ජීවිත අභි­යෝග ජය ගන්න ආකාර

Category: Blog Date: 2019-03-05 18:11:02


සංජය සමරසේකර මනෝ විශේෂඥ

ජීවිතයේ සෑම කටයුත්තකටම ඉලක්ක තිබිය යුතු ය. ඉලක්කයකින් තොරව සාර්ථකත්වයක් ලබා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඉලක්ක, දීර්ඝකාලීන සහ කෙටිකාලීන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය. උදාහරණයක් වශයෙන්, ඔබට රැකියාවේ විශිෂ්ටයකු වීමට අවශ්ය නම්, ඒ පිළිබඳ හොඳ දැක්මක් ඔබ සතු විය යුතු ය. ඒ දැක්ම ඔස්සේ, ඔබේ ඉලක්ක සකස් කරගත යුතු ය. ඉදිරි වසර 10 අවසානයේ ඔබ සිටිය යුතු තැන ඔබේ දීර්ඝකාලීන ඉලක්කය වනවිට, ඔබේ කෙටිකාලීන ඉලක්කය ලෙස ඉදිරි වසර තුන අවසානයේ ඔබ සිටිය යුතු තැන ගත හැකි ය. ඉන් පසු එය ද කොටස්වලට බෙදමින්, ඉදිරි වසර අවසානයේ ඔබ සිටිය යුතු තැන පිළිබඳ තීරණය කළ යුතු ය. ඔබ දැනට අධ්යාපනය ලබන අයෙක් නම්, ඔබේ අරමුණ ගුරුවරයකු වීම නම්, ඔබ විශිෂ්ටතම ගුරුවරයා වනවා යන දැක්ම තුළ කටයුතු කළ හැකි ය. ඒ ඔස්සේ ඔබේ ඉලක්ක සකස් කර ගැනීමෙන්, ඔබට අරමුණ ජය ගැනීමට සාර්ථක අඩිතාලමක් සැකසේ.
එසේ ම, ඔබ ඔබේ ඉලක්ක චිත්රණය කරමින්, සකස් කරන ලද සිතුවමක්, එසේත් නැත්නම් වාක්ය ඛණ්ඩ කිහිපයක්, නිතර හොඳින් පෙනෙන තැනක රඳවා තබා ගැනීමෙන් සහ එම ඉලක්ක ජයගත් පසු ඔබ සිටින ස්ථානය, ඔබට දැනෙන සතුට සෑම හිමිදිරියකම සිතින් මවා ගැනීමෙන්, ඉලක්ක ජය ගැනීමට අවශ්ය මානසික පසුබිම ඉබේම සකස් වේ.
මිනිසකුට මානසික සමබරතාව ඉතා වැදගත් ය. බොහෝවිට අප මුහුණ දෙන අධික ආතතිය, අපේ මානසික සමබරතාව බිඳ දමයි. මෙසේ දිගින් දිගටම සිදුවන මානසික සමබරතාව බිඳවැටීම නිසා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන කායික රෝග බොහෝමයක් ඇතිවිය හැකි ය.
අපට එදිනෙදා ජීවිතය තුළ අත්විඳින්නට වන ආතතිය, පීඩනය සහ කලකිරීම ඉවත් කරන්නට, එදිනෙදා භාවිත කළ හැකි ක්රමවේද සහ ක්රියාකාරකම් ගණනාවක් තිබේ. මූලික වශයෙන්, මේ මොහොතේ ජීවත් වෙමින්, තම ඉලක්කවලට අවශ්ය දේත්, අනවශ්ය දේත් තෝරාගෙන, අනවශ්ය දේ ඉවත් කළ හැකි නම්, ආතතිය සහ පීඩනය අවම කර ගත හැකි ය.
ශ්රී ලංකාවේ බොහෝ නිවෙස්වල, උදෑසන කාලය බෙහෙවින් කාර්ය බහුල, ඉතා කලබලකාරී එකකි. උදෑසන අවදි වන මව, දරුවන් සහ සැමියා අවදි කිරීමේ සිට, නිවෙසේ සියලු වැඩ කටයුතු, ඉවුම් පිහුම් ආදිය කරයි. ඒ අතර, දරුවන්ගේ සහ සැමියාගේ යම් යම් ගැටලුවලට පිළියම් සෙවීම ද කළ යුතු ය. ඇය රැකියාවක නියුතු නම් , තත්ත්වය තවත් බරපතළ ය. උදෑසන යුද පිටියක සිරි ගන්නා නිවෙසක සාමාජිකයන් ආතතියෙන් පෙළීම, අරුමයක් නොවේ. මෙවැනි ගැටලු අවම කර ගැනීමට යහපත් සිහිය සහ පෙර සූදානම තිබිය යුතු ය. ජීවිතය ජය ගැනීමට සිතේ සහ අවට පරිසරයේ පිරිසුදුකම ද අනිවාර්ය සාධකයකි.
සිතේ යහපත් සිතුවිලි ඇතිකරගෙන, නරක සිතුවිලි ඉවත් කර ගැනීමට, කෝපය පාලනය කර ගත යුතු ය. අයහපත්, ආවේගකාරී මානසික තත්ත්වයකදී ක්රියා කළයුත්තේ කෙසේද? මේ, ඒ සඳහා සුදුසු උපදෙස් කිහිපයකි..
“ඔබේ සිතට ආතතියක් හෝ කලකිරීමක් ඇති වූ විට, විනාඩි තුනක විවේකයක් ගන්න. හැකිනම්, වාඩි වී දෑස් පියා ගන්න. ගැඹුරින් හුස්මක් ගන්න. එම හුස්ම සමඟ අප අවට පරිසරයේ ඇති යහපත් ශක්තිය සිරුරට ඇතුළුවන ආකාරය සිහි කරන්න. එසේ ම, පිට කරන හුස්ම සමඟ සිතේත්, සිරුරේත් සියලු තරහ, දුක, කලකිරීම පිටකර දමන්න. මෙය කිහිප වරක් කිරීමෙන්, ඔබට යහපත් ප්රතිඵල අත්වනු ඇත.”
සාමාන්ය හිසරදයක සිට බෝ නොවන රෝග බොහොමයකට ආතති තත්ත්ව මූලික වේ. අප නිරන්තරයෙන් ශාරීරික සුවතාව පිළිබඳ සැලකිලිමත් වන නමුත්, මානසික සුවතාව පිළිබඳ දක්වන්නේ අවම සැලකිල්ලකි. එහෙත්, ගත සුවෙන් තබා ගැනීමට, සිත සුවපත් වීම අනිවාර්ය ය.
වරක් බඩවැල් රෝගයකින් රෝහල්ගතවී සිටි දියණියක, කිසිදු ප්රතිකර්මයකින් සුව නොවන විට, වෛද්යවරු ඇය සැත්කමකට සූදානම් කළහ. එහිදී එයට සම්බන්ධ වූ මනෝ උපදේශකවරයා, එම දරුවාට මෛත්රී භාවනාව පුරුදු කළේ ය. වෛද්යවරු පවා පුදුමයට පත් කරමින් ඇය, දින කිහිපයකින් සුවපත් වූවාය.
සෑම දිනකම නින්දට පෙර තමා පිළිබඳ සුභදායී සිතුවිලිවලින් සිත පුරවා ගැනීම මඟින් මානසික සමබරතාව යහපත් ආකාරයකින් පවත්වාගෙන යා
හැකි ය. සිත සුවපත් කරන උපදේශ සහිත භාවනා ක්රම, දිනපතා භාවිත කළ හැකිනම්, සෑම දිනකම විනාඩි 30ක්වත් ඒ සඳහා වෙන් කළ හැකි නම්, එය සුවදායක දිවි පෙවෙතකට මඟ සැලසෙනු ඇත.

දිල්රූ ජයසේකර
-Dinamina-

සුදේශ් කරුණාතිලක මුහුණු පොත බිත්තියෙනි

© 2019 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka