඳ බැලීම

නව සඳ බැලීමද අලුත් අවුරුද්දේ විශේෂ චාරිත්රයකි. සඳ මිනිස් මනසට බලපෑම් කරන ග්රහයෙකු බව ජොතිෂයේත් ආයුර්වේදයේත් සඳහන්ව ඇති බැවින් සුබ දිනයක සඳ බැලීම සිදු කරයි. වසර පුරා සුවපත් මානසික තත්ත්වයක් තබාගැනීම මෙහි අරමුණ වන්නට ඇත.

රැකීරක්ෂා සදහා පිටත්ව යෑම

වසර පුරා ආරක්ෂාවත්, රැකියාවේ දියුණුවත්, සතුටත් අපේක්ෂාවෙන් සහ විශ්වාසයෙන් නව වසරේ රැකියාවට යන මුල්ම දිනය සුබ හෝරාවෙන් කරන්නට එදා මෙන්ම අදටත් බොහෝ දෙනා වගබලාගනු දැකිය හැකිය.

සහජීවනය සහ සංහිදියාව

අවුරුද්දේ සියලු ක්රියාකාරකම් පිටුපස ඇත්තේ කායික යහපැවැත්ම සහ මානසික සංහිඳියාවය. වෙනදාට වඩා කැපවීමක් ආදරණීය සහයක් සැමියා වෙතින් බිරිදට ලැබේ. දරුවෝද මවුපියන් වටා එතෙමින් ඔවුන්ගේ ආදරය ලබති. නිවෙසේ කටයුතුවලට තම ප්රමාණයෙන් සහාය වෙති. නිවෙසේ සාමය ප්රීතිය කඩ වෙන අකැප දේ සිදු නොවීමට සැමදෙන වබලාගනිති. මිදුලේ ගසක ගැට ගසන ඔන්චිල්ලාව අවුරුදු සිරිය දෙගුණ තෙගුණ කරවයි.

නූතන මනෝවිද්යාවට අනුව පවුලක ඇති එකමුතුව සහයෝගය ආදරය සැලකිල්ල ඒ නිවෙසේ ප්රීතිය දියුණුව උදා කිරීමට හේතු වේ.

එවැනි පවුල් පසුබිමක් දරුවන්ගේ මානසික සංවර්ධනය සඳහා දරුවන්ට අත්යවශ්යයය. ප්රීතිමත් සාමකාම පවුල්වල දරුවෝ ක්රියාශීලිය, නිර්මාණශීලිය, දියුණු අන්තර්පුද්ගල සම්බන්ධතා දක්වති, එවන් පසුබිමක් නැති පවුල්වලට එම පසුබිම සාදාගන්නටත් ඇති අයට වඩ වඩා දියුණු කරගන්නටත් අවුරුදු සමය තරම් සුදුසු තවත් කාලයක් නැත.

ප්රායෝගික ආදර්ශ

අවුරුදු සිරිත් අතර මවුපියන් දරුවන් ඉදිරියේ තම මවුපිය වැඩිහිටියන්ට වන්දනා බුහුමන් දැක්වීම ආදර්ශවත් චාරිත්රයකි. දරුවන්ගේ ලොවේ වීරයන් වන මව්පියන් තමන් ඉදිරියේ ආච්චීට සීයාට වදිනු දකින දරුවෝ එය ආදර්ශයක කොට ගනිති.

විශේෂයෙන් වයස 10ට අඩු අනුකරණ අවධියේ සිටින දරුවන් හැදෙන්නේ අවවාදයට වඩා ආදර්ශයන් ඇසුරෙනි. මේ සිරිත් දරුවන් තුළ යහගුණ වැඩෙමින් මානය දුරුවෙමින් අනතිමානී ගුණය වැඩෙයි. සමවයස් කණ්ඩායම් සමග ක්රීඩා කිරීම එක්ව සිටීමට ලැබීම දරුවාගේ පෞරුෂ සංවර්ධනයට ප්රබල බලපෑමක් ඇති කරයි.

පැරණි අමනාපකම් දුරුකරගැනීම අවුරුදු කාලයේ විශේෂ සිදුවීමකි. කෙතරම් අමනාප පුද්ගලයකු වුවද අවුරුදු දා නිවෙසට ගොඩ වැදුණහොත් පැරණි අමනාපකම් ඉවත ලා පිළිගෙන සංග්රහ කිරීමත් දෙපිරිස නැවත නෑහිතවත්කම් අලුත් කරගැනීමත් සිදු වේ. අමනාපය වෛරය ක්රෝධය සිත දරා සිටීම මනස රෝගී කරවයි. එයින් මිදීමට ලැබීම මනස සුවපත් කරවයි.

අවුරුදු ක්රීඩා ජවන හා පිටිය ඉසව්වලින් යුක්තය. එමගින්ද ජයපරාජයට වඩා සාමූහිකත්වයට සහභාගිත්වයට මුල්තැන දීම නිසා සුහදව තරගකර ජයලද්දෝද පරාජය වූවෝද සතුටින් විසිර යති.

සොබාදහම සමානාත්මතාව සහ අවුරුදු කුමරු

මනුෂ්යයා ස්වභාවධර්මය සමග ඒකාත්මික වූ විශේෂ සත්ත්වයෙක්ය යන්න සිංහල අවුරුද්ද නිහඬවම පෙන්වන තවත් ලක්ෂණයකි. ස්වභාව ධර්මයාට කෘතගුණ සැලකීම අවුරුද්දේ චිරාගත සම්ප්රදායකි.

අවුරුදු කුමරු ලෙස අප වෙත එන්නේ හිරු දෙවියන්ගේම වෙනත් ස්වරූපයක් බව ජන විඥානයේ තැන්පත්ව ඇති බැවින් අවුරුදු කුමරුගේ පංගුව ඔහු වෙනුවෙන් තැනූ පැළක වෙන්කර තැබෙයි.

වසර පුරා ජලය සපයන ළිදට කෘතගුණ දැක්වීමට බොහෝ ගෘහිණියෝ ළිද සමග ගනුදෙනු කිරීම සිදු කරති. නැවුම් කළයකට ළිදෙන් ජලය ලබාගෙන රිදී කාසියක් සහ තුනපහ පොට්ටනියක් ළිදට දැමීමත් වසරක් පුරා ජලය ලබාදීම පිළිබඳ පින්දීමත් ගෘහිණිය අතින් සිදුවෙයි.

නිවෙසේ වැඩිහිටි පිරිමි වටිනා ගහකොළ රෝපණයද අවුරුද්දේ වටිනා චාරිත්රයකි. සොබාදහමේ විශිෂ්ටතා නිසි කලට අත්විඳීමට හැකි වනු පිණිස ගහකොළ සිටුවා පරිසරයට උපහාර දැක්වීම අපේ මිනිසුන් තුළ තිබූ පරිසරබද්ධ සහජීවනයට උදාහරණයකි.

අලුත් අවුරුදු අර්ථය

ඉහත සියලු කාරණා එක්තැන් කොට විමසා බැලීමේදී සිංහල අවුරුද්දේ අර්ථය ආදරය සහ සෙනෙහස බෙදාදීම බව හොඳින් පෙනේ.

ජීව-අජීව මෙන්ම මනඃකල්පිත දේ අරබයා අපගේ පවත්නා ගෞරවය ආදරය භක්තිය සොබාදහම වෙත රැගෙන යන්නට අප වෙත පැමිණෙන දූතයා වනුයේ අවුරුදු කුමරුය. ඔහු සමානාත්මතාව නමැති ත්යාගය අප වෙත රැගෙන එයි. එසේ හෙයින් අප සියල්ලෝ විවිධ සමාජ තළවල මෙන්ම දිවයිනේ විවිධ ප්රදේශවල ජීවත් වුවද අවුරුදු දා එකම වර්ණයකින්

යුතු ඇඳුමින් සැරසී එකම වර්ගයේ ආහාරයක් එකම නැකතකින් පිස එකම නැකතින් භුක්ති විඳින්නේ අවුරුදු කුමරුන්ගෙන් ලැබෙන සමානාත්මතාව සහ ආදරය පදනම් කරගෙනය. ආදරය මනසට ප්රබල ඖෂධයකි.

ආදරය නමැති මනෝභාවය අවුරුදු කාලය පුරා අප්රකටව සිතින් සිත ගලා යයි. එහි ප්රතිඵලයක් ලෙස අයිතිය වෙනුවට යුතුකම් වගකීම් පිළිබදව හැඟීම් ඉස්මතු වෙයි. අවුරුදු මංගල්ලය පුරා ඒ ප්රබල ඔසුව විවිධ චාරිත්ර මඟින් අපට එන්නත් වෙයි. ඊළග අලුත් අවුරුද්ද එනතෙක් එයින් ප්රතිශක්තිය සැපයෙයි. ජීවිතයේ දුක් කම්කටුලු, වගකීම්, යුතුකම් බර දිනකට දෙකකට බිම තැබෙන්නේ අලුත් අවුරුදු දාය. තමන්ට ප්රිය වූවන් සමග හුරුපුරුදු පරිසරයක අත්විදින මේ කායික මානසික අස්වැසිල්ල සංහිඳියාව සරල වුවද සැහැල්ලු වුවද ගැඹුරු මානසික පදනමක් සහිතය. ඒ වටා වන සියලු චාරිත්ර සැකසී ඇත්තේ මනස සුවපත් කරන්නටය. තමාට මෙන්ම අනුන්ටද ඒ සුවය බෙදන්නටය. වර්තමානයේ දක්නට නැතත් අතීත අවුරුදු සිරිත් හිංසනයෙන් තොරය; සත්කාරයෙන් අනූනය; මත්පැනින් තොරය.

අවුරුදු කෑම මේසය නිර්මාංසය. සතාසීපාවට පවා නිදහසට ඉඩ විවෘතය. මෙවන් පරිසරයක ඇති සුවය කායික මානසික පීඩාවලින් හෙම්බත් වී දිවි ගෙවන මිනිසුන්ගේ මනසට ලැබෙන ඉහළ චිකිත්සාමය ප්රතිකාරයකි.

එහෙත් එකම මොහොතක වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, අනුභවය, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සදහා පිටත්ව යෑම ආදී චාරිත්ර දෙස සිංහලයා මතුපිටින් බැලීමට පුරුදු වූ දා පටන් සිංහල අවුරුද්දේ ගාම්භීරත්වය, අභිමානවත් බව සහ අපේකම ගිලිහී යන්නට විය. සමාජය වාණිජකරණය වීමේ වේගයට සමාන වේගයකින් සිංහලයාගේ සිතින් සිංහල අවුරුද්ද මැකී යමින් තිබේ. වර්තමානයේ එහි දක්නට ඇත්තේ ආත්මීය වින්දනයක්, සංහිඳියාවක් නොව වෙළෙඳ ආක්රමණිකයන්ගේ ගොදුරක් බවට පත්ව අලෙවි වන සියලු වටිනාකම් දියවී යෑමේ විලාපයක් සහ පුහු ඝෝෂාවකි.

මිනිසා දිනෙන් දින ලෝකය තුළ හුදෙකලා වෙමින් කුඩා වපසරියක තමන්ම සාදාගත් රාමුවකට සිර වී පීඩා විඳිමින් සිටී. මනස සුවපත් වන්නේ කොටු කර තැබූ විට නොව නිදහස් කළ විටය; අරුත්බරව නිදහස් කළ විටය. සාමය, ප්රීතිය, මුහුණට මුහුණ අන්තර්-ක්රියා, සන්නිවේදනය, සුරක්ෂිතබව, අනුන් වෙනුවෙන් කැපවීම, බෙදා-හදාගැනීම ආදියෙන් මනසට ඇතිකරනුයේ සැහැල්ලුවකි. නූතන මනෝ විද්යාවේදී මේ සියල්ල ප්රතිකාරාත්මක ප්රවේශයන්ය. එවැනි ප්රවේශයන් රාශියක් සිංහල අවුරුදු සිරිත්-විරිත්වල අන්තර්ගත වී ඇත.

එබැවින් මේ රාමුවලින් මිදී සිංහල අවුරුදු චාරිත්ර ඔස්සේ අවුරුද්දේ අරමුණු ස්පර්ශ කරන්නට යමකුට සිතක් පහළ වුව හොත් ඒ සදහා සුදුසුම දිනක් නුදුරේම එළඹෙයි. අවුරුදු හා බැඳුණු එයටම ආවේණික අපගේ වටිනා හර පද්ධතීන්, ක්රීඩා, කලා, ආහාර රටා වියැකී යා නොදෙන්නට වාණිජත්වයට බිලි නොදෙන්නට තම ශක්ති ප්රමාණයෙන් එය රැකගනු පිණිස සිංහල අවුරුදු චාරිත්ර ඔබේ නිවෙසේ සිදු කරන්නට ඔබ උත්සුක වේ නම් එය ජාතියට කෙරෙන ප්රණාමයක් වනු ඇත.

එෂාමා කාරියකරවන
ජේෂ්ඨ මනෝ උපදේෂිකා
-Dinamina

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තියෙනි

© 2019 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka